නව නිපැයුම් ත්‍රිත්වයක සාඩම්බර හිමිකරුවෝ | දිනමිණ

නව නිපැයුම් ත්‍රිත්වයක සාඩම්බර හිමිකරුවෝ

 

කොරෝනා වයිරසය පැතිර යමින් තිබෙන මේ සමයේ ජනතාවට නිහඬව එල්ල වන මාරාන්තික ප්‍රහාරයක් සම්බන්ධයෙන් ද වෛද්‍යවරු දැනුම්වත් කරමින් සිටිති. ඒ ඩෙංගු රෝගයයි. ඩෙංගු මදුරුවාගේ දෂ්ටනයෙන් ඇති වන ඩෙංගු රෝගය මාරාන්තිකය. වසරකට සැලකිය යුතු පිරිසක් මෙම රෝගය නිසා මරණයට පත් වෙති. ඩෙංගු මදුරුවාගෙන් බේරීමට හැකි එකම මාර්ගය වන්නේ උන් බෝ වන ස්ථාන විනාශ කිරීමයි.

පිරිසුදු ජලය ඇති ස්ථානවල බෝ වන මෙම මදුරුවන්ට කානු සහ වැහි පීලී සිය වර්ගයා බෝ කිරීමට තෝතැනිය. කානුවක ජලය රැඳී ඇත්නම් එය පිළිසකර කළ හැකිය. එහෙත් වහලේ පීල්ලක ජලය රැඳී ඇති බව දැන ගැනීමට හැකියාවක් නැත. ඒ සඳහා වහලටම නැඟ බැලිය යුතුය. වහලකට නැඟීම අවදානම් කටයුත්තකි.

නිවෙස් හිමියන් මෙන්ම නිවෙස් පරීක්ෂා කිරීමට පැමිණෙන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද වහලේ කුණු කසළ රැඳී මදුරුවන් බෝ වන ස්ථාන පවතින්නේද යන්න සොයා බැලීම අසීරු කාර්යයකි. නව නිර්මාණයන්හි වටිනාකම ඉස්මතු වන්නේ මෙවැනි අසීරු කාර්යයන්හිදීය.

නිපේෂ් රොච්, චන්න නෙරංජන් බණ්ඩාර, රුවනි සඳමාලි ද සිල්වා, දේශානි කෞශල්‍යා පතිරාජ සහ චමිත්‍රා ලක්මිණි හෙට්ටිආරච්චි එක්ව ඉහත ගැටලුවට සාර්ථක විසඳුමක් ඉදිරිපත් කර තිබේ. එනම් බිම සිට පීලිවල රැඳී ඇති කසළ හඳුනා ගැනීමේ උපකරණයයි (Detection of Garbage Trap on Roof Gutter). ඔවුන් විසින් කරන ලද නව නිර්මාණය ඇතුගල්පුර ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 සමාජය විසින් සංවිධානය කළ ‘IdeaTech 2021’ නව නිපැයුම් තරගාවලියේ අවසන් තරග කණ්ඩායම් අතරට එක් වීමට සුදුසුකම් හිමි කරගෙන තිබේ. මේ ඔවුන්ගේ එක් නිර්මාණයක් පමණි. මීට අමතරව ස්යංක්‍රීයව පොල් තෙල් මැනීමේ උපකරණය (Automated Coconut Oil Measuring System) සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවල මහන යන්ත්‍ර අඩපණ වීම සංඥා කරන පද්ධතිය (Machine Breakdown Capturing for Apperal Industry) ඔවුන්ගේ නව නිර්මාණ ගොන්නට එක් වන සෙසු නිර්මාණ වේ.

