අම්මා | දිනමිණ

අම්මා

 

පුංචි පේර ඉණ බැඳ ගෙන
ඉණෙන් ගෙනෙන අම්මා
ගැට නාරං දෝත පුරා
ගෙන එන අපෙ අම්මා
පැන් කොරහට පැන් අරගෙන
අප නාවන අම්මා
සතර අපායේ නොවැටී
නිවන් දකින් අම්මා

 

මෙලොව වඩාත්ම කව්-ගී පබැඳුණේ අම්මා පිළිබඳය. අප දන්නා මිහිරිතම වචනය අම්මාය. මිහි මත අනෙකකුට වඩාත්ම ආදරය කරන්නේ ද ආදරය හඳුනන්නේ ද අම්මාය.

අම්මා නැති ගෙදර හිස් තැන පුරවා පිරිමසින්නට අන් කිසිවෙක් හෝ සමත් නොවෙත්. අපේ පැරණි ජන කවියා ඒ වග පවසා ඇත්තේ මෙසේය:

කුකුළා නැති ගෙදර එළි වෙනවා නොදැනේ
හරකා නැති ගෙදර රෑ වෙනවා නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා නොදැනේ
අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ

 

මා අද බොහෝ දිනකට පසු නිවෙසින් පිටත ගියේ අපේ අම්මාට අවැසි බෙහෙත්-හේත් ගෙන එන්නය. මා ෆාමසියට ගොඩ වන විට හීන් පොද වැස්සක් වැටෙමින් තිබිණි. මේ දිනවල එවැනි යාන්තම් වැහි පොදකටත් අපි අප්‍රමාණ ලෙස බිය වන්නෙමු. මන්ද වැහි පොදට තෙමී සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණ හොත් එය ගැටලු රාශියක ආරම්භයක් වීමට බැරි නැති බැවිනි.

මේ නපුරු කෝඩ සමයේ බොහෝ දරුවෝ තම වියපත් මව්පියවරුන් රන් කරඬු සේ රක්ෂා කරති. ඔවුන් නිවෙසින් පිටත යෑම කොහෙත්ම අනුමත නොකෙරේ.

එහෙත් ෆාමසියේ පඩිපෙළ මුදුනේ අපේ අම්මා වාගේම මහලු අම්මා කෙනෙක් ගුළි ගැසී වාඩි වී සිටියාය. ඇයට වැහි පොද ගැන එතරම් වගක් නැත. ඇඳ සිටි හඩුගැහුණු චීත්තය ඒ වන විට ද හිරිකඩට හසු වී හමාරය. එහෙත් ඇය සිටියේ අඩ නින්දකය.

මුළු මහත් ලෝකයේම මිනිසුන් මුව වැසුම් ඇඳ සිටිය ද ඇයට ඒ ගැන අවබෝධයක් නැත. කොරෝනා වසංගතය පිළිබඳ ඇය කිසිවක්ම නොදන්නවා වන්න පුළුවන. ඇයගේ සිත තුළ කොරෝනා භීතියක් ඇත්තේම නැති සෙයකි.

“මේ අර එහා වත්තෙ පරණ උළු ගෙදර හිටි ආච්චි නෙ... පහුගිය දවස්වල සීයා මළා. ගේත් පැත්තක් කඩන් බිම වැටුණා. දවාලට මෙතන ඉන්නවා. රෑට ගෙදර කැඩුණු නැති හරියෙ නිදාගන්නවා. අපි මෙතනින් යන්න කියන්නෙත් නැහැ. මොකද: මේ ඉඩමෙ ඉස්සර අයිතිකාරයත් මෙයාමයි.”

ෆාමසි හිමියා ඇය ගැන තතු විමසන්නකුට එසේ කීවේය:

“මාස්ක් එකක් දුන්නට දාගෙන ඉන්නෙත් නැහැ...” හේ තවදුරටත් කීවේය.

“ඇයි මේ අම්මගෙ දරුවො නැද්ද?”

“දරුවො දෙන්නෙක්ම ඉන්නවා: දුවයි, පුතයි. දෙන්නම ඉඩ-කඩම්වලට දබර කරගෙන තම-තමන්ගෙ කොටස් විකුණල කොහේටද යන්න ගියා. වයසක ජෝඩුව මෙහෙ තනි වුණා. දැන් මෙයාගෙ කල්පනාව හොඳ මදි...”

මම ඒ මුහුණ හොඳින් හැදෑරුවෙමි.

සැබෑය. ඒ ඇයමය. කළුගැහී කෙට්ටු වී ඇති සෝබර මුහුණේ අතීතය තවමත් යාන්තමට ඉතිරි වී ඇත.

පැරණි පෙති උළු සහිත ඒ කුඩා ඉපැරණි නිවෙස මසිතෙහි ද කිසියම් සොඳුරු මතකයක් ඉතිරි කොට තිබිණි.

මිදුලේ අටපෙතියා මල් යායක් සහ ගෙවත්ත වටා ක්‍රෝටන් වැටක් සහිතව කලකට ඉහත යසට බැබළුණු ඒ කුඩා පියකරු නිවෙස හැඟුම්බර සිතකට පහසුවෙන් අමතක නොවන්නකි. එය දුටු මතින් බොහෝ සිත් කිසියම් මිහිරියාවකින් පුරවා ලූවාට සැක නැත.

එකල ඇගේ දරුවන් සිටියේ අපට වඩා පහළ පන්තිවලය. දරු දෙදෙනා දෑතින් අල්ලාගෙන ඈ ඔවුන් පාසල් ගෙන ගිය අපූරුව...!

ඈ ඇවිද ගියේ දරු දෙදෙනාගේ පාසල් බෑග දෙක ඇගේ දෙවුරෙහි එල්ලාගෙන, හරියට රටක් රාජ්‍යයකට හිමිකම් පවසන රැජනක සේ ආඩම්බරයෙනි.

සීරුවට ගොතා නිල් පීත්ත පටිවලින් ගැටගසන ලද කොණ්ඩා කරල් දෙක එහාටත් මෙහාටත් වීසි කරමින් කුඩා දියණිය ඇවිද ගියේ කුරුලු පැටික්කියකගේ සැහැල්ලුවෙනි.

දඟකාර කුඩා පුත්‍රයා ගහක් ගලක් ගානේ නැවතෙමින් සමනලයන් පසුපස දුවමින් ඇයගේ කඩිනම් ගමන පමා කළේය. එහෙත් ඇය කිසි විටෙකත් ඔහුට තරවටු කළේ නැත. ඔහුගේ මනාපයට ඉවසීමෙන් ඉඩ දුන්නේ ඒ කුඩා සිත තුටු-පහටු කරනු රිසියෙන්මය.

දියණිය පළමුව ද කුඩා පුතු දෙවනුවද පන්ති කාමරයේ රැඳවූ ඇය කොහේ හෝ කම්හලක වැඩට දිවුවා ද මතකය.

ඔව්, කාත්කවුරුත් නැතිව, යන එන මං නොදැන මේ හිඳින්නේ මා එදා එලෙසින් දුටු ඇයමය. තම දරුවන් මල් කැකුළු සේ සුරක්ෂිතව, අසීමිත ස්නේහයෙන් ලොකු-මහත් කළ ඇයමය.

 

සුනිලා විජේසිංහ

 

නව අදහස දක්වන්න