ඇමැති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය අතිවිශිෂ්ට ලෙස පරාජයට පත් කරනවා - ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ | දිනමිණ

ඇමැති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය අතිවිශිෂ්ට ලෙස පරාජයට පත් කරනවා - ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

විපක්ෂයේ තොත්ත බබාලාට  විශ්වාසභංගයක් ගෙන එන්න දන්නෙ නෑ

ඇමැති විමල් වීරවංශ

මේ විශ්වාස භංගය දිනුවත් අප දිනුම් පැරදුණත් අප දිනුම්

කබීර් හෂීම් (ස.ජ.බ.)

කවුරු ආණ්ඩු කළත් මෙරට අය වැය හිඟය දිගටම පවතිනවා

ඇමැති බන්දුල ගුණවර්ධන

තෙල් මිල අඩු වූ කාලේ කෝටි 3390ක ලාභයක්  ආණ්ඩුව  අරගත්තා

එස්.එම් මරික්කාර්(ස.ජ.බ.)

 

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමඟි ජන බලවේගය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (20) දිනයේදී අති විශිෂ්ට ලෙස පරාජයට පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

ආණ්ඩුව තුළ බෙදීමක් තිබේ යැයි යන සිතිවිල්ල මත හිදිමින් විපක්ෂය මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ආවද මෙම විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට සමගි ජන බලවේගයේ කිහිප දෙනකුගේ සහයෝගය හිමි වන බවද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිනි.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (19) රැස්විය.

ලිපි ලේඛන, වාර්තා හා පෙත්සම් ඉදිරිපත් කිරිමෙන් පසුව විවාදය ආරම්භ විය.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා- විෂය පිළිබඳ හොඳ දැනුමක් තිබෙන, අද්දැකීම් තිබෙන ඇමැතිවරයෙක් තමයි ජනාධිපතිවරයා විසින් ඛනිජ තෙල් අමාත්‍යාංශයට පත්කළේ. අපට විශ්වාසයක් තිබෙනවා ඉදිරි කාලයේදි එතුමා මේ මගින් හොඳ වැඩ කොටසක් කර පෙන්නාවි.

අපි විපක්ෂයෙන් අවංකව අහනවා ඉන්ධන මිල වැඩි කිරීම නිසාමද මේ විශ්වාස භංග යෝජනාව ගේන්නේ කියා. නැහැ. මොකද මේ අය බැලුවේ ආණ්ඩුවේ දෙදරීම් තියේවි කියායි. මේ අය හිතුවා ආණ්ඩුව තුනට හතරට කැඩේවි කියා. මේ ගෙනාපු විශ්වාසභංගය නිසා අප අතර තව තවත් විශ්වාසය වැඩි වුණා. අද ඡන්දය ගනන් කරද්දි විපක්ෂයෙ දෙන්නෙක් විතර අරගෙන 155 බහුතර ඡන්දයෙන් දිනනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා (සජබ) - තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය ගැන මුලින්ම කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. කොරෝනා වයිරසයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක තෙල් මිල වැඩි කිරීමෙන් ජනතාව කබලෙන් ළිපට වැට්ටුවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා - ඔබතුමාලගේ කාලයේ මිල සූත්‍රයක් ගෙනත් තෙල් මිල වැඩි කළේ මුදල් ඇමැති ද?, බලශක්ති ඇමැතිද කියන්න පුළුවන් ද?

මරික්කාර් මහතා- මුදල් ඇමැතිවරයා ලෙස අගමැතිවරයාද මේ තෙල් මිල වැඩි කළේ කියන එක රටට කිව යුතුයි. ගිය ආණ්ඩුව කාලේ මහ බැංකුව සම්බන්ධයෙන් විශ්වාස භංගයක් ගෙන ආව වෙලාවේ අපි එයට මුහුණ දුන්නා. අද සමහරු මාධ්‍යවල එකක් කියනවා. හැංගිලා එකක් කියනවා. විමල් වීරවංශ මහත්මයා මිල සූත්‍රය ගැන ඇහුවා. එතුමන් එහි තේරුමවත් දන්නවද කියා මා දන්නේ නැහැ. පසුගිය අප්‍රේල් මාසේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ ගියා. ඒ වෙලාවේ කිසිම වාසියක් ජනතාවට දුන්නේ නැහැ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණු කාලේ කෝටි 3390 ක ලාභයක් තෙල් මිලෙන් මේ ආණ්ඩුව අරගෙන තිබෙනවා. මේ තෙල් මිල ඉහළ යෑමත් එක්ක සෑම කේෂ්ත්‍රයකම මිල ඉහළ ගිහින් තිබෙනවා.

