හෘදය ගතිකර බද්ධයේ විප්ලවීය වෙනස | දිනමිණ

හෘදය ගතිකර බද්ධයේ විප්ලවීය වෙනස

 

උපන්දා සිට එකදු තත්පරයක් හෝ විවේක නොගෙන, මරණය දක්වා අඛණ්ඩව ස්පන්දනය වෙමින්, මිනිස් ජීවිතය පවත්වාගෙන යෑමේ සුවිශේෂම කාර්යභාරයක් ඉටු කරන්නේ හදවත විසින් බව නොරහසකි. හදවත රෝගී වීම මරණයට අත වැනීමක් වන්නේ ද එබැවිනි. සාමාන්‍යයෙන් ඕනෑම නීරෝගි පුද්ගලයකුගේ හෘද ස්පන්දන වේගය නියතව පවත්වාගෙන යෑම සිදු වන්නේ කන්තුක ගතිකරය ලෙස හඳුන්වන, හෘදයට සමීපව පිහිටා ඇති එක්තරා ව්‍යුහයක් මඟිනි. නමුත් විවිධ රෝගී තත්ත්ව නිසා මෙම ගතිකරය නිසි පරිදි ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී රෝගියාගේ ජීවිතය අනතුරට පත් වීමෙන් වළක්වා ගැනීමට කෘත්‍රිම කන්තුක ගතිකරයක පිහිට පැතීමට සිදු වේ. ඇතැම් විට මෙම කන්තුක ගතිකර ජීවිත කාලය පුරාවටම මිනිස් සිරුර තුළ පවතිමින් හෘද ස්පන්දනය නියාමනය කිරීම සිදු වුව ද, බොහෝ විට කන්තුක ගතිකර බද්ධ කෙරෙන්නේ කෙටි කාලයකට පමණක් ක්‍රියාත්මක වීම පිණිසය. හෘදයාබාධ, විවෘත හෘදය සැත්කම් හා ඖෂධ අධි මාත්‍රාවෙන් ගැනීම වැනි තත්ත්වවලදි හෘදයේ ක්‍රියාකාරිත්වය නිසි මඟට අවතීර්ණ කරවීම සඳහා එලෙස තාවකාලික කන්තුක ගතිකර බද්ධ කිරීම සිදු වන අතර, නිසි කාලය අවසානයේදී ඒවා යළිත් සිරුරෙන් ඉවත් කිරීම සඳහා ද රෝගියා යළිත් වරක් සැත්කමකට ලක් කිරීමට සිදු වේ. මෙය රෝගියාට කොතරම් අසහනකාරි සේම වේදනාකාරී වුවක් ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. මෙම ගැටලුවට පිළියම් ලෙස, සිරුර තුළම දියව යෑමේ හැකියාවෙන් යුතු ලොව ප්‍රථම ද්‍රාව්‍ය කන්තුක ගතිකරය නිපදවීමට අ‍ෙමරිකාවේ නොර්ත්වෙස්ටර්න් හා ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් පිරිසක් පසුගිය දා සමත් වූයේ කන්තුක ගතිකර බද්ධය විප්ලවීය මාවතකට අවතීර්ණ කරවමිනි.

 

කෘත්‍රිම කන්තුක ගතිකරය

ප්‍රමාණයෙන් ගිනි පෙට්ටියක් තරම්, බරින් ග්‍රෑම් 20ත් 50ත් අතර වන කුඩා උපාංගයක් වන මෙය කම්පන ජනකයකින් ද, විදුලි කෝෂයකින් ද, ක්ෂුද්‍ර පරිමාණයේ පරිගණක පරිපථයකින් හා කන්තුක නියමුවන් ලෙස හැඳින්වෙන රැහැන් එකකින් හෝ දෙකකින් සමන්විත වූවකි. කම්පන ජනකයෙන් සමාන කාලාන්තරවලදි නිකුත් කරන ආවේග හෘදය කරා රැගෙන යන්නේත්, ගතිකරය හෘදයට සම්බන්ධ කොට තබන්නේත් කන්තුක නියමු රැහැන් විසිනි. එලෙස ආවේග නිකුත් කිරීමේ වේගය හැඳින්වෙන්නේ ‘ගතිකර වේගය’ ලෙසය. ඕනෑම කෘත්‍රිම ගතිකරයක් පුද්ගල අවශ්‍යතාව අනුව, එනම් සිරුරේ අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් ගතිකර වේගය පවත්වා ගනිමින්, ක්‍රියාත්මක වීමට සමත් අයුරින් වැඩසටහන් ගත කොට තිබේ. එනම් හෘදය සාමාන්‍ය ආකාරයට වඩා අඩු වේගයකින් ස්පන්දනය වේ නම් හෝ, ස්පන්දන වාරයක් අතපසු වුවහොත් හෝ එය යථා තත්ත්වයට පත් කරලීම සඳහා ආවේග නිකුත් කිරීම කෘත්‍රිම කන්තුක ගතිකරයක් බද්ධ කිරීමේ අරමුණයි. හෘදය සාමාන්‍ය අයුරින් ස්පන්දනය වේ නම් ගතිකරයෙන් සංඥා ආවේග නිකුත් වීමක් වන්නේ නැත. පුද්ගලයකුගේ ශ්වසන වේගය හා සිරුරේ චලන හඳුනා ගැනීමට සමත් සංවේදක, බොහෝ කෘත්‍රිම කන්තුක ගතිකරවලට ඇතුළත් කොට ඇති බැවින් පුද්ගලයා ක්‍රියාකාරී අවස්ථාවල සිරුරේ අවශ්‍යතාවට ගැළපෙන අයුරින් හෘදය ක්‍රියාත්මක වීමට සැලැස්වීමට මේවාට හැකියාව තිබේ.

