මගේ ඉරිදාව අපගේ ද ඉරිදාවයි | දිනමිණ

මගේ ඉරිදාව අපගේ ද ඉරිදාවයි

 

මගේ ඉරිදාව පුවත්පත් ලිපි එකතුවකි. එහි කර්තෘ නීල් විජේරත්නයි. ‘මගේ ඉරිදාව’ ලෙස නම් තබා ඇත්තේ මේ ලිපි එකතුවෙහි සංගෘහීත ලිපි සියල්ල ඉරිදා දාතමින් යුත් සති අන්ත පුවත්පත් කිහිපයක පළ වීම නිසාය. නව සහශ්‍රකයේ මුල් කාලයේ පටන් ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’, ‘සිළුමිණ’, ‘රාවය’, ‘ඉරුදින’ හා ‘අනිද්දා’ වැනි ජාතික හා විකල්ප පුවත්පත්හි පළ වූ විවිධ විෂයයන් හා තේමා ඔස්සේ රචනා වූ ලිපි තිස් අටකින් සුසැදි ‘මගේ ඉරිදාව’ කෘතියෙහි කර්තෘ වන්නේ ඉංග්‍රීසි හා සිංහල දෙබසින්ම ලිපි හා විශේෂාංග සම්පාදනයෙහි නිරතව සිටින කෘතහස්ත ලේඛකයකු වන නීල් විජේරත්නයි. කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයෙහි සිසුවකුව සිටින අවදියෙහි සිටම ලේඛනයට හපන්කම් පානා නීල් නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, පරිවර්තකයකු, චිත්‍රකතා රචකයකු, පරිවර්තකයකු, ක්‍රීඩා ලේඛකයකු හා චාරිකා සටහන් රචකයකු ලෙස තම නම ඉදිරියේ පොත්පත් රැසක නාමාවලියකට හිමිකම් කියයි. පසුගිය දශක හයක පමණ කාලයක් තුළ මෙරට සිංහල හා ඉංග්‍රීසි පාඨක ප්‍රජාව අත පත් කොට ඇති ඇතැම් කෘති සාහිත්‍ය සම්මාන උලෙළ කිහිපයකදීම සම්මානයට ද පාත්‍ර වී තිබේ. ‘කේරළ නළඟන’ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් ද ‘එනවද යන්න මොහාලි’ ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දේශයෙන් ද පුද ලද ග්‍රන්ථ වේ. ‘මගේ ඉරිදාව’ නවතම ලිපි සරණිය ඔස්සේ ‘සැරිසර නින්නාද’, ‘මඟ විසිතුරු’, ‘දැනහැඳුනුම්කම්’, ‘පතපොත ඇසුර’ හා ‘පන්දු පිටිය’ යන අනුශීර්ෂ යටතේ රචනා වූ ලිපි රැසක ආස්වාදය විඳින්නට නීල් විජේරත්න ලේඛකයා විසින් කරනු ලබන ඇරියුම කොරෝනා වසංගත සමයේ නිවෙස්වලටම සිර වී සිටින්න සිදුව ඇති පාඨකයන්ගේ කියවීමේ පිපාසාව සංසිඳුවන්නකි.

‘සැරිසර නින්නාද’ ලිපි පෙළෙහි ‘බොම්බෙ ස්වීට් තවමත් ඒ රසම ද?’ යන්න අපට සමීප විෂයයක් සහිත ලිපියකි. බොම්බෙ ස්වීට් අපට හුරුපුරුදු රසකැවිල්ලකි. එහෙත් නීල් විජේරත්න ඒ පිළිබඳ ඔහුගේ ඉන්දීය අත්දැකීම පවසනායුරු අතිශය සුන්දරය; බොම්බෙ රස කැවිලි මෙන් රසවත්ය. “මේ රස කැවිලි සාප්පුවේ මේ තරම් සෙනගක් ඉන්නේ හැන්දෑ වරුව නිසාදැ?”යි මම ඔහුගෙන් විමසීමි.

