කොවිඩ් තෙවැනි ‍රැල්ල මට්ටු කරන මඟ | දිනමිණ

කොවිඩ් තෙවැනි ‍රැල්ල මට්ටු කරන මඟ

කොවිඩ්-19 තුන් වැනි රැල්ල ව්‍යාප්තිය පාලනය සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය වේ. සංචරණ සීමා පැවතිය ද ඒවා ක්‍රියාත්මක වීමේ ගැටලුවක් පවතින බව බැලූ බැල්මට පෙනේ. මේ වසංගත තත්ත්වය තවදුරටත් රට තුළ මෙලෙසම පවත්වාගෙන යන්නේ ද, එසේ නොමැතිව මේ වසංගතය මෙතැනින්ම තුරන් කර ශ්‍රී ලංකාව කොවිඩ් පාලනය කළ රටක් බවට ඉතිහාසයට එකතු කරන්නේ ද යන්න ගැන තීරණය තිබෙනුයේ ජනතාව තුළය. සෞඛ්‍ය අංශ, රජය, ජනතාව මේ කොටස් තුනේම දායකත්වය මත කොවිඩ් මෙරටින් තුරන් කළ හැකිය. ඒ සඳහා නිසි ලෙස සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අකුරටම ඉටු කළ යුතුය. එවිට අපට සහ අනාගත දරුවන්ට සුරක්ෂිත දේශයක් බිහි කරන්නට හැකි වනු ඇත. කොවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තිය, පාලනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

 

 සෞඛ්‍ය යුද්ධයේ තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අංශයට අයත් පිරිස විසිනි. මේ යුද්ධයට අවශ්‍ය උපකාර කිරීමට සෙසු බල ඇණි සූදානම් විය යුතුය. ප්‍රාදේශීය ලේකම්වරු, හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් සියලු දෙනා මේ යුද්ධයේ අතිරේක බල ඇණි ලෙස හැඳින්විය හැකිය.

 

කොවිඩ්-19 වයිරසය ලෝකයේ ඇති වනුයේ 2019 වසරේ අග භාගයේය. ලෝකයේ රටවල මේ වයිරසය ව්‍යාප්ත වෙමින් තිබිණ. එම අවදානමට මුහුණ දීම සඳහා ජනාධිපති කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායක් මෙරට ස්ථාපිත කෙරිණ. එම බළකායට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ද කැඳවීම සිදු කෙරිණ. කොවිඩ් වයිරසයෙන් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා යම් කාලයකට ගුවන්තොටුපොළ වසා දැමිය යුතු බවටත්, ඉන් අනතුරුව රට වසා දැමීමටත් අවශ්‍ය බවත් වෛද්‍යවරුන් ලෙස රජයට දැනුම් දීම සිදු කෙරිණ. සැමදාටම රට වසාගෙන සිටීමට නොහැකි නිසා වෛද්‍යවරුන් ලෙස DReAM නම් වූ සංකල්පය හඳුන්වා දීම සිදු කෙරිණ. D අකුරෙන් Distance නම් වූ දුරස්ථභාවය හඳුන්වයි. Reවලින් Respiratory etiquette නම් වූ ශ්වසන ස්වස්ථතාව හඳුන්වයි. A අකුරෙන් Aseptic නම් විෂබීජහරණය හඳුන්වයි. Mවලින් Mask නම් වූ මුව ආවරණය හඳුන්වයි. නව සාමාන්‍යකරණයකට රට යා යුතු බව වෛද්‍යවරුන් දැනුම් දීමෙන් පසුව කොවිඩ් පළමු රැල්ල පාලනය කර ගැනීමට හැකි විය. රටේ දිස්ත්‍රික්ක ග්‍රාම සේවක මට්ටමට සිතියම්ගත කරන ලෙසට ද වෛද්‍යවරුන් රජයට දැනුම් දීමක් සිදු කෙරිණ. සිතියම්ගත කිරීමෙන් කොවිඩ් ආසාදිතයන් වැඩිපුර වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හඳුනාගත හැකිය. මේ සඳහා නියමිත දත්ත අවශ්‍ය වේ. මෙම සිතියම නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය අවම කර ගත හැකිය. ඒ සඳහා අද සිදු කරන පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල හෙටවත් ලැබිය යුතුය. දත්ත නොමැති ගැටලුවක් හේතුවෙන් මේ සිතියම නිසි ලෙස කරගෙන යා හැකි ද යන ගැටලුව තිබිණ.

