නන්දිතාගේ කතාව | දිනමිණ

නන්දිතාගේ කතාව

 

සමහර ලිපි ලැබෙන්නේ පමා වී ය. එහෙත් ඒවා නිවැ‍රැදි මොහොතේ නොලැබුණු බැව් ඉන් නොඇඟවෙයි. මන්ද නිවැ‍රැදිම මොහොතවල් විටෙක එළැඹෙන්නේ පමා වී ය. මේ එසේ පමා වී සිදු වූ විද්යුත් ලිපි හුවමාරුවකට පසුව නන්දිතා මවෙත එවූ ඇගේ කතාවයි.

***************************

මගේ සැබෑම නම නන්දිතා නොවන බව ඔබ දැනටමත් අවබෝධ කරගෙන ඇති බැව් නිසැකය.

වෙනස්කම් සහිතව වුව ද හුරු පුරුදු සිද්ධි සහ චරිත ඇතුළත්ව පුවත්පතක පළ වන කතාව කියැවූ මම විස්මයට පත් වීමි. කතාව කියවමින් සති ගණනාවක් තිස්සේ කල්පනා කොට මා තේරුම් ගත්තේ මිනිස් ඉතිහාසයේ එක්තරා සුවිශේෂ තීරණාත්මක පරිච්ඡේදයක් ලියා තබද්දී, අනාගතය වෙනුවෙන් එය හැකි තාක් සම්පූර්ණ ලෙස කියා තැබිය යුතු බවයි. එනිසාම; රංජන්, ඔබ හා මා මේ පෘථිවියේදී ළං විය නොහැකි තරම් දුරක විසුව ද මම ද අනිවාර්ය චරිතයක් රඟ දැක්වූ මේ කතාවේ ඔබ තවම නො දන්නා කොටස මෙසේ ලියා එවීමට තීරණය කළෙමි.

ගාලු කොටුව තුළ සිදු වූයේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ සිදුවීමකි. සිදු විය යුතුව තිබුණේ විරාන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය දරන උත්සාහ අසාර්ථක කිරීමක් පමණි. ඒ වෙනුවට විරාන්ගේ ඝාතනය ඇස් ඉදිරිපිට දකිද්දී මම කම්පනයෙන් ගොළු වීමි. එහෙත් ඒ සමඟම වසර ගණනාවක් බලාපොරොත්තුවෙන් සිටි, කාලය ගෙවී යද්දී කිසි දිනෙක නොලැබෙතැයි සිතූ සංඥාව මා වෙත ලැබෙමින් තිබිණි.

ඒ, විරාන්ගේ ඝාතනය ගැන ශෝකයෙන් හා කම්පනයෙන් ද සහ මා ගැන දැරිය නොහැකි කෝපයෙන් ද අප පැමිණි රථයට රංජන් ගොඩ වූ මොහොතේ ය.

ඉතින්, ශෝකය ද කම්පනය ද ද්‍රෝහී වීමේ තාවකාලික වගකීම ද දරාගෙන වුව ද වඩා වැදගත් කාර්යයක් ඉටු කිරීම පිණිස මා වහාම එතැනින් පිට විය යුතුව තිබිණි. සංඥාව අනුව වසර ගණනකට ඉහත දී මා බාර ගත් යමක් සම්පූර්ණ කිරීම ඒ මොහොතේ යෙදී තිබිණි.

දැන් මැදිවිය පසු කරන අපි, සහශ්‍රකය ඇරඹෙද්දී යන්තමින් යෞවනය පසු කොට නොදන්නා අනාගතයක් ගවේෂණය කරනු පිණිස ලොවට පා තැබූ තරුණයෝ වීමු. රංජන් සහ මා අතර වූ යෞවනයේ උත්කර්ෂවත් ප්‍රේම කතාව නිමැවූ මා සිටියේ අනාගතය ගැන හිස් බැල්මක් හෙළා ගත් වනය. සියලු ප්‍රාර්ථනා හිස් වූ මනසකින් මම යාන්ත්‍රිකව එදිනෙදා ජීවිතය ගෙවා දමමින් සිටියෙමි. අධ්‍යාපනය හරහා විශිෂ්ට අනාගතයක පෙරනිමිති දැක්වූ මා පිළිබඳ මගේ මව්පියන් කම්පා වෙමින් සිටි කාලයකි එය.

