මැකොස නිලධාරීන් ඉවත් කිරීමෙන් ඡන්ද අසාර්ථක වීමේ අවදානමක් | දිනමිණ

මැකොස නිලධාරීන් ඉවත් කිරීමෙන් ඡන්ද අසාර්ථක වීමේ අවදානමක්

සජිත් කථානායකට ලියයි

මනා අත්දැකීම් සහිත නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉවත් කිරීම හේතුවෙන් ඉදිරි මැතිවරණ කටයුතු අසාර්ථකවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ පසුගිය මාස කිහිපය තුළ මැතිවරණ කොමිෂන් සභාවේ සේවය කරන අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් ස්ථාන මාරු කර ඇති බව වාර්තා වන බවයි.

අත්දැකීම් හා පළපුරුද්ද ඇති නිලධාරීන් මාරු කර, දේශපාලන අධිකාරියේ බලපෑමට වෙසෙසින් ලක් විය හැකි නවක නිලධාරීන් මැතිවරණය මෙහෙයවීමට පත් කිරීම තුළින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඇති ඉඩ කඩ ඇහිරීමේ අවදානමක්ද ඇති විය හැකි බව ප්‍රේමදාස මහතා එහි දක්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා පරමාධිපත්‍යයට මෙයින් ඇති විය හැකි අහිත කර බලපෑම් වළක්වාලීම පිණිස මේ පිළිබඳ කඩිනමින් සලකා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බැවින්, ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට වගකිව යුතු පාර්ලිමේන්තු සභාව රැස් කර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් ලෙස අපගේ මතය යැයිද එහි සඳහන් වේ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සේවය කරන අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් කෙටිකාලයක් ඇතුළත ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු සභාවේ විශේෂ රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙසද ලිපිය මඟින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න