ශල්‍යකර්මයක් අතරමැද අවදි වුව හොත්? | දිනමිණ

ශල්‍යකර්මයක් අතරමැද අවදි වුව හොත්?

 

ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වීම කාට වුව තැති ගන්වන සුලු අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ නිර්වින්දනය නමැති වෛද්‍ය විද්‍යාත්මක ප්‍රාතිහාර්ය ලබා ඇති ප්‍රගතිය නිසා ශල්‍යකර්ම තව දුරටත් රෝගියාට වේදනාකාරි අත්දැකීමක් වන්නේ නැත. ක්‍රි.ව 1846දී දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් මෝර්ටන් සල්ෆියුරික් ඊතර් නැමැති නිර්වින්දනකාරකය යොදා ගනිමින් හාපුරා කියා රෝගියකු සිහිසුන් කොට ශල්‍යකර්මයක් සිදු කළ දින පටන් ගත වූ මේ දක්වා කාලයේදි ක්ලොරෝෆෝම්, ප්‍රොපොෆෝල් වැනි පුළුල් වපසරියකින් යුතු වේදනා සමන හා සිහිසුන් කිරීමේ ඖෂධවල සොයා ගැනීමත් සමඟ නිර්වින්දන වෛද්‍ය විද්‍යාව අත්කරගෙන ඇති ප්‍රගතිය කොතරම් ද යත්, රෝගියාගේ අවශ්‍යතාව අනුව නිර්වින්දන තත්ත්වය තෝරා ගැනීමට පවා හැකිය. එහෙත් වෛද්‍ය වාර්තාවලින් පැවසෙන ආකාරයට ලොව පුරා සිදු කෙරෙන සෑම ශල්‍යකර්ම දහසකින් එකක් අතරවාරයේදිම නිර්වින්දනයට ලක් කළ රෝගියා එම සිහිසුන් බවින් පියවි සිහියට පැමිණීම සිදු වන බව ඔබ දැන සිටියාද? යම් හෙයකින් එවන් බියකරු අත්දැකීමක් ඔබට ලැබීමට සිදු වුව හොත් කුමක් වනු ඇතිද? මුලින්ම ඔබට ශල්‍යාගාරයේ දීප්තිමත් ආලෝකය ද, ක්‍රම ක්‍රමයෙන් ඔබ වටා කාර්යබහුලව සිටින, ශල්‍ය ඇඳුමින් සැරසීගත් පිරිස ද, පෙනෙන්නට ගන්නවා ඇත. එහෙත් වාසනාවකට මෙන් ඔබට කිසිවක් නොදැනෙනු ඇත. ඔබ පත්ව සිටින තත්ත්වය කඩිනමින් වටහා ගන්නා වෛද්‍යවරුන් විනාඩි පහක් ඇතුළතදි යළිත් ඔබව නිර්වින්දනයට ලක් කරනු ඇත. එහෙත් යම් හෙයකින් ඔබ අවදිව සිටින බව වටහා ගැනීමට වෛද්‍යවරුන් අපොහොසත් වුව හොත්?

පියවි සිහිය ලැබීම

“මීට අවුරුදු දහයකට පෙරයි මම ඒ ශල්‍යකර්මයට මුහුණ දුන්නේ. එහෙත් තවමත් මට ඒ බිහිසුණු අත්දැකීම අමතක කරන්න පුළුවන් වෙලා නැහැ. හැම රාත්‍රියකම දෙතුන් වතාවක් මම නින්දෙන් බයවෙලා නැගිටිනවා. ඒ මුළු සැත්කම පුරාවටම කරපු හැම දෙයක්ම මට හොඳටම දැනුණා. කියන්න බැරි තරම් වේදනාවක් අත් වින්ඳා. එහෙත් මට ඇඟිල්ලක්වත් හොලවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට දැනෙන දේ මගේ වටේ හිටපු අයට දන්වන්න යන්තම්වත් පුළුවන්කමක් මට තිබුණේ නැහැ. මාව ගල් වෙලයි තිබුණේ. සැත්කම් මේසය මතම මම මිය යාවි කියලයි මට හිතුණේ........”