 

නිරෝධායන ක්‍රියාවලිය

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලක් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ මුල් කර ගනිමින් කොවිඩ් දෙවැනි රැල්ල වාර්තා විය. එය වළක්වා ගැනීමට මේ සිතියම උපකාරී විය. ආසාදිතයන් වාර්තා වන ප්‍රදේශ වසා දැමීම එහිදී ද සිදු කෙරිණ. ආයතනගත නිරෝධායන ක්‍රියාවලියට වඩා නිවෙස්ගත නිරෝධායනය සුදුසු බවට වෛද්‍යවරුන් ජනාධිපති කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායට දැනුම් දුනි. මුල් කාලයේදී වෛද්‍යවරුන් ලෙස මේ යෝජනාව රජයට ඉදිරිපත් කරන විට විරුද්ධ වුවත් අද වන විට නිවෙස් නිරෝධායන ක්‍රියාවලියට රජය ඉඩ දී ඇත. නිරෝධායන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැමෙක් පූනානිවලට පිටත් කර හැරෙයි. එය ආසාදිතයාගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ මානසික අසහනයට බලපෑමක් සිදු කරයි.

කොවිඩ් මර්දනයට එන්නත් මෙරටට ලැබේ නම් එන්නත්කරණය ආරම්භ කළ යුතු බව ද වෛද්‍යවරු පැවසූහ. නමුත් කොවිඩ් මර්දනයට එකම විසඳුම එන්නත්කරණයම නොවන බව වෛද්‍යවරු දැනුම් දෙති. DReAM සංකල්පය ක්‍රියාත්මක කරමින් එන්නත්කරණය ද ක්‍රියාවට නැංවිය යුතුය. එන්නත් ලැබෙනුයේ සීමිත තොග වශයෙනි. ඒ අනුව සැවොම එක්වරම එන්නත්කරණය කළ නොහැකිය. එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් වුවත් වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහි ගැටලු තිබේ. ලෝකයේ රටවල එන්නත්කරණය සිදු කරනුයේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ටය. එහෙත් අපේ රටේ වයස අවුරුදු 30ත් 60ත් අතර ලබා දීමට තීරණය කෙරිණ. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට එන්නත් ලබා දීමට ද තීරණයක් ගත්තේ නම් එය වඩාත් සාර්ථක තීරණයක් වේ. එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළහ.

 

නිවෙස්ගත නිරෝධායනය

ආසාදිතයන්ට ප්‍රතිකාර දීම සඳහා රෝහල්වල ඇඳන් ධාරිතාව සහ දැඩි සත්කාර ඇඳන් ධාරිතාව ඉහළ නැංවිය යුතු බව ද වෛද්‍යවරුන්ගේ මතය විය. වර්තමානය වන විට මේ අවශ්‍යතාව හොඳටම දැනෙමින් පවතියි. එහෙත් ඇඳන් පමණක් වැඩි කිරීමෙන් කොවිඩ් මර්දනය කළ නොහැකිය. ඒ අනුව නිවෙස්ගත නිරෝධායනය වැදගත් වේ. සංකූලතා නොපෙන්වන රෝගීන් නිවෙස්ගත නිරෝධායනයට යොමු කළ හැකිය. එමඟින් රෝහල් ධාරිතාව ඉක්මවීම අඩු කර ගත හැකිය. රෝහලක ඇඳන් සංඛ්‍යාව වැඩි කළ ද වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැඩි වීමක් සිදු නොවේ. ඒ හේතුවෙන් රෝගීන් රෝහල්වල වැඩි වුවහොත් සෞඛ්‍ය කාර්ය මණඩලයේ අඩුව නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද පාලනය කළ නොහැකි ලෙස මේ වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතියි. කොවිඩ් වළක්වා ගැනීම සඳහා ගර්භිණී මවුවරුන්ට නිවාඩු දීමට රජය තීරණයක් ගත් විට වෛද්‍යවරුන් වන ගැබිනි මවුවරුන්ට ද සේවයට වාර්තා නොකර නිවෙස්වල රැඳී සිට රාජකාරිය කිරීමට අවස්ථාව ලබා දුනි.