 

තාක්ෂණයේ අනාගත නියෝජනය

හදවතට බද්ධ කොට සති හතක් වැනි කාලයක් තුළදි සිරුර තුළම දිය වී යාමේ හැකියාවැති ලොව ප්‍රථම කෘත්‍රිම කන්තුක ගතිකරය ලෙස එහි නිර්මාතෘවරුන් හඳුන්වා දෙන මෙම සැහැල්ලු මෙවලම, මෙතෙක් කල් භාවිත කළ සාම්ප්‍රදායික කන්තුක ගතිකරවලට වඩා බෙහෙවින්ම වෙනස්ය. හදවතට සම්බන්ධ කිරීමෙන් පසු දූරස්ථ පාලකයක් මඟින් ක්‍රියාත්මක කරවිය හැකි මෙම ගතිකරය එහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ ද විශේෂිතම ක්‍රමයකටය. ඉලෙක්ට්‍රොනික ගෙවීම් කටයුතු සඳහා ස්මාට් ජංගම දුරකතනවල භාවිතයට ගැනෙන සමීප-ක්ෂේත්‍ර සන්නිවේදන මාර්ගෝපදේශය නමැති තාක්ෂණය භාවිතයෙන් රැහැන් රහිතව, බාහිර ඇන්ටනාවක් වෙතින් ශක්තිය ගැනීමට සමත් බැවින්, සාම්ප්‍රදායික ගතිකරවල මෙන් බරැති විදුලි කෝෂ හෝ වෙනත් දෘඪ පරිපථ මෙහි අන්තර්ගත වන්නේ නැත. මෙමඟින් රෝගියාට ලැබෙන සුවිසල්ම වාසියක් වන්නේ හෘදයේ ආසාදන, රුධිර කැටි ගැසීම් හා පටකවල කැළැල් ඇති වීම වැළකීමය. මෙම කන්තුක ගතිකරය නිර්මාණය කිරීමේ පර්යේෂණයේ ප්‍රධාන නියමු වෛද්‍ය ජෝන් ඒ රොජර්ස් විසින්ම හඳුන්වා දෙන පරිදි තාවකාලික කන්තුක ගතිකර තාක්ෂණයේ අනාගත නියෝජනයක් බඳු මෙම අසාමාන්‍ය ගතිකරයේ ඇති සුවිශේෂම වාසිය වන්නේ සිරුර තුළ එහි කාර්යභාරය අවසන් වීමෙන් පසු සැත්කමක් මඟින් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නොවීමය.

මේ නිසා සම මතුපිටින් සම්බන්ධ වන රැහැන් කිසිවක් මෙහි දක්නට නැත. සම්ප්‍රදායික කෘත්‍රිම කන්තුක ගතිකරයක් හදවතට බද්ධ කිරීමෙන් පසු, එය නියමිත ස්ථානයේ රඳවා ගැනීම සඳහාත්, යළි එය ඉවත් කිරීම සඳහා රැහැන් කිහිපයක් සම මතුපිටින් ඊට සම්බන්ධ කෙරෙන අතර, මේවා බොහෝ විට ගැලවී යාම හෝ ආසාදනය වීම සුලබව සිදු වේ. කන්තුක ගතිකර බද්ධයේ ඇති ප්‍රධානම අතුරු ආබාධයක් වන මෙම තත්ත්වය නව නිර්මාණය විසින් සාර්ථකව මැඬ පවත්වා තිබේ. අතිරේක දෘඪාංගවල අවශ්‍යතාවක් නැති වීම නිසා රෝගියාට දැරීමට සිදු වන පිරිවැය ද සාපේක්ෂව අවම බවයි වෛද්‍ය රොජර්ස් පෙන්වා දෙන්නේ.