සැත්කමක් අතරවාරයේදි පියවි සිහිය ලැබීමේ අති බිහිසුණු අත්දැකීම එලෙස විස්තර කරන්නේ කැනඩාවේ ඇල්ටෝනියාහි පදිංචි පනස් පස් හැවිරිදි ඩොන්නා පෙනර් ය. සැත්කම් අතරවාරයේදි රෝගීන් මෙලෙස අවදි වීම සුලබ වුව ද, ඒ බහුතරයක් පිරිසකට තමන් එලෙස සිහිය ලැබූ බවක් සැත්කමෙන් පසු මතකයේ රැඳෙන්නේ නැත. ඒ නිර්වින්දන ඖෂධවලින් ඇති කරන විස්මෘති තත්ත්වය නිසාය. එහෙත් ඉතාම විරල ලෙස ඩොන්නා වැනි තැතිගන්වන සුලු අත්දැකීම් ලැබීමට තරම් අවාසනාවන්ත වූවන් සිටින්නට බැරි නැත. සැත්කමේ ස්වභාවය අනුව නිර්වින්දනය සිදු කරන ප්‍රධාන ආකාර දෙකක් වන අතර ඉන් පළමු වැන්න වන ස්ථානීය නිර්වින්දනයේ’ අරමුණ වන්නේ රෝගියා සිහිසුන් කිරීම නොව, සැත්කමට ලක් කරන ප්‍රදේශයේ දැනීම් නැති කිරීමය. එපිඩියුරල් හා කශේරුකාවට දෙන එන්නත්වලින් මෙයාකාරයේ නිර්වින්දන බොහෝ විට සිදු කරන්නේ සිරුරේ ඉණෙන් පහළ කොටසේ සැත්කම් සඳහාය. මෙහිදි රෝගියාව විවේකී තත්ත්වයට පත් කිරීමට යම් නිද්‍රාකාරක ඖෂධයක් දුන්න ද සිහිසුන් වීමක් සිදු වන්නේ නැත. සැත්කම කරන ප්‍රදේශයේ හිරි වැටීමට ලක් කරන බැවින් කිසිදු වේදනාවක් දැනෙන්නේ ද නැත. එහෙත් ප්‍රධාන පෙළේ සැත්කම් සඳහා භාවිත කෙරෙන ‘පොදු නිර්වින්දනයේදි’ රෝගියාව මුළුමනින්ම ඖෂධ මඟින් පාලනයකට යටත් කළ සිහිසුන් තත්ත්වයකට පත් කෙරෙන්නේ සැත්කම සිදු කරන කාලය පුරාවටම ඔහුගේ මතකය අහිමි කරවමිනි.

 

පණිවිඩ හුවමාරුව

එලෙස නිර්වින්දනයට ලක් කිරීමේදි රෝගියා සිහිසුන් තත්ත්වයට පත් වන්නේ, මොළයේ ස්නායු සෛල අතර පණිවිඩ හුවමාරුවට දායක වන වන ස්නායු සම්ප්‍රේශක නමැති රසායනික සමඟ සිදු වන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස බවට විශ්වාස කිරීම හැර, නිර්වින්දනයෙන් සිහිසුන් බවක් ඇති වන්නේ ඇයි ද යන්නට නිශ්චිත හේතුවක් දැක්වීමට වෛද්‍යවරුන් තවමත් අසමත්ය. සාමාන්‍යයෙන් තාවකාලික සිහිසුන් බවක් ඇති කිරීමට එක් ඖෂධයක් ද, එම සිහිසුන් බව පවත්වාගෙන යෑමට තවත් ඖෂධයක් ද තෝරා ගැනෙන්නේ රෝගියාගේ වයස, බර, ජීවන තත්ත්වය, දුම් පානය වැනි පුරුදු හා වෙනත් රෝගී තත්ත්වයන්ද සැලකිල්ලට ගනිමිනි. ඒ එවැනි තත්ත්ව අනුව සිහිසුන් බව ඇති කිරීමට හා පවත්වාගෙන යාමට භාවිත කළ යුතු ඖෂධවල මාත්‍රාව හා ස්වභාවය රෝගියාගෙන් රෝගියාට වෙනස් විය යුතු බැවිනි. එසේම බොහෝ විට සැත්කම අතරවාරයේදි ප්‍රතීක ක්‍රියා හා වෙනත් පේශිමය ක්‍රියාකාරකම් වැළැක්වීමට පේශි විශ්‍රාන්තිකාරක ද (muscle relaxant)දීම සිදු වන නිසා සැත්කම සිදු කරන කාලය පුරාවට සිරුර අප්‍රාණික වීමක් ද වේ. විද්‍යාවක් සේම එක්තරා ආකාරයක කලාවක් ද වන නිර්වින්දනය මේ කවරාකාරයෙන් යොදා ගත්ත ද, විවිධ හේතු නිසා ඒවා වැ‍රැදී යෑමේ ප්‍රවණතාවක් ද නැත්තේම නොවේ. නිදසුනක් ලෙස ඇතැම් රෝගීන්ගේ නිර්වින්දන දේහලීය අගය ඉහළ මට්ටමක පැවතීම නිසා ද භාවිත කෙරෙන මාත්‍රාව ප්‍රමාණවත් නොවිය හැකිය. ඇතැම් විට අධික රුධිර වහනය වැනි තත්ත්වවලින් පෙළෙන විට, රෝගියාගේම ජීවිතාරක්ෂාව පතා නිර්වින්දන ඖෂධ අඩු මාත්‍රාවකින් භාවිත කිරීමට සිදු විය හැකිය. රෝගියා සැත්කම අතරවාරයේදි පියවි සිහියට පැමිණෙන්නේ මෙවැනි අවස්ථාවලදීය.