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුල්වල උදවියට එන්නත් දීම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැඟිණ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගීන් සමඟ නිතර ගැටෙන අතර ඔවුන් නිවෙසට යනුයේ වයිරසය ද රැගෙන විය හැකිය. නිවෙසේ අයගේ ප්‍රතිශක්තිය යහපත් වුව හොත් වයිරසය ආසාදනයෙන් වැළකීමට හැකිය. ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිවෙස්ගත පුද්ගලයන් එන්නත්කරණයට ලක් කළ යුතු බවට වෛද්‍යවරු ඉල්ලීමක් කළහ. එමඟින් සමාජයට ව්‍යාප්ත වීම වැළැක් වීම වෛද්‍යවරුන්ගේ අරමුණ විය.

 

අවම සංචරණය

පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව කාලය සංචරණ සීමා සහිතව පැවැත්විය යුතු බවට වෛද්‍යවරුන් ලෙස ප්‍රකාශ කළ ද එය ඒ අයුරින් සිදු නොවිණි. කොවිඩ් තුන්වැනි රැල්ලක් නිර්මාණය වීමට එය හේතු විය. පාස්කු ප්‍රහාරය නිසා අවුරුදු සැමරීම පසුගිය වසර දෙක තුළම නොහැකි වූ නිසා ජනතාවට ලැබුණු අවසරයෙන් උපරිමයෙන් අලුත් අවුරුදු සැමරීමට ජනතාව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට කොවිඩ් ආසාදිතයන් බහුල ලෙස වාර්තා වේ. DReAM සංකල්පය ක්‍රියාත්මක කර සංචරණය අවම කරමින් එන්නත්කරණය සිදු කළේ නම් මෙවැනි රැල්ලක් ඇති නොවේ. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, රජය යන පාර්ශ්ව තුනම එක් වීමෙන් මේ වයිරසය පාලනය කර ගත හැකිය. පළමු හා දෙවැනි කොවිඩ් රැලි පාලනය කර ගැනීමට මෙම එකතු වීම හේතු විය.

කොවිඩ් වසංගතය දේශපාලනීකරණය කර නොගත යුතුය. අලුත් අවුරුද්දට පෙර රජයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ විවිධ ප්‍රකාශයන් නිසා ජනතාව වික්ෂිප්ත විය. මේ නිසා 'ඕන දෙයක්' කියලා ජනතාව නිදහසේ හැසිරෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස අද මේ තත්ත්වය ඇති වී තිබේ. කොවිඩ් දේශපාලනීකරණය නොකර එය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට බාර දිය යුතුය. කොවිඩ් යනු සෞඛ්‍ය ප්‍රශ්නයකි.

සෞඛ්‍ය යුද්ධයේ තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අංශයට අයත් පිරිස විසිනි. මේ යුද්ධයට අවශ්‍ය උපකාර කිරීමට සෙසු බල ඇණි සූදානම් විය යුතුය. ප්‍රාදේශීය ලේකම්වරු, හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් සියලු දෙනා මේ යුද්ධයේ අතිරේක බල ඇණි ලෙස හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස රටේ යුද්ධයක් පැවතිණ. රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා, හමුදාපතිවරයා එහිදී තීරණ ගැනීම සිදු කෙරිණ, ඒ යුද්ධයේදී වෛද්‍යවරු අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් යුද්ධයට සහාය දීම සිදු කෙරිණ. එසේම මේ කොවිඩ් වසංගතය යනු සෞඛ්‍ය යුද්ධයකි. මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි තත්ත්වයක් ලෙස මේ වසංගතය හැඳින්විය හැකිය. මෙවැනි තත්ත්වයකදී නිවැ‍රැදි තොරතුරු මහජනතාවට දිය යුතුය. ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතුය. ඒ සඳහා සෞඛ්‍ය කාණ්ඩ ක්‍රියාත්මක විය යුතුය.