මම එක අභියෝගයක් කරනවා. ඒ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයට. හැකි නම් මේ තෙල් මිල වැඩි කිරීම හරිද, වැරදිද කියා පාර්ලිමේන්තුවට ඇවිත් කියන්න.

සභානායක, විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා-

මරික්කාර් මන්ත්‍රීවරයා කිසිම යෝජනාවක් ගෙන ආවේ නැහැ.විශ්වාස භංගයට අදාළව යෝජනාව මුලින් ඉදිරිපත් කළ යුතුයි . නමුත් එවැන්නක් සිදුවුණේ නැහැ. ඒ නිසා මෙහි කිසිම පදනමක් නැහැ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- මරික්කාර මහතා එය නිවැරැදිව ගෙන ආවා. සභානායකවරයා තමයි එය තේරුම් ගෙන නැත්තේ.

දිනේෂ් ගුණවර්ධන මහතා- විශේෂයෙන්ම විශ්වාසභංග යෝජනාව කිව යුතුයි. ඒ ගැන තිබෙන ඉතිහාසය හැන්සාඩ්වලින් බලාගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ගැන සංශෝධන ගෙන එන්න තියෙනවා කියා කියනවා. ස්ථීර කරන්න නම් යෝජනාවක් ගෙන එන්න ඕනෑ. එහෙත් මරික්කාර් මන්ත්‍රීවරයා යෝජනාවක් ගෙන ආවේ නැහැ. ඒ නිසා ස්ථිර කරන්න දෙයක් නැහැ.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා- එකම මන්ත්‍රීවරයට දෙසැරයක් කතා කරන්න දෙන්න බැහැ. කතාවක් කර ගන්න බැරි තොත්ත බබා. විශ්වාසභංගයක් ඉදිරිපත් කර ගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩෙන් කිසිම තේරුමක් නැහැ.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා- විශ්වාසභංග යෝජනාවක් ගේන්න දන්නේ නැති අයට විරුද්ධව අපට විශ්වාසභංග යෝජනාවක් ගෙන්න වෙනවා. මේ අයට අඩුම ගානේ විශ්වාස භංග යෝජනාවක් ගේන්න තෙරෙන්නේ නැහැ.

කථානායකවරයා- එය අතපසු වීමක්. ඒ නිසා එය කියවන්න ඉඩ ලබා දෙනවා. කබීර් හෂීම් මහත්මයට තිබෙන්නේ ස්ථීර කරන්න විතරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා- අප විවාදයට සූදානම්. ඒ නිසා කියවන්න ඉඩ දෙමු .

මරික්කාර් මහතා- අගමැතිතුමාට ස්තූතිය පුදකර සිටිනවා.

(පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සංශෝධනය ඉදිරිපත් කළේය. )

කෑගල්ල දිස්ත්‍රික්ක මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ)-

පොහොට්ටුවේ ලේකම්වරයා කිව්වා තෙල් මිල වැඩි කිරීම වැරදියි කියා. උදය ගම්මන්පිල මහත්මයා කිව්වා ඩොලර් නැති නිසයි වැඩි කළේ කියා. උදය ගම්මන්පිල මහත්මයා ඊට පස්සේ කිව්වා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අනුදැනුම ඇතුවයි තෙල් මිල වැඩි කළේ කියා.

මේ යෝජනාව දිනුවත් අපි දිනුම්. පැරදුනත් අපි දිනුම්. මේ විශ්වාසභංගයෙන් බලාගන්න පුළුවන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනතාවට ආදරේ ද නැද්ද කියා.

වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා- විශ්වාසභංගයකට විවාදයක් සිදු කිරීමේදී විශ්වාස භංගයට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම මුලින්ම සිදුවිය යුතුයි. යෝජනාව ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා විසින් සභා‍වේදී අදාළ යෝජනාව ප්‍රකාශ කරනවා. නමුත් අද විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා විශ්වාසභංග යෝජනාවට අදාළ යෝජනාවවත් කියෙව්වේ නැහැ.

