කෘෂි රසායන ද්‍රව්‍යවලින් තොර භෝග වගාවක් සඳහා බිය විය යුතු ද? | දිනමිණ

කෘෂි රසායන ද්‍රව්‍යවලින් තොර භෝග වගාවක් සඳහා බිය විය යුතු ද?

වී වගාව මුලික කර ගත් ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අතර එකල පටන් එහි ප්‍රධානතම පරමාර්ථය වී ඇත්තේ දේශීය ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමයි. එකල පටන් ස්වාභාවික ක්‍රමවේදයන් පමණක් උපයෝගි කර ගනිමින් තිරසර ලෙස සිදු කළ කෘෂිකර්මාන්තය 1943 දී ආරම්භ වූ හරිත විප්ලවයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් රසායනික කෘෂිකර්මාන්තය මඟින් ප්‍රතිස්ථාපනය විය. වර්තමානය වන විට අප රටේ පවතින්නේ එම කෘත්‍රිම කෘෂි රසායනික ද්‍රව්‍ය මත පදනම් වූ රසායනික කෘෂිකර්මාන්තයක් වන අතර, එහිදී පොහොර පළිබෝධ පාලනය, වල් මර්දනය ආදි සියලුම ක්‍රියාවන් සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතයට ගනු ලැබේ.

කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය හේතු කොට ගෙන ඒකීය බිම් ප්‍රමාණයකින් ලබා ගන්නා වූ ඇදහිය නොහැකි විශාලත්වයකින් යුතු අස්වැන්න මඟින් එම කෘෂි ක්‍රමවේදය කෙරෙහි ඇති කරන පුද්ගල ආකර්ෂණය අතිමහත්ය. එහෙත් ඉපැරණි ස්වාභාවික කෘෂිකර්මාන්තයෙන් බැහැරව විද්‍යාව හා තාක්ෂණවේදය සමඟ අත්වැල් බැඳ ගත් රසායනික කෘෂිකර්මාන්තයේ අප නොදුටු අඳුරු පැතිකඩක් ඇති බව සිහි තබාගත යුතුය. එනම් එමඟින් සාරවත් පසක්, ජලයක් ආදී පුනර්ජනනීය නොවන ස්වාභාවික සම්පත්වලත් කිසිදු තිරසර භාවිතයක් සිදු නොවන අතර වායුගෝලය, ජලය, පස හා ජෛව විනාශය එහි ආසන්න ඵලයන් වේ.

 

කෘෂි රසායනික ද්‍රව්‍ය අධි භාවිතය

මෙම කෘෂි රසායනික ද්‍රව්‍යවල අධි භාවිතය හේතු කොට ගෙන සිදු වන අතිමහත් වූ පාරිසරික හානිය අවම කිරීම සඳහා රජය විසින් විවිධ අවස්ථාවලදී විවිධ පියවර ගෙන ඇත. 2014 වසරේ ගත් අමාත්‍ය මණ්ඩල තීරණය යටතේ කෘෂි රසායනික ද්‍රව්‍ය ක්‍රමිකව භාවිතය අඩු කිරීම, කාබනික කෘෂි ගම්මාන පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග ගැනීමත් ඒවා අතර ප්‍රමුඛ වේ.

මෑතකදී සිදු කළ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම ඒ සඳහා තැබූ යෝධ පියවරක් ලෙස සැලකිය හැකිය. මෙමඟින් භෝග අස්වැන්නේ විජලන ඇති විය හැකි අතර ප්‍රධාන වශයෙන් ප්‍රමාණාත්මක හා භෞතික වෙනස්කම් අපේක්ෂා කළ හැකිය. එහෙත් විකල්ප පරිසර හිතකාමී කාබනික රසායනික ද්‍රව්‍ය සමඟ නව තාක්ෂණය ද මුහු කිරීමෙන් එම ගැටලු ක්‍රමිකව නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත.

දීර්ඝ කාලීනව ගත් කළ තිරසර කෘෂිකර්මාන්තයක් ඇතිවීම මඟින් අනාගතයේදී වස විසෙන් තොර මනා අස්වැන්නකුත් නීරෝගිමත් අනාගත පරපුරකුත් බිහි වනු ඇත.

කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය අපගේ අභිමතය පරිදි පමණක් සිදු කළ හැකි ක්‍රියාවලියක් නොවේ. වගා කරන්නා වූ භෝග විවිධත්වය, පළිබෝධ විවිධත්වය හා වල් පැළෑටිවල විවිධත්වය වැනි සාධක පදනම් කර ගෙන ක්ෂේත්‍රයට යොදන්නාවූ කෘෂි රසායනික වර්ගය වෙනස් වේ. මේ අතර තේ, රබර්, පොල් වැනි බහු වාර්ෂික වැවිලි භෝග සඳහා පොහොර හා පළිබෝධ නාශක අවශ්‍ය වන්නේ ඒවායේ ළපටි අවධියේදී පමණි. ඒවායේ රෝග සහ පළිබෝධ හානි සාපේක්ෂව අඩු වීම ඊට හේතුවයි. එම නිසා එවැනි වැවිලි භෝග සඳහා සාපේක්ෂව වැය වන්නේ අඩු කෘෂි රසායන ද්‍රව්‍ය ප්‍රමාණයකි.