අනතුර පිළිබඳ ජනතාවට නිසි ලෙස සන්නිවේදනය නොකළ හොත් ජනතාවගේ විශ්වාසය බිඳ වැටේ. ජනතාවගේ විශ්වාසය නැති වූ විය එය ව්‍යසනයක් බවට පත් වේ. එම නිසා මේ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳීම සෞඛ්‍ය අංශ විසින් අතට ගෙන කළ යුතුය. ඊට අතිරේක ලෙස අනෙක් පුද්ගලයන් උදව් කළ යුතුය. එසේ නොමැතිව දේශපාලනඥයන් හෝ වෙනත් කණ්ඩායමක් මෙය අතට ගත හොත් ඉන් රටටම හානියක් සිදු විය හැකිය.

 

ජනතා සහයෝගය

ජනාධිපතිවරයා වෛද්‍යවරුන් හමු වී සාකච්ඡා කර වෛද්‍යවරුන්ගේ තීරණ මත ක්‍රියාත්මක වීම සිදු වේ. සංචරණ සීමා පැනවීමක් මේ මොහොතේ සිදු කර තිබේ. නිසි වේලාවට වෛද්‍යවරුන්ගේ තීරණ රජයට දැනුම් දුන්න ද කිසියම් හේතූන් නිසා ඒවා නිසි අවස්ථාවේදී ක්‍රියාත්මක නොවිණ. අලුත් අවුරුදුවලට පෙර පළාත් අතර සංචරණ සීමා දැමිය යුතු බවට වෛද්‍යවරු රජයට දැනුම් දුන් අවස්ථාවේදී පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වූයේ නම් අද මෙසේ වසංගතය ව්‍යාප්ත නොවීමට ඉඩකඩ තිබිණ. ජනාධිපතිවරයා තීරණ ගත්ත ද අමාත්‍යවරුන් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒ සම්බන්ධයෙන් බරක් ගෙන ක්‍රියාත්මක කරන්නේ ද යන්න ගැටලුවකි. සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේදී ජනතාව සියයට 90ක් මීට නතු විය යුතුය. නමුත් අද වන විට සංචරණ සීමා සම්බන්ධයෙන් ජනතාවගේ සහාය සියයට 50ක් පමණය. එවැනි තත්ත්වයකදී වසංගතය ව්‍යාප්ත වීමක් මිස අඩු වීමක් සිදු නොවේ. මාස දෙක තුනකින් තුන්වැනි රැල්ල පාලනය කිරීමට සිතන්නේ නම් සහ සංචරණ සීමා නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් එහි ගැටලුවක් පවතියි.

වෛද්‍යවරුන් 40ක් පමණ ආසාදිතයන් බවට පත් විය. එසේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අය ද රෝගි විය. මේ වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශවලට බලපෑමක් පැවතිය ද රෝගීන් වෙනුවෙන් සේවාව පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබේ. වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය ප්‍රමාණාත්මකව අඩුය. වසංගත තත්ත්වය මධ්‍යයේ නිලධාරීන්ගේ හිඟය අනුව සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී දෛනික සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීම නොවැළැක්විය හැකි කාරණාවකි. එනම් දෛනික සායන, දෛනික සැත්කම් යනාදිය බිඳ වැටීමට හැකියාවක් පවතියි. මේ වසංගතය කුමන කාලයේ අවසන් කර ගන්නේ ද යන්න ජනතාව මත රැඳී පවතියි. වසංගත පාලනය සම්බන්ධයෙන් ගත යුතු තීරණ සම්බන්ධයෙන් රජයට දැනුම් දීම වෛද්‍යවරු සිදු කරති. ජනතා සහායක් නොමැතිව මේ වසංගතය පාලනය කර ගත හැකි බවට ජනතාව සිතන්නේ නම් එය ජනතාවගේ පැත්තෙන් කරන අසාධාරණයකි.

 

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න