ෆුකිෂිමාවෙන් මතු වූ දෙමුහුන් සූකරයෝ | දිනමිණ

ෆුකිෂිමාවෙන් මතු වූ දෙමුහුන් සූකරයෝ

 

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් දූෂ්‍ය තත්ත්වයට පත් ප්‍රදේශවල නව වල් ඌරන් විශේෂයක් බිහි වී ඇතැයි පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති. න්‍යෂ්ටික අනතුර හේතුවෙන් විකිරණ කාන්දු වී දූෂ්‍ය තත්ත්වයට පත් ප්‍රදේශවල ජීවීන්ට විකිරණශීලීතාවයෙන් ඇති වී තිබෙන බලපෑම කෙබඳු ද යන්න සෙවීම සඳහා සිදු කෙරුණු පර්යේෂණයකදී මේ බව අනාවරණය වී ඇත. විකිරණශීලීතාව මඟින් සතුන්ගේ ජානවලට බලපෑමක් සිදුව නොමැති බව පර්යේෂණයෙන් තහවුරු වූ බව පර්යේෂකයෝ පවසති. එසේ වූවත් අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට ආසන්න ප්‍රදේශවල ජීවත් වන වල් ඌරෝ නිදැල්ලේ සැරිසරන්නට පටන් ගෙන සිටිති. මිනිසුන් ප්‍රදේශය හැර යෑම හේතුවෙන් නිවෙස්වල ඇති කළ ඌරන් ද වන වැදී ඇති බවට සාක්ෂි ඇත. වනයේ වෙසෙන ඌරන් සහ නිවෙස්වල ඇති දැඩි කළ ඌරන් අතර සිදු වූ ලිංගික සංසර්ගයෙන් නිසා නව දෙමුහුන් විශේෂයක් ඇති වී තිබේ.

පර්යේෂණය සිදු කළේ ජපානයේ ෆුකුෂිමා විශ්වවිද්‍යාලයේ ඩොනෝවෑන් ඇන්ඩර්සන් සහ පිරිසකි. ඔවුන් සඳහන් කරන්නේ නිවෙස්වල ජීවත් වූ සූකරයන් සහ වන බද පෙදෙස්වල ජීවත් වුණු සූකරයන් අතර දෙමුහුන් වීම ඉතා සාර්ථකව සිදු වී ඇති බවයි. දෙමුහුන් ජීවීන්ගේ දේහ ශක්තිය සහ ඔවුන්ගේ දේහවල ලක්ෂණ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තව දුරටත් අධ්‍යයනයන් සිදු කළ යුතු බව ඩොනෝවෑන් සහ පිරිස කියා සිටිති. නව දෙමුහුන් ජීවීන්ගේ ජානවලට විකිරණශීලීතාවෙන් බලපෑමක් සිදුව නැති බව පර්යේෂකයන්ගේ අදහසයි. එසේම එම ජීවින් රාත්‍රි කාලයට වඩා දිවා කාලයේදී සක්‍රීය බව සඳහන් වේ. එය වල් ඌරන්ගේ ආභාසයෙන් ඔවුන්ට ලැබුණු ලක්ෂණයකි.

2011 වසරේදී බලපෑ සුනාමි තත්ත්වයක් හේතුවෙන් ජපානයේ ප්‍රදේශ රැසකට විශාල ලෙස හානි පැමිණින. අඩි 130ක් පමණ ඉහළට එසවුණු සුනාමි රළ හේතුවෙන් 19 000කට අධික පිරිසක් මරු දුටහ. 450 000කට ආසන්න පිරිසකට නිවාස අහිමි විණ. ජනයාට වඩාත් තදින් බලපෑවේ ෆුකුෂිමා ඩයිඉචි න්‍යෂ්ටික බලාගාරයට සිදු වූ හානිය ය. මේ හානියත් සමඟ විෂ රසායනිකයන් සහ විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට වේගයෙන් මුදා හැරෙන්නට පටන් ගත්තේ ය. බලාගාරය අවට ජීවත් වන දහස් ගණන් ජනයා තම ගම් බිම් හැර යන විට නිවෙස්වල ඇති කරනු ලැබූ සත්තු සහ වන සත්තු ප්‍රදේශයේ හුදෙකලා වූහ. එම ජීවීන්ගේ ගහනය අඩු නොවූයේ ඔවුන්ට බලපාන අනතුරු අඩු වීම සහ ප්‍රදේශයේ වන සතුන් දඩයම අඩු වීම යන කාරණා හේතු කරගෙනය.