“නැහැ නැහැ... උදේ සිට රෑ වන තුරු මේ වගේ තමා සෙනග. මෙතැනට එන කෙනෙක් හිස් අතින් ආපහු යන්නෙ නැහැ.” ඔහු පැවසූ ආකාරයට ඉන්දියානුවන්ගේ කෑම වට්ටෝරුවේ රසකැවිලිවලට ඇත්තේ මුල් ස්ථානයකි. ඔවුන් ඒවා රස විඳිනවා පමණක් නොව, අමුත්තන්ට සංග්‍රහ කරන්නත් යොදාගනිති. ගෙවල පැවැත්වෙන පෞද්ගලික උත්සව, මංගල උත්සව ආදියේදී රසකැවිලි බන්දේසි අතිනත යැවෙන්නේ නට-නටාය; සින්දු කිය-කියාය.

“ක්‍රිකට් මැච් එකක් දිනපු දවසක, විභාග ප්‍රතිඵල ආපු දවසක වගේ විශේෂ අවස්ථාවක අහල-පහළ අයට විතරක් නෙවි, මහපාරේ යන එන අයටත් රසකැවිලිවලින් සංග්‍රහ කරන එක මෙහේ සිරිතක්” යි මඟ පෙන්වන්නා කීය.

“දැක්කද අර අපට ඉස්සරහ උන්නු නෝනා හැම ස්වීට් ජාතියෙන්ම කිලෝ ගණන් ගන්නවා. ඒ, රට ගෙනියන්න. ලෝකෙ කොහේ හිටියත් අපේ ඉන්දියානුවන්ට බොම්බෙ ස්වීට් නැතුව බැහැ.”

පෙරදා බොම්බාය නගරය අද මුම්බායි නගරය ලෙස හැඳින්වීම පිළිබඳ අතීත මතකයට නීල් පිවිසෙයි:

“මා එදා ගිය බොම්බාය නගරය මුම්බායි වූවා සේම එම නගරය ද එහි වැසියන්ගේ දිවි පවැත්ම ද රුචි-අරුචිකම් ද බොහෝ සෙයින් වෙනස් වූවා සේය. මා එදා ගිය බොම්බාය නොවේ මේ මුම්බායි නගරය. මේ ගැන සඳහන් කරන ඇතැමකු කියන්නේ මුම්බායි නගරය ආසියානු නගරයකට වඩා යුරෝපීය නැඹුරුවකට නෑකම් කියන පුරවරයක් බවය. ඒ සා වෙනස් වීමකට එය ලක් වී ඇති බවය. මේ මොන වෙනස්කම් සිදු වූවත් එදා බොම්බායේ දී තලු මරමින් රස විඳි බොම්බෙ ස්වීට් රහ තවමත් එලෙසම ඇති බව නම් නිසැකවම දනිමි. එමෙන්ම තම නගරයට එන සංචාරකයන්ගෙන් සබන්, විස්කි, ආදිය මිල දී ගන්න බලාන සිටින නුවරුන් තවදුරටත් එනුවර නැති බව ද හොඳාකාරවම දනිමි” (28-29 පිටු).

කල්කටාව පිළිබඳ මතක සටහනකදී නීල් විජේරත්න රොනක් දරිවාල් නමැත්තකු විසින් අන්තර්ජාලයට එක් කොට තිබූ අපූරු සටහනක් මෙසේ උපුටා දක්වයි:

“කල්කටාව හැමෝගෙම සිතට අල්ලන තැනක් නෙවෙයි. ඔබට ඕනෑ කරන්නේ හොඳට පිරිසිදු නිල්ල ගැහුණු නගරයක් නම් ඊට කියාපු තැන දිල්ලියයි. ඔබට ඕනෑ කරන්නේ නවීන තාක්ෂණය පරිහරණය කරන, ඒ වගේම නිතරම පීප්ප බීර බොන්නට පුළුවන් තැනක් නම් ඊට කියාපු තැන බැංගලෝරයයි. ඒ කොහොම වුණත් ඔබට ඕනෑ කරන්නේ හිත හොඳ උදවිය ඉන්න තැනකට යන්න නම් වෙන කොහෙවත් යන්න එපා, එන්න කල්කටාවට...” (පිටුව 42) මේ හුදු සංචාරක වාර්තා නොවේ. කර්තෘ දුටු නගර ස්වභාව, ඔහු අත්විඳි නෙක නුවර සිරිත් විරිත් පිළිබඳ පාඨක අප දැනුවත් කෙරෙන තොරතුරුය.