 

පේශි අඩපණ කිරීම

එවැනි විටෙක අත් පා සෙලවීමෙන් තමා පත්ව සිටින තත්ත්වය ගැන වෛද්‍යවරුන්ට සංඥා කිරීමේ හැකියාව තිබුණ ද ඉහත සඳහන් කළ ඩොන්නාට සේ පේශි අඩපණ කිරීමේ ඖෂධ දී ඇති අවස්ථාවක එලෙස සංඥා කිරීමේ හැකියාව ද රෝගියාට අහිමි වේ. එනම් එහිදී සිදුව ඇත්තේ නිද්‍රාකාරකය ක්‍රියාත්මකව නොපැවතිය ද, අඩපණකාරකය ක්‍රියාත්මකව තිබීමයි. තමන් අත්විඳින කිසිවක් තමා වටා සිටින්නවුන්ට දැන්විය නොහැකි රෝගියා අසරණ වන්නේ මෙවැනි විටෙකදීය. ඩොන්නාට වූයේ එයයි. පේශි අඩපණකාරකවල ඇති වඩාත් තැති ගන්වන සුලු ලක්ෂණයක් වන්නේ එවැන්නක ක්‍රියාකාරීත්වය නැවතුණු විට සැත්කම් තල සිරුර පසාරු කරන වේදනාවට අමතරව රෝගියාට තමන්ගේ හුස්ම සිර වී ඇති බවක් දැනීමයි. තමන් මිය යමින් සිටින බවක් රෝගියාට දැනෙන්නේ මෙවිටය. ඒ සියල්ලටත් වඩා රෝගියාට වඩාත්ම අසහනකාරි වන්නේ වචනයට පෙරළිය නොහැකි මෙවැනි වේදනාවක් විඳිමින්, තමන්ට සෙලවී ගත නොහැකිව තිබෙන්නේ මන්ද යැයි තේරුම් ගැනීමේ හැකියාවක් ද එවැනි අවස්ථාවකදි රෝගියාට නැති නිසාය. මීට හේතුව වන්නේ නිර්වින්දන ඖෂධවලින් ඇති කරන විස්මෘති (මතකය අහිමි කරවන) තත්ත්වයයි.

 

වෛද්‍යමය මෝහනය

සිහිසුන් කිරීමට අවශ්‍ය වන නිර්වින්දන ඖෂධ මාත්‍රාවට වඩා මතක කේතගත කිරීමේ හැකියාව අඩපණ කිරීමට අවශ්‍ය වන නිර්වින්දන ඖෂධ මාත්‍රාව අඩු බැවින්, සිහිසුන් වීමට පෙර රෝගියාට මතකය අහිමි වීමක් සිදු වේ. සැත්කම අතර වාරයේදි අවදි වුව ද තමා මෙවැනි අත්දැකීමක් ලබන්නේ ඇයි ද යන්නට ඔහුට කිසිදු අවබෝධයක් නැත්තේ එබැවිනි. පේශි අඩපණකාරකය ක්‍රියාත්මකව පවතී නම්, දෑස් හැර බැලිමේ හැකියාවක් ද නැති නිසා මෙම තත්ත්වය වඩාත් නරකට රෝගියාට දැනිය හැකිය. කෙසේ වුව ද රෝගියාගේ ශ්‍රවණ හැකියාවට කිසිදු බලපෑමක් නිර්වින්දන ඖෂධවලින් සිදු නොවන නිසා තමා අවට වන ශබ්දයන්ට ඔහු සංවේදීය. වෛද්‍යවරුන්ගේ නවතම ප්‍රයත්නය වී තිබෙන්නේ නිර්වින්දනයට ලක්ව සිටියදි වුව ක්‍රියාත්මකව පවතින රෝගියාගේ ශ්‍රවණ හැකියාව, සැත්කමකින් පසු සුවය ලැබීම වඩාත් කඩිනම් කිරීම සඳහා යොදා ගැනීමය. ‘වෛද්‍යමය මෝහනය’ලෙස හැඳින්වෙන මෙම ක්‍රමයේදි, නිර්වින්දනයට ලක් කළ රෝගියකුට සැත්කම සිදු වන අතරවාරයේදි සැනසිලිදායක, ධෛර්යය වඩවන සුලු වදන් ශ්‍රවණය වීමට සැලැස්වීම මඟින්, සුවය ලැබීම සඳහා ඔහුගේ මොළය වඩාත් කාර්යක්ෂම අයුරින් පෙලඹවීමක් මින් අපේක්ෂා කෙරේ. ඒ අනුව බලන කල අනාගතයේ යම් දිනකදි, සැත්කමක් අතර වාරයේදි අවදිව සිටීම ඒ තරම් ගැටලුකාරි අත්දැකීමක් නොවන තත්ත්වයක් වුව ද උදා වීමට බැරි නැත.

 

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න