 

වඳ වෙන්න නොදී ‍රැක ගනු ලැබූ යෝධ පැන්ඩාවෝ

යෝධ පැන්ඩා ජීවි විශේෂය තව දුරටත් අන්තරාදායක තත්ත්වයට මුහුණ පා සිටින විශේෂයක් නොවන බව චීන බලධාරීහු පවසති. දශක කිහිපයකට ඉහතදී එම ජීවි විශේෂය වඳ වී යෑමට මුහුණ පා සිටින ජීවී විශේෂයක් හැටියට නම් කර තිබිණ. ඔවුන් වඳ වී යන විශේෂයක් ලෙස නම් කෙරුණේ ස්වාභාවික තත්ත්ව යටතේ එනම් වනාන්තරවල ජීවත් වන යෝධ පැන්ඩාවන් සංඛ්‍යාව 1800 දක්වා පහළ වැටුණු විටදීය.

යෝධ පැන්ඩාවන්ගේ නිජ බිම චීනයයි. චීන ජාතිකයන් යෝධ පැන්ඩාවන් සලකන්නේ ජාතික වස්තුවක් ලෙස ය. චීනය සෙසු රටවල් සමඟ රාජතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමේදී එකී රටවලට ඇතැම් අවස්ථාවලදී ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබෙන්නේ ද යෝධ පැන්ඩාවන්ය. වෙනත් රටවල් සමඟ ඇති කර ගන්නා සත්ත්ව හුවමාරු වැඩසටහන්වලට චීනය සහභාගී වන්නේ යෝධ පැන්ඩා ජීවීන් හුවමාරු කර ගනිමිනි. යෝධ පැන්ඩාවන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී ඇතැයි නම් කෙරුණු අවස්ථාවේ සිටම චීන බලධාරීහු ඔවුන්ව සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළහ. එම වැඩ පිළිවෙළ බෙහෙවින්ම සාර්ථක කරගන්නට හැකි වූ බව එරට සත්ත්ව විද්‍යාඥයෝ පවසති.

පැන්ඩාවන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුන්ගේ වාසස්ථාන, එනම් වනාන්තර ආරක්ෂා කිරීමට පියවර ගැනින. පැන්ඩාවන්ගේ ජීවන පැවැත්මට සරිලන ලෙස එම වනාන්තරවල ගුණාත්මක බව නැංවීමට ද චීන බලධාරීහු පසුගිය කාලයේදී ක්‍රියා කළහ. පැන්ඩාවුන් ආහාරයට ගන්නා උණ ශාක වනාන්තරවල වැවීම වැඩි කිරීම ඒ අනුව ගත් එක් සාධනීය පියවරකි. යෝධ පැන්ඩා ජීවින් අභිජනනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද ඵලදායි පියවරක් වූයේය. වනාන්තරවල වාසය කරන පැන්ඩාවුන්ගේ ගහනය වැඩි වූයේ වසර ගණනාවක් පුරා අනුගමනය කළ එවැනි පියවරවල ප්‍රතිඵලයක් වශයෙන් යැයි චීනයේ පරිසර අමාත්‍යංශයේ ස්වාභාවික සහ පාරිසරික සංරක්ෂණ භාරයේ ප්‍රධානී කියූ ෂුහොන්ග් පවසයි. එනිසා සොබාදහම සංරක්ෂණය කිරීමේ අන්තර්ජාතික සංගමය යෝධ පැන්ඩාවෝ අනතුරුදායක තත්ත්වයට මුහුණ දී ඇති ජීවි විශේෂයක් ලෙස 2016 වසරේදී නම් කරන ලැබූහ. යෝධ පැන්ඩාවුන්ගේ ගහනය මේ වන විට වැඩි වී ඇති ආකාරය සැලකිල්ලට ගත් විට ඔවුන් තව දුරටත් අන්තරාදායක තත්ත්වයට මුහුණ දී ඇති ජීවි විශේෂයක් ලෙස නොසලකා හැරීමට සත්ත්ව විද්‍යාඥයන් තීරණය කර ඇත.