අඩුම තරමේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ආකාරය ගැනවත් මේ අයට අවබෝධයක් නැහැ. විශ්වාසභංග සඳහා දිගු ඉතිහාසයක් මේ පාර්ලිමේන්තුව තුළ තිබෙනවා. තමන්ගේ හැකියාව විපක්ෂය අද ඔප්පු කර පෙන්නුවා. යහපාලන ආණ්ඩුව කාලේ අප විශ්වාසභංග යෝජනා 11ක් ඉදිරිපත් කළා. අප ඉදිරිපත් කළ ඒ විශ්වාසභංග යෝජනා න්‍යාය පුස්තකයටවත් ඇතුළත් කරන්න මේ අය කටයුතු කළේ නැහැ.

උදය ගම්මන්පිල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ජූනි 22 දා. යෝජනාව ඉදිරිපත් කර දින 28යි. අපි විවාදය ලබා දුන්නා. අප බයේ දුවන ආණ්ඩුවක් නෙවෙයි.

මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙනවා, විපක්ෂනායක, කිරිඇල්ල, රන්ජිත් මද්දුම බණ්ඩාර. මේ අය තව්තිසාවෙන් බැහැපු අය. යහපාලන කාලයේදි උපරිම දිව්‍ය සැප විඳපු අය. පළමු කෙනා තමයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා. එතුමා නිවාස ඇමැති කාලේ ගෙවල් 16යි හැදුවේ.

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා-

දේශපාලන අවලාද හා මඩවලින් තොරව මෙම විවාදය ගෙනියන්න පුළුවන්නම් එය වටිනවා. මුදල් අයිතිය තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවට. බලශක්තිය ගැන කතා කරන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුවේදී. රාජ්‍ය මූල්‍ය, විදේශ විනිමය හා ආර්ථිකය අඩපණ වීම කියන ව්‍යවසනවලට අපිට මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ. කාගේ ආණ්ඩුව තිබුණත් රජයකට ආදායම් ගන්න පුළුවන් වෙන්නේ බදු සහ බදු නොවන ආදායමයි. ආදායම ලැබුවේ බිලියන 1216යි. වැටුප් හා වේතන ගෙවන්න බිලියන1051 වැය වෙනවා. නිදහසින් පස්සේ ඇතිවුණ ආණ්ඩුවකට ආණ්ඩුව පවත්වා ගෙන යන්න ආදායමක් ලැබුවේ නැහැ. ගත්ත ණයවලට පොලී ගෙවන්න බිලියන අටසිය දාසයක් මදි. වැට් බද්ධ ජනතාවට දරාගන්න බැරි නිසා සියයට 15 ක් තිබුණ බද්ධ සියයට 8ක් දක්වා අඩු කරගන්න ජනාධිපතිවරයා කටයුතු කළේ. ඔනෑම සහනයක් දෙන්න නම් ජනතාවගෙන් එය අය කරගන්න වෙනවා. හැමදාම සිදුවුණේ ආදායමට වඩා වැඩියෙන් වියදම් සිදු කරලා අයවැයේ හිඟයක් තිබෙනවා. එය කවුරු ආණ්ඩු කලත් එහෙමයි.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණයේය.

බන්දුල ගුණවර්ධන මහතා-

දැනට රටේ ප්‍රධාන අර්බුධ තුනක් දැකිය හැකෙියි. රාජ්‍ය මූල්‍ය අර්බුදය, විදේශ විනිමය අර්බුදය හා රටේ ආර්ථික අපගමනය සම්බන්ධ අර්බුදය. කොවිඩ් ලෝක අර්බුදයත් සමඟ මෙවැනි අර්බුද සම්බන්ධයෙන් ගතහොත් කුමන ආණ්ඩුවක් තිබුණත් බදු හෝ බදු නොවන ආදායම් වලින් පමණයි ආදායමක් ලැබිය හැක්කේ. පසුගිය 2020 වර්ෂයේ දී සමස්ත රටෙන්ම ලද බදු ආදායම රුපියල් බිලියන 1216ක්. එයින්, වැටුප් හා වේතන ගෙවීම් කිරීමට බිලියන 1051ක් වැය වී තිබෙනවා. ඉතිරි වූ බිලියන 165ක මුදලින් සමෘද්ධි දීමනා ලබා දීම්, රාජ්‍ය ණය පොලී ගෙවීම, වෙනත් සුබසාධන වියදම් ආදී වියදම් රැසක් පවත්වාගෙන යා යුතු වෙනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංගය, ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා එක්ව හෙට දින පරාජය කරනවා.

පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා- රටට ද පවුලට ද රාජයෝගය කියා ජනතාවට අවබෝධ වෙමින් තිබෙනවා. රාජපක්ෂ අධිරාජ්‍යවාදයට රට ඇද දමලා තිබෙන්නේ. ජනතාව සමඟ පාරට බහින්න සූදානම් කියා මා ප්‍රතිඥා දෙනවා. එදා අප සූත්‍රය හඳුන්වා දුන්නාම හිනා වුණා. තෙල්වලින් බදු ගැහුවට කමක් නැහැ. ලෝකයේ හැම රටේම තෙල්වලින් බදු ගහනවා. අප සූත්‍රය හඳුන්වා දුන්නේ හොරකම් කිරීම අඩු කරන්නයි.

අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා- 2015 සිට 2019 වෙනකම් විපක්ෂය ආණ්ඩුව කළා. ඒ කාලේ යුද්ධයක් තිබුනෙත් නැහැ. කොවිඩ් තිබුණෙත් නැහැ. මහින්ද රාජපක්ෂ යුගයෙදි විවිධ බාධක තිබිලත් ආර්ථික වර්ධන වේගය සියයට 7 කට එහා තිබුණා. ඒත් ආර්ථික ඔස්තාර්ලා ඇවිත් එය සියයට 2 අඩු කළා. ඒ විතරක් නෙවෙයි සම්පූර්ණ ක්ෂේත්‍ර කඩා වට්ටන්න කටයුතු කළා. අපේ ආණ්ඩුව ආවට පස්සේ මේ රට ගොඩ ගන්න බදු සහන රැසක් දෙන්න සිදු වුණා. එහෙම නැතුව මේ රට ගොඩ ගන්න බැහැ.

මේ විශ්වාසභංග යෝජනාවට කිසිම පදනමක් නැහැ. මේ බොරුව අප අද හවස වෙනකොට හොඳ උත්තරයක් දෙමින් ආණ්ඩුවේ ස්ථාවරය යළි යළිත් තහවුරු කර පෙන්වනවා. මොවුන් ගේන්න ඕනේ විශ්වාසභංග යෝජනාවක් නෙවෙයි විශ්වාසය තහවුරු කරන යෝජනාවක්.

දිවා ආහාරයෙන් පසු නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (ස.ජ.බ.)- මෙරට ගෑස්, තෙල් සංචිත තිබෙන බවට වසර ගණනකට පෙර සොයා ගෙන තිබුණා. ලංකාවේ ගෑස් සමාගම් ඇමරිකාවට විකුණලා ඉවරයි මේ ආණ්ඩුව. ඒ නිසා ඉදිරි වසර පහ තුළදී ලංකාවේ ගෑස් නිෂ්පාදනය කළා කියලා තේරුමක් නැහැ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා- කබීර් හෂීම් මහතා චෝදනාවක් කර තිබුණා නැව් සමාගමකට බලපත්‍රයක් ලබාදීමක් ගැන. මේ බලපත්‍රය ගැන ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ආයතන තුනක නිර්දේශ මත සහ අගමැතිගෙන් විමසීමකින් පසුව තමයි බලපත්‍රය ලබාදීම සිදු කරන්නේ. වසර දෙකකට මේ බලපත්‍රය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා- විපක්ෂයෙන් ගෙනා මේ විශ්වාසභංගය පරාජය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව මහ බැංකු කොල්ලයට උදව් කළ කෙනෙක් තමයි කබීර් හෂීම් මහතා. ඔහු අද මේ විශ්වාසභංගය ගැන විටින් විට උදේ සිට නැඟිට නැඟිට කතා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්. හලීම් මහතා (ස.ජ.බ.)- යහපාලන ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රය ගැන පැවසුවා. එවිට අද ආණ්ඩුවේ අය එදා කීවේ ලෝකයේ තෙල් මිල පහළ යන විට ආණ්ඩුවට එය පහළ දාන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද කියා. අපටත් එයම තමා අද ආණ්ඩුවෙන් අහන්න වෙන්නේ.

රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා- තෙල් මිල වැඩි වීම ගැන අපෙත් යම් යම් මත තිබෙනවා. තෙල් මිල වැඩි කරන්න වුණේ මේ රජය බලයට පත්ව මාස 20 කට පසුවයි. නමුත් යහපාලන ආණ්ඩුව කාලයේ සෑම මාසයකම තෙල් මිල සංශෝධනය කළා. ඒ කාලයේ අද විපක්ෂයේ අය උද්ඝෝෂණ කළේ නැහැ. හරිනම් ඔවුන් එදා තමයි උද්ඝෝෂණය කරන්න තිබුණේ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මිය (ස.ජ.බ.)- රටේ ආර්ථික අර්බුදයක් පවතින විට ඉන්ධන මිල අඩු කරන්න කියලා ජනතාව රජයෙන් ඉල්ලීමක් කළා. නමුත් ඒ සහන ලබාදීමට රජය පියවර ගෙන නැහැ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මුලසුනට පැමිණියේය.

පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි- ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්ව තිබෙනවා. එයට සහනදායී වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. විපක්ෂය ගෙනා මේ යෝජනාවන් ආණ්ඩුවේ සියලුදෙනා එකට එක් කිරීමට හැකි වුණා.

ආණ්ඩුවත් සමඟ ඩීල් නොගසන පක්ෂයක් අප සතුයි. අප මේ යෝජනාව ගෙනාවේ නැත්නම් ආණ්ඩුවේ දේශපාලන කුමන්ත්‍රණය හෙළි වන්නේ නැහැ.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා- මේ විශ්වාසභංගය බාර දුන් විටදී මා මාධ්‍යයට කීවේ තුනෙන් දෙකකින් දිනන බවයි. උදය ගම්මන්පිල මහතා තමන්ගේ රාජකාරිය නිවැරදිව කළ අයෙක්. මේ විශ්වාසභංගය ජය ගන්න උදය ගම්මන්පිල මහතාට අප උදව් කරනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ.)-

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා- තෙල් මිල උච්චාවචනය වෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 4.2 ක ආදායම අපට අහිමි වෙලා තිබෙනවා. තෙල් සංස්ථාවට විදේශ විනිමය

උපයන්න තිබූ සියලු අවස්ථා ඇහිරිලා තිබෙනවා. තෙල් මිල ජගත් වෙළඳාමත් එක්ක තමයි පාලනය වන්නේ. එය විපක්ෂයත් තේරුම් ගත යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතා (සජබ)- තෙල් වැඩි කිරීමට විරුද්ධව පොහොට්ටුවේ ලේකම්වරයා ලියුම් ගැහුවා. උදය ගම්මන්පිල මහත්මයා අතහැරියේ නැහැ, ඔහු ඔහුගේ ස්ථාවරයේම සිටියා. අප නම් දකින්නේ උදය ගම්මන්පිල මහත්මයා දිනලා ඉවරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍ය රාසමානික්කම් මහතා මුලසුනට පැමිණියේය.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා (පොජපෙ)- තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ගත්ත තීන්දුව ගැන නැවත වතාවක් සලකා බලන්න කියා ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ලෙස මා ඉල්ලා සිටිනවා.

මේ වන විට ගොඩක් කේෂ්ත්‍රවල මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. ඒ සඳහා යෝජනා අප ලබා දී තිබෙනවා. ජනතාවට යම් සහනදායි තත්ත්වයක් ඇති කළ යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා (සජබ)- තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මුලින්ම පෙන්වන්න උත්සහ කළේ ගම්මන්පිල ඇමැතිවරයගේ වුවමනාවටයි කළේ කියායි. එහෙත් දැන්

තේරෙනවා මේ වැඩි කිරීමට මුළු ආණ්ඩුවම සම්බන්ධයි කියා.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා-

විෂය පිළිබඳ හොඳ දැනුමක් තිබෙන, අද්දැකීම් තිබෙන ඇමැතිවරයෙක් තමයි ජනාධිපතිවරයා විසින් ඛනිජ තෙල් අමාත්‍යාංශයට පත්කළේ. අපට විශ්වාසයක් තිබෙනවා ඉදිරි කාලයේදි එතුමා මේ මගින් හොඳ වැඩ කොටසක් කර පෙන්නාවි.

අපි විපක්ෂයෙන් අවංකව අහනවා ඉන්ධන මිල වැඩි කිරීම නිසාමද මේ විශ්වාස භංග යෝජනාව ගේන්නේ කියා. නැහැ. මොකද මේ අය බැලුවේ ආණ්ඩුවේ දෙදරීම් තියේවි කියායි. මේ අය හිතුවා ආණ්ඩුව තුනට හතරට කැඩේවි කියා. මේ ගෙනාපු විශ්වාසභංගය නිසා අප අතර තව තවත් විශ්වාසය වැඩි වුණා. අද ඡන්දය ගනන් කරද්දි විපක්ෂයෙ දෙන්නෙක් විතර අරගෙන 155 බහුතර ඡන්දයෙන් දිනනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා. (සජබ)- ගම්මන්පිල මහත්මයා පිරිසුදු චරිතයක් කියා ඔප්පු වෙන්නේ අප ගෙන ආ විශ්වාසභංගය නිසයි.

රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා- හම්බන්තොට දිස්ත්‍රීක් නිවාස කාර්යාලයේ සේවය කළ යුත්තේ 75යි. එක්දහස් එකසිය හතරක් පසුගිය කාලේ සේවයට දාලා තිබුණා. පසුගිය ආණ්ඩුව කාලේ තිබුණු විශ්වාසය අප දැක්කා.සජිත් ප්‍රේමදාස මහතා තමයි මේ දේවල් කළේ. මහත්තයෝ ඔයගොල්ලෝ 1104 ක් දාගෙන කළ දේවල් අප අද 74 කගෙන් කරන්නේ. හෙට දිනයේදී විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරේ අයත් එකතු වෙනවා.

ප්‍රවාහන ඇමැති ගාමිණි ලොකුගේ මහතා- අද වන වි‍ට ලෝකයම ව්‍යසනකාරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. එවැනි වාතාවරණයක් තිබියදී තමයි මේ වගේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන්නේ. ලෝකයම ව්‍යසනකාරි තත්ත්වයක් ඇති වී තිබියදි අපිට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් තිබෙනවා. ඒ ඒ තත්ත්වයන්ට අනුව අපි කටයුතු කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා (සජබ)- කොවිඩ් තත්ත්වය යටතේ බොහෝ අංශ කඩා වැටී ඇති බව ඇත්ත. ජනතාව පීඩාවට පත්ව ඇති මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අප අපගේ අප්‍රසාදය

පළ කරනවා. ඒ නිසයි මෙවැනි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේ.

කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (පොජපෙ)- ඛනිජ තෙල් අංශය, බලශක්ති අංශයය සහන ලබාදීම අසීරුයි. එලෙස සහන ලබාදී ආණ්ඩුවකට ඉදිරියට යාමත් අපහසුයි. ඒ නිසා පවතින තත්ත්වයන් අප තේරුම් ගත යුතුයි.

මේ විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් කාලය වෙන්කිරිම පවා විහිළුවක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මුලසුන‍ට පැමිණියේය.

පත් කළ මන්ත්‍රී ටිරාන් අලස් මහතා (පොජපෙ)

ඛනිජ තෙල් අංශයට අදාළව විශාල කාර්ය භාරයක් ගම්මන්පිල ඇමැතිවරයා මේ දිනවල සිදුකරනවා. ඉන්දියාවට ලබාදි ඇති තෙල් ටැංකි ටික නැවත ලබා ගැනීම වෙනුවෙන් එතුමා සාකච්ඡා සිදු කරමින් සිටිනවා.

කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ‍(පොජපෙ)- ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් එය ලෝක වෙළෙඳපොළේ තිබෙන තත්ත්වය අනුව කටයුතු කිරීමට සිදු වෙනවා. මෙවැනි විශ්වාස භංග යෝජනාවක් ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන ඒමට කිසිඳු සාධාරණ හේතුවක් නැහැ.

ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා- අද විපක්ෂය පාර්ලිමේන්තුව ඇතුලේ සිඟිති වැඩ කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා හිටිය නම් සමහර විට‍ මෙහෙම වෙන එකක් නැහැ. ඉන්ධන මිල වැඩිවීම සෘජුව බලපාන කණ්ඩායම් සිටිනවා. එම බලපෑම සෘජුව එල්ලවන බස් රථ රියැදුරන්, ප්‍රවාහන ක්ෂේත්‍රය, පෞද්ගලික කුලී රථ සේවා ආදී සෑම අංශයක් සමග ම අප සාකච්ඡා කළා.

ඇමැති සී බී රත්නායක මහතා- ආණ්ඩුවට

එරෙහිව විවිධ පිරිස් විරෝධතා සිදු කරනවා. පවතින අර්බුද හමුවේ වූවද නිසි පරිදි ඛනිජ තෙල් කර්මාන්තය කළමනාකරණය කරමින් සිටිනවා.

 

විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය අද (20) දක්වා කල් තැබිණි.

 

පාර්ලිමේන්තුව අද (20)

පෙරවරු 10.00 ට යළි රැස්වේ .

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න