 

විකල්ප කෘෂිකර්මය

කෘෂි රසායන ද්‍රව්‍යවලින් බැහැර වීමේදී ප්‍රධාන වශයෙන් ඒවා වෙනුවට යොදා ගත හැකි විකල්ප කාබනික ද්‍රව්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු වේ. මෙහිදී මුලිකවම රසායනික පොහොර සහ රසායනික පළිබෝධනාශක යොදා ගැනීමට සිදු වේ. විකල්ප කාබනික පොහොර භාවිතය කෙතරම් පරිසර හිතකාමී වුව ද වත්මන් සමාජයේ කාබනික පොහොර භාවිතය පිළිබඳව ධනාත්මක ආකල්පයක් නොමැති බව පෙනී යයි. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සමාජයේ පවතින සාවද්‍ය මති මතාන්තර දෙකකි. ඒවා නම් කාබනික පොහොර භාවිතය මඟින් අස්වැන්න අඩු වන බවත්, කාබනික පොහොර වගාවකට යෙදීමේදී නිසි පෝෂණ ප්‍රමාණය ලබා ගැනීමට නම් ඉතා විශාල ප්‍රමාණයක්, ප්‍රායෝගිකව නිපදවිය නොහැකි තරම් ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. එහෙත් ඉහත සඳහන් කළ විකල්ප කෘෂිකර්ම ක්‍රම වැඩි දියුණු කිරීම මඟින් මෙම දුර්මතයන් දෙකම සාවද්‍ය බව මේ වන විටත් පෙන්වා දී හමාරය.

මූලිකවම ගත් කල විකල්ප පොහොර ආකාර කීපයක් දක්නට ලැබේ. ඒවා නම් කොම්පොස්ට් පොහොර, පණු පොහොර (Vermi - compost), මත්ස්‍ය අපද්‍රව්‍ය පොහොර (Fish emulsion), ජීව පොහොර, පාංශු තත්වකාරක (Soil conditioners) ආදියයි. කාබනික පොහොර යනු සරලවම සත්ව හෝ ශාක කොටස් දිරාපත් වීමෙන් ලැබෙන පොහොර වේ. මීට අමතරව පාංශු ජීවීන් වැඩිවීම, ප්‍රධාන පොහොරවලින් නොලැබෙන ක්ෂුද්‍ර පෝෂක වර්ග ලැබීම, පරිසර දූෂණය අවම වීම, අපද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීම, අඩු මුදලක් වැයවීම ආදී වාසිමය තත්ත්වයන් කාබනික පොහොර භාවිතය මඟින් ළඟා කර ගත හැකිය.

 

කොම්පෝස්ට්

කොම්පොස්ට් යනු ඉවතලන කාබනික ද්‍රව්‍ය උෂ්ණත්වය, වාතය සහ තෙතමනය පාලනය කර ක්ෂුද්‍ර ජීවීන් මඟින් ජීර්ණය කර සාදා ගනු ලබන පොහොරකි. සුලභතම කාබනික පොහොර වර්ගය වන්නේ ද කොම්පොස්ට්ය. පණු පොහොර යනු කාබනික අපදුව්‍ය හා පස් මත පසේ වාසය කරන ගැඩවිලුන් වැනි පණුවන්ගේ ජීර්ණ ක්‍රියාවලිය ඔස්සේ නිපදවන පොහොර වේ. මේවා උසස්ම ගණයේ කාබනික පොහොරක් ලෙස සැලකෙන අතර දියර පොහොරක් ලෙස ද සකස්කර ගත හැකිය. මත්ස්‍ය අපද්‍රව්‍ය පොහොර නිපදවනු ලබන්නේ අප ආහාරයට ගන්නා මත්ස්‍යයින්ගේ ආහාරයට නොගන්නා අපද්‍රව්‍ය කොටස් නිසි ආකාරයෙන් ජීර්ණ ක්‍රියාවලියකට ලක් කිරීමෙනි.

පසේ භෞතික ස්වභාවය වැඩි දියුණු කිරීම සඳහා පසට බාහිරින් එක් කරන ඕනෑම ද්‍රව්‍යයක් පස යහපත් කරන ද්‍රව්‍ය (soil amendment) ලෙස හැඳින්වේ. පිදුරු, ලී කුඩු කොම්පොස්ට්, වැලි ඒවාට උදාහරණ වේ. ඉහත සියලුම කාබනික ද්‍රව්‍ය පස් වයනය දිගු කාලීනව දියුණු කර පස සාරවත් කරන අතර ඒවා ප්‍රායෝගිකව සෑම ප්‍රදේශයකම පාහේ නිපද වේ.