යෝධ පැන්ඩා ජීවින් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති විශේෂයක් ලෙස හෝ අනතුරට මුහුණ පා ඇති විශේෂයක් හෝ නොවන බව අනාවරණය වීම හේතුවෙන් එම ජීවීන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ ලිහිල් වීමට ඉඩ ඇති බව ද චීන ඇතැම් බලධාරීහු පෙන්වා දෙති.

 

 

තායිලන්තයේ එන්නත් මාරුව

කොරෝනා එන්නත් දීමේදී මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් කරන්නට තායිලන්ත බලධාරීන් තීරණය කර ඇත. ඔවුන් මෙතෙක් අනුගමන කළේ සිනොවැක් මාත්‍රා දෙකක් දීමේ පිළිවෙතයි. සිනොවැක් එන්නත් මාත්‍රා දෙකම ගත් සිය ගණනක් ජනයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුව ඇත. මේ නිසා සිනොවැක් එන්නත පළමු මාත්‍රාව වශයෙනුත්, ඇස්ට්‍රොසෙනෙකා එන්නත දෙවැනි මාත්‍රාව වශයෙනුත් දීමේ නව පිළිවෙතක් තායිලන්තයේ මේ වන විට ක්‍රියාත්මක කෙරේ. එවැනි එන්නත් මිශ්‍රණයක් දීමෙන් කොරෝනා වයිරසයට එරෙහි ආරක්ෂාව වැඩි කළ හැකි බව තායිලන්ත සෞඛ්‍ය බලධාරීන්ගේ විශ්වාසයයි.

සිනොවැක් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන්ට ඇස්ට්‍රොසෙනෙකා මාත්‍රාවක් ගන්නට නව පිළිවෙත අනුව සිදුව තිබේ. එය සිනොවැක් මාත්‍රා දෙකම ගත් පුද්ගලයකු ලබන තෙවැනි මාත්‍රාව වනු ඇත. සිනොවැක් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් පුද්ගලයන්ට ඇස්ට්‍රොසෙනෙකා හැරුණු විට ෆයිසර්/බයෝඑන්ටෙක් වැනි එම්ආර්එන්ඒ ගණයට අයත් වෙනත් එන්නතක් ද දෙවැනි මාත්‍රාව ලෙස ගත හැකි බව සඳහන් වේ. තෙවැනි එන්නත් මාත්‍රාව දෙන්නේ සිනොවැක් මාත්‍රා දෙකම දීමෙන් සති තුනත් හතරත් අතර කාලයක් ගත වන විටදීය.

සිනොවැක් එන්නත තායිලන්තයට දුන්නේ චීනයයි. පසුගිය පෙබරවාරි මාසයේ සිට තායි සෞඛ්‍ය සේවකයන්ට සිනොවැක් එන්නත් දීම ආරම්භ කරන ලදී. එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ සෞඛ්‍ය සේවකයන් 677 000කට අධික සංඛ්‍යාවකට සිනොවැක් මාත්‍රා දෙකම දී ඇති බවකි. එසේ සිනොවැක් මාත්‍රා දෙකම ගත් සෞඛ්‍ය සේවකයෝ 618 දෙනෙක් අප්‍රේල් සහ ජූලි අතර කාල පරාසයේදී කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වූහ. සිනොවැක් එන්නත් මාත්‍රා දෙකම ගත් හෙදියක කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් වේ. සිනොවැක් එන්නත් ලබා සිටියදීත් ආසාදනය වූ තවත් සෞඛ්‍ය සේවකයකුගේ තත්ත්වය බෙහෙවින්ම අයහපත් මට්ටමේ පවතී.

තායිලන්තයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ නඟිමින් ඇත. වසංගතය එරටට බලපෑ පසුගිය වසරේ සිට එරට 345 000කට අධික සංඛ්‍යාවකට කොරෝනා ආසාදනය වී තිබේ. කොරෝනා ආසාදිත පුද්ගලයෝ 2800කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ.

 

 BBC සහ Mail online ඇසුරෙනි

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න