පිරිමි ළමයි අපට එපා ! | දිනමිණ

පිරිමි ළමයි අපට එපා !

 

ඉපදුණ දවසෙ තිබිච්ච මූණුවර අද ඊයෙ වගේ මතක වුණාට, මගේ ලොකු දුව දැන් ඩිංග ඩිංග ලොකු වෙනවා. හෙට අනිද්දට අවුරුදු හතරක් වෙනවා නේද කියලා මතක් වෙන කොට සන්තෝස හැඟීමක් එකපාරට හිතට ඇවිල්ලා ආයෙ දුක වැහිවලාවකින් ඒ සන්තෝසෙ වැහිලා යනවා. අවුරුදු හතර, අවුරුදු අට වෙලා ඊටත් පස්සෙ දාසය, විස්ස වෙලා මගේ අත අත ඇරලා යන දවස ඉක්මනටම ඒවි නේද කියලා හිතෙනවා. සොබාවධර්මෙට කාල චක්කරේට පිටුපාන්න මොන ජගතටවත් බෑ කියලා හිතලා අමාරුවෙන් වුණත් මං හිතේ දුක පිරියම් කරගන්නවා.

මාස දහයෙ ඉදලා එයා දිවා සුරැකුම් මධ්‍යස්ථානෙක ලොකු වෙනවා. රස්සාවට යන කොයි අම්මා තාත්තටත් සතියෙ දවස්වල දවල්වරුවල තමන්ගෙ දරුවො මඟ ඇරෙනවා. අපි වැඩට යන්නෙ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න නේද කියලා හිත හදාගත්තට, රස්සාවට යන කොයි අම්මගෙ හිතෙත් දරුවා තමන්ගෙ තුරුලෙ නැතිව වෙන තැනක හැදී වැඩෙන එක ගැන පුංචි පහේ හිතේ දුකක් තියෙනවා. රස්සාවෙන් ගෙදර ආවට පස්සෙ ඉතිරි කාලෙ පුරාම එයා එක්කලා ගත කරන්න මං උත්සාහ කරනවා. එහෙම කළාම හිතේ තියෙන වරදකාරී හැඟීම මැකිලා යනවා.

වයසෙ වැරැද්ද හින්දා දෝණි මේ දවස්වල නවත්තන්නෙ නැතුවම කතා කරනවා. එයා ගෙදර ඇවිල්ලා එයාගෙ සෙල්ලම් සගයො ගැන තොරතෝංචියක් නැතුව කියවනවා. එයාගෙ සෙල්ලම් යාළුවෝ වැඩියම ඉන්නෙ පිරිමි ළමයිය, ගෑනු ළමයි ඉන්නෙ අතළොස්සය කියලා මේ නම් ලයිස්තුව අහගෙන ඉන්න මට තේරෙනවා. ගෑනු පිරිමි භේදයක් යාළුකම්වලට නැතිය කියලා තරයේම අදහන හන්දා මං ඒ විත්තිය ගණන් ගන්නෙ නැතුව ඉන්නවා. ගෑනු පිරිමි විතරක් නෙමෙයි ඉතියෝපියානු වගේම ජර්මානු අම්මලා තාත්තලාගෙ ළමයිනුත් හොඳම යාළුවො විදිහට එයා මට හඳුන්වලා දෙනවා. විවිධ ජාතීන්වල පුංචි දරුවො හැමෝටම එකවාගේ හරි ලස්සන හිනාවක් තියෙනවා. හවසට දූව එක්කරගෙන එන්න යන මට ඒ ලස්සන හිනාවලින් පොඩි දරුවො සංග්‍රහ කරනවා.

ළඟදි දවසක් දූගෙ යාළුවෙක්ගෙ ගෙදරක ‘සෙල්ලම් දවසක්‘ තියෙනවා. සෙල්ලම් දවස්වලත් අරමුණු තියෙනවා. යාළු බබාලගෙ අම්මලා තාත්තලා එකිනෙකා අඳුරගන්න, යාළුවො එක්කලා ඇති බැඳියාව තහවුරු කරගන්න වගේ අරමුණු ඒ අතර ඉස්සරහින්ම තියෙනවා. දරුවො ඇති තරම් සෙල්ලම් කරන අතරෙ, අම්මලා තාත්තලා ඉස්කෝල ගැන, ව්‍යාපාර ගැන, තම තමන්ගේ රස්සාවල් ගැන බරටම කතාවෙනවා.

මේ අතරෙදි සෙල්ලම් දවසට ආපු නැති ‘අනිත් යාළුවෝ‘ ගැන අම්මලා තාත්තලාගේ කතාවෙ මාතෘකාව පෙරළෙනවා. මම දූගෙ අනිත් යාළුවන්ගේ නම් කියනවා. ඒ අතරෙ පුරුදු විදිහට පිරිමි යාළුවන්ගෙ නම් කීපයක් තියෙනවා.