මෙතෙක් පැවති වගා ක්‍රමවලදී කාබනික පොහොර යෙදුවේ රසායනික පොහොරට අමතර සැපයුමක් ලෙසය. එහෙත් මීළඟ කන්නයන්හීදී කොම්පොස්ට් වැනි කාබනික පොහොරවලින් පමණක් පාංශු පෝෂක සැපයීමේ අභියෝගය ජය ගැනීමට නම් එම පොහොරවල ගුණාත්මය, විශේෂයෙන්ම N,P,K සංයුතිය, ඒ පොහොර භාවිත කාර්යක්ෂමතාවය හා භෝග විශේෂ ඒ ඒ දේශගුණික කලාපවල ලැබෙන අස්වනු විභවය යනාදී කරුණු සලකා නිර්දේශ (අක්කරයකට ලබාදිය යුතු පොහොර ප්‍රමාණය) තීරණය කළ යුතු වේ. තවද, කුඩා පරිමාණ වගාකරුවන්ට තම කාබනික පොහොර අවශ්‍යතාවය ගොවිපොළ තුළම නිපදවා ගත හැකිය. එහෙත් මහා පරිමාණ වගාකරුවන් සඳහා වාණිජමය කාබනික පොහොර නිෂ්පාදකයින් දිරිගැන්විය යුතු වේ.

 

විකල්ප කෘෂිකර්මය

විකල්ප පොහොර මෙන්ම විකල්ප පළිබෝධනාශක පිළිබඳව ද අවධානය යොමු කිරීම තිරසර භෝග වගාවකදී අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සැලකේ. භෝගවල ලෙඩ රෝග, කෘමි සතුන් හෝ වල් පැළෑටි මඟින් සිදුවන හානිය වැළැක්වීමට එනම් ශාක සංරක්ෂණය සඳහා පළිබෝධනාශක යොදා ගනු ලැබේ.

වගාවන්ට හානි කරන කෘමි සතුන් ප්‍රධාන කාණ්ඩ කිහිපයකට බෙදා වෙන් කළ හැකිය. ගෙඩි, කරල් විදින දළඹුවන්, විද යුෂ උරා බොන කෘමීන්, පත්‍ර කන දළඹුවන්, වයිරස් වාහක කෘමීන්, පත්‍ර කන කුරුමිණියන්, පලතුරු මැස්සන්, ඉල් මැස්සන් ඒ අතර ප්‍රධාන වේ. කොළ කොඩ වීම, විචිත්‍ර රෝගය වැනි වයිරස් රෝග ද, හිටු මැරීම වැනි බැක්ටීරියා රෝග ද, පත්‍ර පුල්ලි, දියමලන් කෑම වැනි දිලීර රෝග ද භෝග වගාවන්හී සුලභව දැකිය හැකි රෝග වේ.

බජිරි, වෙල්මාරුක්, තුත්තිරි වැනි අප වගාකරනු ලබන භෝගයට අමතරව ක්ෂේත්‍රයේ මිනිස් බලපෑමකින් තොරව හට ගන්නා පැළෑටි වල් පැළෑටි වේ. ඒවා භෝගය අසලම වැවෙන අතර හිරු එළිය, ජලය, පොහොර හා ඉඩකඩ සඳහා නිරන්තර තරගයක යෙදේ.

ඒකාබද්ධ පළිබෝධ පාලනය

ඒකාබද්ධ පළිබෝධ පාලනය යම් භෝග වගාවක් ආරම්භයට පෙර සිටම ආරම්භ කළ හැකිය. නව වගාවට පෙර පැරණි වගාවේ අවශේෂ විනාශ කිරීම මෙම ක්‍රමයේ මූලික පියවරක් වේ. උදලු ගෑම, ගොඩගසා පිලිස්සීම, පොල් අතු වැනි දේශීය අමුද්‍රව්‍ය ආවරණයක් යෙදීම, වගාව සකසන අවස්ථාවේදී සිදු කරනු ලබන, මීට අමතරව භෝග වගාවකදී අනුගමනය කළ හැකි ශෂ්‍ය විද්‍යාත්මක පළිබෝධ පාලන ක්‍රම සඳහා උදාහරණ ලෙස ලැබේ. ප්‍රතිරෝධී ශාක ප්‍රභේද වගා කිරීම, නිවැරදි කන්නයේදී භෝගය වගා කිරීම, ජල පහසුකම් ඇති සුදුසු බිමක් තෝරා ගැනීම, භෝග මාරුව, මිශ්‍ර භෝග වගාව, නිවැරදි බිම් සැකසීම, තීරු භෝග වගාව, ප්‍රශස්ථ රෝපණ මාධ්‍ය යොදා ගැනීම, තවාන් පාලනය, නිර්දේශිත පරතරය පවත්වා ගැනීම, පොහොර, ජලය, වල් පැළ කළමනාකරණය, විකර්ෂක භෝග වගාව ආදිය දැක්විය හැකිය. ඒකාබද්ධ පළිබෝධ පාලනයට යොදා ගන්නා භෞතික ක්‍රම ලෙස උදළු ගෑම, රෝගි පැළ අතින් උදුරා විනාශ කිරීම, පළිබෝධකයන් එකතු කර විනාශ කිරීම ආදිය දැක්විය හැකිය. මීට අමතරව වර්ණවත් ඇලෙන උගුල්, ජල උගුල්, පෙරමෝන් උගුල්, ඵලවලට ආවරණ යෙදීම ද පළිබෝධ පාලනයට යොදන භෞතික ක්‍රම වේ.