මෙරට පාරුකරුවන් පිළිබඳ රචනාවකදී ඔවුන්ගේ ජීවන රටාව කෙබඳු ද යන්න ඔස්සේ අපගේම අත්දැකීමක් ලෙස හවුල් වීමට ලැබේ:

“රා පොල් කට්ටක් බිව්වට පස්සෙ අඹරාව ඇදගෙන යන එක කජු කනව වගෙ වැඩක්. උස්වැටකෙයියාව පහු වුණාට පස්සෙ ආයෙමත් පාරු බත් උයන්නෙ නැහැ. කෙළින්ම තොටළඟ බත් කඩේ ළඟ තමා නතර වෙන්නෙ. එතන බත් මුට්ටි - වෑංජන හට්ටි සේරම කඩේ ඉස්සරහ ලණු මැස්සක තියල තියෙනව. බත් කඩේ අයිතිකරි අපි සේරටම ඒ හැළිවලින් බත් වෑංජන බෙදල දෙනව. තන්ඩෙල් රාලලට නම් බත් කඩේදි ලැබෙන්නෙ විශේෂ සැලකිලි. ඒ අයට බෙදාගෙන කන්න මාළු-පිනි වෙනම තියෙනව. පුහ්! එතන බතේ රහ! උණු උණු සම්බා බත්, තෙම්පරාදු පරිප්පු හොද්ද, කිරි මාළු වෑංජනය, පොළොස් මැල්ලුම, මිරිස් අච්චාරුව. මහත්තයා හාර හාර අහන නිසා බත් කඩේ අයිතිකාරි ගැනත් යමක් කියන්නම්කො. ඒකි කට්ට කළු තරබාරු එකියක්. ඒකිගෙ දරුවොත් බැඳලා. ඒ වුණාට පාට පාට කම්බායකුයි, ඇඟට කිටිකිටියෙ හිර වෙන්න බොඩියක් වගේ අත් නැති හැට්ටෙකුයි ඇඳල ඉන්න වෙලාවට ඒකි දිහා දෙපාරක් බලන්න හිතෙනව. බත් බෙදනකොට අපි හැමෝගෙම ඇහැ යන්නෙ ඒකිගෙ පපුව දිහාවට. අපේ සමහරු ඒකිත් එක්ක ආල කතා කියනව” (පිටුව 59).

ජනප්‍රිය ගායක සී.ටී. ප්‍රනාන්දුගේ ‘ආනේ ඩිංගක් ඉන්නකෝ, ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ’ නම් අදත් ශ්‍රාවකයන් අතර ජනප්‍රිය ගීතය රචක ඩී.සී. ජයසිංහ හා කළ පිළිසඳර ඇතුළත් ලිපිය මඟින් ගීයෙහි පසුබිම පිළිබඳ අපූරු චිත්‍රයක් මැවෙයි:

“අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
අහක බල බල ඇයිද කලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ”

ගීත රචකයා ගීය පිළිබඳ පවසන්නේ මෙලෙසයි:

“සාමාන්‍යයෙන් සීටීගෙ ගීත රමණීය චිත්ත රූපයක් මවනාකාරයේ ඒවා. අනවශ්‍ය අලංකාර කිරීම් ඒවයෙ නැහැ. මේ ගීතයත් ඒ වගේය කියා මා හිතනවා. මා මෙහිදී හැකි තාක් දුරට අතිශය සරල වචන යොදා ගන්න උත්සුක වුණා. ඒ වගේම කලබල, බල බල, එරි එරි, හැරි හැරි, ගැහි ගැහි... වැනි කටවහරේ එන සරල වචන ගීතයකට එකතු කිරීම අලුත් දෙයක් වුණා.”

‘මගේ ඉරිදාවෙහි’ බොහෝ රචනා යළි-යළිත් කියවා රස විඳින්න අප පොලඹවන ලේඛන බව සඳහන් කිරීම වටී.