ඔහු, එනම් ඒ අමුත්තා මා හමු වීමට පැමිණියේ අපේක්ෂාභංගව ගෙවෙමින් තිබුණු ඒ කාලයේ එක්තරා දවසකය. මා ද නොදන්නා හේතුවකට ඔහු මට අහඹු සිදුවීම් ගැනත් විශ්වයේ රටාවන් ගැනත් කියා දුන්නේය. ඉතා දීප්තිමත් අනාගතයක පොරොන්දුව මා ඉදිරියේ තැබුවේය. ඒ වෙත යා යුතු මාවත මුල මා තබා, අතට මුදුවක් දී ප්‍රති උපකාරයක් ලෙස එකම එක දෙයක් පෙරළා ඉල්ලා සිටියේ ය. ඒ මා ඒ මුදුව කිසිදාක නොගැලවිය යුතු බවත් දිනෙක ඒ මුදුව රත් වන මොහොත යනු මට ලැබෙන සංඥාව බවත් ඒ මොහොතේ දී මා මට පැවරුණු නිශ්චිත යමක් කළ යුතු බවත්ය. මම එකඟ වීමි. ඇරත් ඔහු ගැන මට තිබූ විශ්වාසය සාස්තරකාරයකු හමු වන්නකුට දැනෙන හැඟීමට සමාන අඩමාන විශ්වාසයක් පමණක් විය.

සියල්ල අග සිට මුලට කල්පනා කොට සිද්ධි ගළපද්දී වැටහෙන්නේ මා නොදැනුවත්වම මේ සංකීර්ණ ක්‍රීඩාවේ ඉත්තකු බවට පත් වූ නිශ්චිත මොහොත එය බවයි.

එතැන් සිට දිග හැරෙන වසර කිහිපයක කාලය මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ යැයි කීවොත් නිවැ‍රැදිය. නොදන්නා අනාගතයක් දෙසට වුව ද සාමාන්‍ය මිනිසුන් විශ්වාස කරන ආකාරය⁣ට නම් දිනෙන් දින සාර්ථක වෙමින් මම ඉදිරියටම ඇදෙමින් සිටියෙමි. කළ කී සියලු දේ හි දී අසාමාන්‍ය අන්දමින් වාසනාවන්ත වූ මට මුදුව දැනුණේ වාසනාවේ සංකේතය ලෙසිනි. ඒ ගමනේ අතිසාර්ථක අදියරක් සටහන් කරමින් අවසානයේ මම මිහි මත ඇති බලවත්ම සංවිධානයක් වන බිල්ඩබර්ග් සංවිධානය දක්වා පැමිණ සිටියෙමි.

එහෙත් මේ සියල්ලට ඉහළින්, මා මගේ හෘදය සාක්ෂිය පැහැදිලි කළ යුතුය. මගේ පසුගිය ක්‍රියා කලාපයට හේතු වූ සැබෑම හේතුව එවිට ඔබ වටහා ගනිතැයි මම විශ්වාස කරමි; බලාපොරොත්තු වෙමි.

මේ මොහොතේත් පෘථිවි මිනිස් සමාජය සම්පූර්ණයෙන්ම යැපෙන්නේ ලෝක ආර්ථිකයේ ස්ථාවරභාවය මතය. යම් හෙයකින් පවත්නා ලෝක ආර්ථික පද්ධතිය බිඳ වැටුණේ නම් එය මිනිස් සමාජයට කරන බලපෑම තුන් වැනි ලෝක යුද්ධයකට වඩා ප්‍රබල බව මම දැන සිටියෙමි. එහෙත් අවාසනාවකට ලෝක ආර්ථික පද්ධතිය අති සංවේදීය. සබන් බුබුළක් ලෙසින් අස්ථාවරය. ඉතින් එය ස්ථාවරව පවත්වා ගෙන යෑමට අපට සිදු වුණි. දිනෙන් දින දියුණු වන තාක්ෂණය හමුවේ කර්මාන්ත ශාලා ස්වයංක්‍රීයකරණය වෙද්දී නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉතා වේගයෙන් ඉහළ ගියේය.