 

හදවතේ සැත්කමකින් පසු

සිරුර තුළම දිය වී යෑමේ හැකියාව මෙම විප්ලවීය කන්තුක ගතිකරයට හිමිව තිබෙන්නේ එය සිරුරට හිතකර, විශේෂිත ජෛව ප්‍රතිශෝෂණ, ජෛවානුසාර ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය කොට ඇති නිසාය. හදවතේ සැත්කමකින් පසු එහි ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් වන තෙක්, ස්පන්දනය නියතව පවත්වා ගැනීම සඳහා හදවතට බද්ධ කරන කෙටි කාලීන ගතිකර නැවත ඉවත් කිරීම සඳහා ද සැත්කමකට ලක් වීමට සිදුවීමේ වේදනාවෙන් රෝගියා මුදා ගැනීමට මින් හැකියාව ලැබී තිබේ. යළි ඉවත් කිරීමක් අවශ්‍ය නොවන බැවින් ඉදිරියේදි විවෘත හෘදය සැත්කම්වලට ලක් වන රෝගීන්ට පමණක් නොව ‘අන්තර්-කැතීටර සංස්ථානික ධමනි කපාට ප්‍රතිස්ථාපනය’ වැනි කැතීටර ආධාරයෙන් සිදු කරන වෛද්‍යමය ක්‍රියාවලින් සඳහා ද මෙවැනි වර්ග‍යේ ගතිකර භාවිත කිරීමට හැකි වනු ඇති බවයි සම නිර්මාතෘ වෛද්‍ය රිෂි අරෝරා අවධාරණය කරන්නේ. එපමණක් නොව නුදුරු අනාගතයේදි කිසිදු බද්ධ කිරීමේ සැත්කමකින් තොරව පාදයක හෝ අතක ශිරාවක් ඔස්සේ මෙවැනි ගතිකර සිරුරට ඇතුළු කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කරයි. එසේම මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ රෝගියාගේ අවශ්‍යතාව අනුව ගතිකරය සිරුර තුළ ක්‍රියාත්මකව පවතින කාලය, එය නිර්මාණයට භාවිත කෙරෙන ජෛව ප්‍රතිශෝෂණ ද්‍රව්‍යයේ සංයුතිය හා මෙවලමේ ඝනකම අනුව වෙනස් කිරීමට ඇති හැකියාවයි.

“සායනික මට්ටමින් අවශ්‍ය වන කාලයට වඩා වැඩි කාලයක්, ස්ථාවරව ක්‍රියාත්මක වීමට හැකි අයුරින්, විවිධ වර්ගයේ ජෛව ප්‍රතිශෝෂණ ද්‍රව්‍ය භාවිතයෙන් මෙම අසාමාන්‍ය ආකාරයේ කන්තුක ගතිකර නිර්මාණය කෙරෙන්නේ, උපරිම තත්ත්ව පාලනයකට යටත්වයි. සාම්ප්‍රදායික ගතිකරයක් සිරුර තුළ පැවතිය හැකි උපරිම කාලය සති හතක් පමණක් වුවත්, එක් එක් රෝගියාගේ අවශ්‍යතාවය අනුව විශාල පරාසයක පැතිරී ගත් ජීව කාල සහිතව මේවා නිර්මාණය කිරීමේ තාක්ෂණයත් අප සතුව තිබෙනවා.”

වෛද්‍ය අරෝරා එලෙස පවසන්නේ කන්තුක ගතිකර බද්ධය විප්ලවීය මාර්ගයකට අවතීර්ණ කළ මෙම නිර්මාණය, එය නිපදවීමට මුලිකවම පාදක කරගත් ‘ද්‍රාව්‍ය තාක්ෂණ’ නුදුරේදීම වෙනත් බොහෝ ප්‍රතිකාර විධි හා චිකිත්සාවන් සඳහා වෛද්‍ය විද්‍යාවේ ඉංජිනේරුමය භාවිතයක් ලෙස යොදා ගැනීමට ඉඩකඩ සලසනු ඇති බව ද අවධාරණය කරමිනි.

 

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න