වැහි පීලිවල කසළ හඳුනා ගැනීමේ යන්ත්‍රය

පහසුවෙන් භාවිත කළ හැකි හුරුබුහුටි යන්ත්‍රයක් වන මෙය මේ වන විට නිපදවා ඇත්තේ සෙල්ෆි දණ්ඩක් (Selfi Stick) උපයෝගී කරගෙනය. සෙල්ෆි දණ්ඩ කොටස් කොටස් වශයෙන් ඉහළට එසවිය හැකි බැවින් ඉහළ කොනේ ඇති ජංගම දුරකතනය රඳවන කොටසේ සවි කර ඇති සංවේදකය වැහි පීල්ලේ ඇතුළට බහාලිය හැකිය. එහිදී එම දණ්ඩේ අග සවි කර ඇති සංවේදකය පීල්ලේ කසළ ඇත්ත නම් හඳුනාගෙන දණ්ඩේ පහළ ඇති බල්බය වෙත සංඥා නිකුත් කරනු ලබයි. එම සංඥා ග්‍රහණය කරගන්නා පරිපථය මඟින් බල්බයක් දල්වමින් පීල්ලේ කසළ ඇති බවට පරිශීලකයාට දන්වා සිටියි. ඒ අනුව වහලට නොනැඟම පහළ සිට පීලිවල කසළ ඇත්දැයි සොයා බැලිය හැකිය. ඉතා ඉහළින් පිහිටි වහලක පීල්ලකට වුවද දණ්ඩේ දිග හැරිය හැකි ප්‍රමාණය වැඩි කර භාවිත කළ හැකිය.

මෙම උපකරණයේ ඇති සුවිශේෂතා වන්නේ අතේ ගෙන යා හැකි වීම, භාවිත කිරීමට කිසිදු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීම සහ ඕනෑම කෙනකුට පහසුවෙන් භාවිත කළ හැකි වීම ය.

 

ස්වයංක්‍රීයව පොල් තෙල් මැනීමේ උපකරණය

වෙළෙඳපොළේ පොල් තෙල් මිල දී ගැනීමේ දී බොහෝ විට බෝතලයක් මිනුම් දණ්ඩ ලෙස තබා ගැනීම සුලභ දර්ශනයකි. එසේම තෙල් බෝතල්වලට දෙන වෙළෙඳ සේවකයන් අතින් පොල් තෙල් අපතේ යාම ද බහුලව සිදු වෙයි.

එපමණක් නොවේ බැරල්වලින් පොල්තෙල් ගෙන පාරිභෝගිකයාගේ බෝතල්වලට වැක් කිරීමේ දී සේවකයාගේ අතට ඉහිරීම මෙන්ම පිටතට ද බොහෝ තෙල් ප්‍රමාණයක් හැලෙනු දක්නට ලැබෙයි.

මේ ගැටලුවට විසඳුමක් ලෙස කිසිවකුගේ සහයකින් තොරව පාරිභෝගිකයාට තමන්ට අවශ්‍ය පොල් තෙල් ප්‍රමාණය මෙම යන්ත්‍රයේ සටහන් කළ විට එම සටහන් කළ ප්‍රමාණය එම යන්ත්‍රයේ ඇති තෙල් පිටතට පැමිණෙන මුඛයෙන් බෝතලයට ඇතුළු වෙයි. ඉලෙක්ට්‍රානික් උපාංගයක් වන මෙය ආර්ඩිනෝ ක්‍රමවේදය උපයෝගි කරගත් පරිපථයක් ආධාරයෙන් නිර්මාණය කර ඇත.

මේ යන්ත්‍රයෙන් පාරිභෝගිකයාට නියමිත පොල් තෙල් ප්‍රමාණය ලැබෙන අතරම, තවත් සුවිශේෂ වාසියක් වන්නේ මෙම යන්ත්‍රය හරහා ලබා ගත හැකි වන්නේ ගුණාත්මක පොල් තෙල් පමණක් වීමය. එයට හේතුව වන්නේ ඝනත්වයෙන් ඉහළ පොල් තෙල් පමණක් යන්ත්‍රයෙන් පිටතට පැමිණන ආකාරයෙන් පොල් තෙල්වල ගනත්වය පදනම් කරගත් තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කර තිබීමයි.

එම නිසා පාරිභෝගිකයාට පිරිසුදු පොල්තෙල් බෝතලයක් නි‍ෙවසට ගෙන යෑමේ අවස්ථාව උදා කර දී තිබේ.

එසේම වෙළෙන්දන්ට ද සේවකයකුගේ සේවය පොල්තෙල් බෝතල්වලට පිරවීම සඳහා අවශ්‍ය නොවන අතර, ස්වයංක්‍රීය යන්ත්‍රයකින් සිදු වන නිසා පාරිභෝගිකයාට ද තමන් සටහන් කරන ප්‍රමාණයම ලැබෙන බවට තහවුරු වීම නිසා ව්‍යාපාරය සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ද මේ යන්ත්‍රය මහෝපකාරී වේ.