ඒකාබද්ධ පළිබෝධ පාලනයේදී යොදා ගන්නා තවත් සාර්ථක පළිබෝධ පාලන ක්‍රමයක් වන්නේ ජෛව පාලන ක්‍රම යොදාගැනීමය. මෙහිදී පළිබෝධකයන් සඳහා ස්වාභාවික සතුරන් හෝ ජීවී සතුරන් (bio agents) යොදා ගැනීම සිදු වේ. භෝග වගාවකට යොදා ගත හැකි හොඳම ස්වාභාවික සතුරන් ලෙස කෘමීන්, පක්ෂීන් හා ඇතැම් උරග විශේෂ දැක්විය හැකිය.

 

වල් පැළෑටි මර්දනය

පළිබෝධ පාලනය යටතේ මීළඟට අවධානය යොමු කළ යුතුම මාතෘකාව වන්නේ වල් පැළෑටි මර්දනයයි. පළමුවෙන්ම මෙහිදී අප සිහි තබා ගත යුතු කරුණක් වන්නේ සියයට සියයක්ම ක්ෂේත්‍රයෙන් වල් පැළෑටි ඉවත් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් නොවන බවය. වල් මර්දන ක්‍රියාවලිය සිදු කිරීම අවශ්‍ය වන්නේ එය ආර්ථික දේහලීය මට්ටමට (economic threshhold level) පැමිණි පසුය. මෙහිදී වී වැනි පහත් බිම්වල වවන ක්ෂේත්‍ර භෝගවල වල් මර්දනය ජල පාලනය මඟින් පහසුවෙන් කළ හැකිය.

මෙහිදී වී ඉසීම වෙනුවට වී පැළ නියමිත පරතරව සහිතව ඉන්දවීම මඟින් පහසුවෙන් වල් පැළෑටි ක්ෂේත්‍රයෙන් ගලවා ඉවත් කළ හැකිය. ගොඩ භෝග වගාවේදී යාන්ත්‍රික ක්‍රම මඟින් හා භෞතික ක්‍රම මඟින් වල් මර්දනය කළ හැකිය.

 

ඉදිරි පියවර

ඉහත දැක්වූ විවිධ විකල්ප තාක්ෂණයන් භාවිතය මඟින් අද පවත්නා අභියෝගයට මුහුණදීමේ හැකියාවක් ඇති මුත් කලක් තිස්සේ රසායනික කෘෂිකර්මයට හුරු වූ ගොවි ක්ෂේත්‍ර නිලධාරී ප්‍රජාව ඉන් මුදවා ගැනීමට නම් ඉතා හොඳින් සැලසුම් කළ ද්‍රව්‍ය සුලබතාවයක් ඇති කිරීමත්, දැනුවත් කිරීම, ප්‍රචාරණය, යාමනය කිරීම හා විශ්ලේෂණය තුළින් මෙහි සාර්ථකත්වය ළඟා කර ගත යුතු වේ.

තවද, පළමු හෝ දෙවන කන්නයන් තුළදී වාර්තා වන අඩු ලුහුඬුකම් මෙරට පවත්නා පර්යේෂණ අංශයන් වෙත යොමු කර ලබා ගන්නා ප්‍රතිඵල තුලින් තිරසර විසඳුම් ළඟා කර ගැනීම මෙහිදී අත්‍යාවශ්‍ය කරුණක් වනු ඇත.

වඩාත් වැදගත් කරුණ වන්නේ විකල්ප කෘෂිකර්මයට විරුද්ධ බලවේග පාලනය හා නව වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ උපරිම කැපවීමකින් ක්‍රියාත්මක වීමය.

 

මහාචාර්ය පාලිත වීරක්කොඩි

සභාපති

ජාතික පසු අස්වනු

කළමනාකරණ ආයතනය

 

 

නව අදහස දක්වන්න