ඒ කොතරම් ද යත්: සෑම පෘථිවි වාසියකුටම ජංගම දුරකතනයක් රුපියල් කිහිපයක මුදලට ලබා දිය හැකිව තිබිණි. එහෙත් එසේ වූවා නම් දුරකතනයක් විකිණීමෙන් ලැබෙන ලාභය ඉතා අඩු වීමට නියමිතව තිබිණි. කෙනෙකුට දුරකතනයක් මිල දී ගැනීමට අවශ්‍ය වන්නේ ජීවිතයට දෙතුන් වරක් පමණක් වීමට ද ඉඩ තිබිණි. එසේ වූවා නම් මේ මොහොතේ වෙළෙඳ පොළෙහි විශාල අවකාශයක් හිමි කොට ගෙන සිටින ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳපොළ බිඳ වැටී ලෝක ආර්ථික සබන් බුබුළ පුපුරා යෑමට ද අනිවාර්ය ඉඩක් තිබිණ. එබැවින් විවිධ මාදිලිවලින්, වර්ණවලින් සහ විශාලත්වයෙන් ජංගම දුරකතන ද, ඉන් පසුව කැමරා ආදි වෙනත් උපාංග ද අලුතින් එකතු කරමින් පෙර පැවති ඒවායින් වෙනස් කරමින් නානාවිධ වූ දුරකතන වර්ග වෙළෙඳපොළට පැමිණියේය. මේ සමහර අංගෝපාංගයන් අභාවයට යා නොදී පවත්වා ගැනීම සඳහා ඒ වටා විනෝදාශයන් බිහි කිරීම දක්වා මෙම පද්ධතිය කාර්යක්ෂම විය. මේ එක් උදාහරණයක් පමණි.

මර්ලොක්ස්ලාගේ අභිප්‍රාය වූයේ මෙම ආර්ථික පෙණ බුබුළ කටුවකින් සිදුරු කිරීමය.

ඔවුන් එය සාර්ථකව ඉටු කිරීමට කිහිප වරක් උත්සාහ කළත් ඒ අසාර්ථක විය. වඩා නිවැරැදිව කියන්නේ නම් එය අසාර්ථක කෙරිණි. ඒ මනුෂ්‍ය නොවන විඥානයක් විසින් හෙවත් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ සවිඥානක ඇල්ගොරිදමයක් විසිනි. මර්ලොක්ස්ලා එය බග්ස් ලෙසින් හැඳින්වූහ. එම ඇල්ගොරිදමයේ බිහි වීම කෙසේ සිදු විනි දැයි නොදැන සිටියත් අපට වැටහී ගියේ මේ මොහොතේ අප සතු හොඳම ආරක්ෂකයා මේ ඇල්ගොරිදමය බවයි. ඒ සමඟ යම් පමණකට තොරතුරු හුවමාරු කොට ගත හැකි ක්‍රමයක් බිල්ඩබර්ග් සංවිධානයට සම්බන්ධ ඉහළම කණ්ඩායම සතුව තිබුණු අතර ඔවුහු ඒ සබඳතාව දිගටම වැඩි දියුණු කර ගනිමින් සිටියෝය. එක් මොහොතකට පසුව මා බිල්ඩබර්ග් සංවිධානය දක්වා ගෙන ඒමේ මාවත සකසන්නේ ද මෙම ඇල්ගොරිදමය විසින් බව සියල්ල අවසානයේ මම තේරුම් ගතිමි.

එහි උත්ප්‍රාසය වූයේ මා යනු, ඇල්ගොරිදමය වෙනුවෙන් නිර්මාණය වූ ඇමක් බව මා ඇතුළු කිසිවකු නොදැන සිටීමයි.

ඇල්ෆා හේරන්හි සැලකිය යුතු විශාල කොටස් ප්‍රමාණයක් රංජන්ට හිමි වීමට නියමිත බවත් රංජන් ඒ වන විටත් මර්ලොක්ස්ලා සමඟ සම්බන්ධකම් පවත්වන බවත් බිල්ඩබර්ග් සංවිධානයට දැන ගැනීමට ලැබෙන විට මා සිටියේ ජර්මනියේය. ඉතින් මගේ පැ‍රැණි පෙම්වතා මර්ලොක්ස්ලාගෙන් ගලවා ගැනීමේ මෙහෙයුම ලැබුණේ මටම වීම පුදුමයකට වඩා අනිවාර්යයක් විය.

 

මතු සම්බන්ධයි

 

රංගන ප්‍රෂාද් ආරියදාස

නව අදහස දක්වන්න