මහන යන්ත්‍ර අඩපණ වීම සංඥා කරන පද්ධතිය

මහ පරිමාණ ඇඟලුම් කම්හල්වල මේ වන විට ද මෙම පද්ධතිය භාවිත කෙරෙමින් පවතී. ඇඟලුම් කම්හලක යන්ත්‍ර ක්‍රියාකරුවන් සිටින පේළියක (ලයින්) යන්ත්‍රයක් අඩපණ වූ විට එම පේළියේ යම් තැනක සවි කර ඇති ස්විචය ඔබා රතු බල්බය දැල්වූ විට යන්ත්‍ර අලුත්වැඩියා කරන්නන් වෙත එම ස්ථානයට පැමිණෙන ලෙස සංඥාව නිකුත් කෙරේ. රතු බල්බය දැල්වූ සැණින් එය ආයතනයේ කළමනාකාරවරයාගේ පරිගණකයට සංඥාවක් නිකුත් වේ. එහිදී සේවිකාවක බල්බය දැල්වූ වේලාව සටහන් වේ. ඉන්පසු යන්ත්‍රය අලුත්වැඩියා කරන්නා පැමිණ රතු බල්බය නිවා දමා තමන් යන්ත්‍රය අලුත්වැඩියාව ආරම්භ කරන බවට සංඥාව නිකුත් කරන කහ පාට බල්බය ක්‍රියාත්මක කරනු ලබයි. එම වේලාව ද කළමනාකාරවරයාට සම්බන්ධිත පරිගණක වැඩසටහනේ සටහන් වේ. යන්ත්‍ර අලුත්වැඩියා කරන්නා තම කාර්යය නිම කර කහ පාට බල්බය නිවා දමා කොළ පාට බල්බය දල්වා තම කාර්යය නිම කර ඇති බව හඟවනු ලබයි. එම වේලාව ද අදාළ පරිගණකයේ සටහන් වෙයි.

මෙම පද්ධතියෙන් ඇඟලුම් කම්හලට අත්වන වාසි වන්නේ ලයින්වල කොපමණ යන්ත්‍ර ප්‍රමාණයක් අඩපණ වනු ලබයි ද, ඒවා අලුත්වැඩියා කිරීමට ගත වන කාලය ආදි තොරතුරු දැන ගැනීමට හැකි වීමයි.

ඒ අනුව නිරන්තරයෙන් අඩපණ වනු ලබන යන්ත්‍ර ඉවත් කොට වෙනත් යන්ත්‍ර යොදා කාර්යක්ෂම සේවාවක් සපයා ගැනීමට හැකිය. එපමණක් නොවේ දිනකට, මාසයකට අඩපණ යන්ත්‍ර ප්‍රමාණය මෙන්ම ඒවා අලුත්වැඩියා කිරීමට ගත වන කාලය ද මැන ගැනීමෙන් කම්හලේ කාර්යක්ෂමතාව මැන ගැනීමට ද හැකියාව ඇති අතරම යන්ත්‍ර අලුත්වැඩියා කරන්නන්ගේ දක්ෂතා ද මැන ගැනීමට හැකියාව ලැබේ.

නිපේෂ්, චන්න, රුවනි, දේශානි සහ චමිත්‍රා යන සියලු දෙනාම රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ සිසු සිසුවියන් වන අතර අධ්‍යාපනයෙන් ඉදිරියට ගමන් ගන්නා අතරම ජනතාවට ප්‍රායෝගිකව එදිනෙදා භාවිත කළ හැකි නව නිර්මාණ කිරීම අරමුණු කරගෙන තිබේ. එසේම ඔවුහු තමන්ගේ මෙම නිර්මාණකරණයට සහාය දෙන පීඨාධිපති ආචාර්ය හර්ෂ දේව ගුණවර්ධන මහතාටත්, ඉංජිනේරු තාක්ෂණ අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය සංජය තිලකරත්න මහතාටත්, ඉංජිනේරු තාක්ෂණ අංශයේ ආචාර්ය උදිත ඉසුරංග මහතාටත්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ උදවු කළ සියලු දෙනාටත් ස්තුතිය පුද කර සිටිති.

 

පී.කේ. බණ්ඩාර

 

නව අදහස දක්වන්න