“අපෝ අපි නම් අපේ දූට පිරිමි යාළුවෝ අශ්‍රය කරන්න දෙන්නෙ නැතිය” කියලා ආසියානු අම්මෙක් මගේ දිහා බලලා කියනවා.

“පිරිමි ළමයි ඊයා!” මං නම් එහෙමයි කියලා දෙන්නෙ කියලා ඒ අම්මා කියනවා. “පිරිමි ළමයි ඊයා!” කියලා කියල දීපු නැති මං නරක අම්මෙක් ද කියලා මම ඊට පස්සෙ දවස් ගානක් කල්පනා කරනවා. සමහර පුංචියි කියලා හිතන දේවල් කාලාන්තරයක් තිස්සෙ හේතුවක් නැතුවම අපේ හිත්වල හොල්මන් කරනවා.

ඊට පස්සෙ මං ඒ ගැන මගේ හිතවන්ත යාළුවෙක්ගෙන් අහනවා.

“පිස්සුද අනේ? එහෙනම් අපි දූලව පිරිමි ළමයි නැති ලෝකෙක තමයි හදන්න වෙන්නෙ” කියලා දුවකුයි, පුතකුයි දෙන්නෙක්ම ඉන්න මගේ හිතවන්ත යාළුවා කියනවා. මගේ හිත ඩිංගක් හැදෙනවා.

“එයා මගේ හිත හදන්න කියුවා වෙන්න බැරි ද?” ඊට ටික දවසකට පස්සෙ මං වැරදියි කියන හැඟීම ආයෙත් මගේ හිතේ දලු ලනවා. දූගෙ ළමාරෝග දොස්තරගෙන් මේ ගැන අහන තරමට මගේ සිතිවිල්ල දුර දිග යනවා. ටිකක් තලත්තෑනි දොස්තර මහත්තයා බොහෝම පළල් හිනාවකින් මට සංග්‍රහ කරනවා.

“පුංචි දරුවො යාළුවො තෝරගන්නෙ කසාද බදින්න නෙමෙයිනේ” දොස්තර මහත්තයා කියනවා. “එයාලා එක්කහු වෙන්නෙ තමන් කැමතිම සෙල්ලම කරන යාළුවොත් එක්ක” එයා කියනවා. “සමහර ගෑනු දරුවො බෝනික්කො සෙල්ලම් නොකර කාර් සෙල්ලම් කරනවා. ලොකු වුණාම ඒවගේ ගෑනු දරුවො ඉංජිනේරුවො වෙනවා, ගුවන් යානා එළවනවා. එහෙම නැත්නම් අභ්‍යවකාශෙට වුණත් යන්න පුළුවනි.” දොස්තර මහත්තයා එහෙම කියලා මං දිහා බලනවා.

මං හිතෙන් අවුරුදු තිහක් විතර අතීතෙට යනවා. කොණ්ඩෙට සමනලයෙක් ඉන්න කොණ්ඩ කට්ටක් ගහලා, ළාරෝස පාට ගවුමක් ඇඳලා මං මොන්ටිසෝරියෙ පොඩි ලී පුටුවක ඉදගෙන ඉන්නවා. ඊට එහා පුටුවෙ කොණ්ඩෙ කොටට කපාපු, කොට කලිසමකුයි, අත්කොට කමිසෙකුයි ඇඳපු පොඩි කොලු පැංචෙක් ඉඳගෙන ඉන්නවා.

මම ක්ලේවලින් ගහක් හදනවා. පැත්තක ඉන්න ගෑනු ළමයෙක් ඒ ගහක් නෙමෙයිය, ගොම ගොඩක්ය කියලා මට හිනා වෙනවා. එතකොට අර කොලු පැංචා මැද්දට පැනලා “නෑ ඒක හරි හැඩ ගහක්ය” කියලා කියනවා. එදා ඉදලා ඒ කොලු පැංචා මොන්ටිසෝරියේ මගේ හොඳම යාළුවා වෙනවා. ඒ එයා පිරිමි ළමයෙක් හින්දා නෙමෙයි, මගේ ‘ගහ’ ගහක් හැටියට දැකපු හන්දය කියලා මං දන්නවා.

“ඔයා හරි හොඳයි. ගෑනු යාළුවෝ වගේම පිරිමි යාළුවොත් ඔයාට ඉන්න එක කොයිතරම් දෙයක්ද පුතේ...” දොස්තර ගාව ඉඳලා ගෙදර යන ගමන් මං දූට කියනවා.

අවුරුදු තිහක් ඈත අතීතෙක මොන්ටිසෝරි කොරිඩෝවක හිටගෙන ඉන්න පුංචි පිරිමි ළමයෙක් මා එක්කලා හිනා වෙනවා මගේ ඇස් ඉස්සරහා මැවෙනවා.

 

දසුනි හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න