ඒවායේ විෂයය, ඉදිරිපත් කරනු ලබන විලාසය, විෂයානුචිත භාෂාව නීල්ගේ ලේඛනයේ විශේෂතා වේ. ආරම්භයේ සිට අවසානය තෙක් කියවීමට ආසා කෙරෙන ශෛලියකින් මේ ලිපි රචනා කොට තිබීම අනෙක් වැදගත් ලක්ෂණයයි. විෂයයන්හි විවිධත්වය කියවීමේ ආසාව වඩවයි. පන්දු පිටිය ලිපි මාලාවෙහි ඇතුළත් ඇන්ජලෝ, තිසර, දිමුත් සහ රොෂේන් එකම පාසලක කණ්ඩායමක ක්‍රිකට් ගැසූ හැටි ක්‍රීඩා ලෝලි පාඨකයන් බොහෝ දෙනා නොදන්නා තොරතුරු සහිත රසවත් ලියවිල්ලකි. ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න අද දවසේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නම්-ගම් අතර නිතර කියවෙන චරිතය.

කතුවරයා ‘ආදි ජෝසපියන්’ කෙනකු වීම නිසා දෝ, ඔහුගේ පාසල බිහි කළ මේ ක්‍රීඩකයන් පිළිබඳ ආඩම්බරයෙන් ලියූව ද ඔවුහු ජාතික කණ්ඩායම නියෝජනය කරන්නන් ලෙස ක්‍රීඩා ලෝලි අපගේ ආදරය ද දිනා ගනිති. ඔවුන් පිළිබඳ මෙවැනි තොරතුරු අප කියවා නැත.

‘දැනහැඳුනුම්කම්’ ප්‍රභේදයට ඇතුළත් ‘ඒ.සී. ඩෙප්’, ‘රිටි පැනීම’, ‘බඹරකවි’ සහ ‘පොලීසියේ ඉතිහාසය හඹා යෑම’ නීල්ගේ රචනා අතර මා වඩාත්ම සිත්ගත් රචනා ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.

රිටි පැනීම ක්‍රීඩාවෙහි ජාතික වාර්තා හිමිකරුවකු, පොලීසියේ උසස් නිලධාරියකු වැනි භූමිකාවන්ට අමතරව ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් ඒ සඳහා කාලය මිඩංගු කළ අපූරු රාජ්‍ය නිලධරයකු ගැන අප නොදත් තොරතුරු රැසක් ඉදිරිපත් කිරීම පිළිබඳ නීල් විජේරත්න ලේඛකයාට පාඨක ප්‍රසාදය හිමි විය යුතුය. ඒ.සී. ඩෙප් මඩකලපුව හා ඌව පළාතේ පොලිස් නිලධාරියකුව සිටියදී එක් කළ බඹර කවි කිහිපය අතර රස විඳි මේ කවිය අපගේ ජනගායනා සිහි ගන්වයි:

 

“අම්ම පල්ල බඹරුන් අත වරද නැතී
කැලේ තියෙන මල් බීලා උන් රැකෙතී
අනුන් කරන ගොවිපළකට පාළු නැතී
බඹර කපන අය නරකාදියේ යතී”

(හෙල්වලින් පැණි රැස් කිරීම, පිටුව 103)

‘පතපොත ඇසුරෙහි’ ද අපූරු ලිපි කිහිපයක් හමු වේ. ‘කුෂ්වාන්ත් සිං නිතර ආ-ගිය නව දිල්ලි පොත් සාප්පුව’, ‘මල්ගුඩියේ මැවුම්කරු සමඟ ගමනක් යමු’, ‘තීරු ලිපියේ ඉන්දියානු අත්දැකීම’ ඉන් කිහිපයකි. නීල් විජේරත්න ලේඛකයාගේ ‘මගේ ඉරිදාව’ නිසැක වශයෙන්ම ‘අපේ ඉරිදාව’ ලෙස කියවා රස විඳින්න පමණක් නොව; අපගේ දැනුම් සම්භාරය පුළුල් කිරීමට ද සමත් කෘතියකි.

 

බුද්ධදාස ගලප්පත්ති

නව අදහස දක්වන්න