එක පිරිමියකුට ගැහැනියකට නම් දෙකක් | දිනමිණ

එක පිරිමියකුට ගැහැනියකට නම් දෙකක්

ගමේ කාටත් පාහේ නම් දෙකක් ඇත. එකක් උප්පැන්න සහතිකේ තියන නම. අනෙක මිනිස්සු දාගත්ත නම. මිස්ටෙගෙ නියම නම රුවිතන්. රුවිතන් එක්තරා කාලයක පෙරකදෝරුවකු ළඟ වැඩ කර තිබේ. පෙරකදෝරුවා ඔහුට කතා කළේ මිස්ට රුවිතන් කියලයි. රුවිතන් කෑල්ල පසුව ලොප් විය. දැන් එයාගෙ නම මිස්ටෙ. ජොස්ටින් කාට කතා කරන්නෙත් අයිසෙ කියලයි. අයිසෙ මෙහෙ එනව අයිසෙ මම කොළඹ කාල ආපු මිනිහෙක්. අයිසෙ යනව නං මාත් එන්නං. ඔය විදිහට. මේ නිසා මිනිස්සු ජොස්ටින්ට දමාගෙන තියන නම අයිසෙ. ඔයාකාරයට නානාප්‍රකාර නම්. නිලමෙ, නිලං, පප්ප, බබා, බේබි, උක්කු.”

ඉහත කොටස මා උපුටා ගත්තේ මහගම සේකරයන්ගේ ‘තුංමංහංදිය’ නවකතාවෙනි. පළමු පිටුවෙනි. මහගම සේකරගේ නවකතාවේ කථකයා වන සිරිසේන හඳුන්වමිනි.

“රණතුංග ආරච්චිගේ සිරිසේන ඉස්කෝලෙට ආර්. ඒ. සිරිසේන. මුල අකුරුත් එක්ක. එහෙම නොකිව්වොත් කේ. පී. සිරිසේනත් එක්ක මගේ නම පටලැවෙයි. කේ. පී. සිරිසේන? නෑ. ආර්. ඒ. සිරිසේන? ඉන්නවා. දැන් පටලැවිල්ලක් නැත. පන්තියේ ළමයි කේ. පී. සිරිසේනට කේ. පී. කියා කතා කරති. මම සිරිසේන. වැඩිහිටි උදවිය මට කතා කරන්නේ ඩේව්ඩ් කියලා. ඩේවිඩ් තමයි ගෙදරට නම. ඩේවිඩ් සිංඤො.” (තුංමංහන්දිය)

මහගම සේකර සඳහන් කරන එක මිනිහෙකුට නැත්නම් ගැහැනියකට නම් දෙකක් යන්න ඔහු උපන් රදාවන අයත් සියනෑ කෝරලයට පමණක් සීමා වූවක් නොවේ. මෑත අතීතය වන තෙක් ම බොහෝ ගැමි ප්‍රදේශවල පැවතුණකි.

අප කුඩා කාලයේදී අපේ ගමේ ද බොහෝ අයට නම් දෙකක් තිබිණි. ගමේ මහතුන්ලා හතර පස් දෙනෙක් ම සිටියහ. ඒ හැම දෙනකුට ම උප්පැන්නයේ තිබුණේ වෙනත් නමකි. උක්කුං, , සුදා, බබා, රාලහාමි, නිලමේ, මද්දුමේ, රත්තා, පැටී ආදී නානාප්‍රකාර නම් අපේ ගම්වල ද තිබිණි. පුංචි මහත්තයා නැත්නම් පුංචා යනුවෙන් හැඳින්වුණු තැනැත්තාගේ සැබෑ නම පියසේන බව ගමේ බොහෝ දෙනෙක් දැනගත්තේ ඔහු මියගිය පසු මරණ දැන්වීම දුටුවිට ය. සැබෑ නමට යටින් වරහන් තුළ පුංචි මහත්මයා යනුවෙන් සඳහන් කර තිබිණි. මෙය පුංචි මහත්මයාට පොදු වූ ප්‍රශ්නයක් නොවේ. උප්පැන්නයේ නමට අමතරව වෙනත් නමකින් ගමේ සමාජයට ගිය බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි.

මේ නම් සඳහා විශේෂණ පද හා උපකාරක පද යෙදී ඒවා යම් යම් වෙනස්වීම්වලට ද භාජනය වෙයි. උක්කුං උක්කුං මහත්තයා නැත්නම් උක්කුං නිලමේ වෙයි. කන්කොට නිලමේ කුඹුරු කෙටුවේ අදින් බොහෝ කලකට පෙර ඇසූ කවියක ය. රාලහාමි විශේෂණගතව පුංචි රාලහාමි, ලොකු රාලහාමි නැත්නම් සුදු රාලහාමි වෙයි. මද්දුමේලා දෙදෙනෙක් සිටින විට ඔවුන් ජීවත්වන ගෙවල් මුල් කොට ගෙන කොටුවෙ ගෙදර මද්දුමේ, මැද ගෙදර මද්දුමේ ආදී නම් ලබයි. පැටී පැටී මහත්තයා වෙයි. සුදා යනුවෙන් හැඳින්වෙන්නේ ඒ පැහැයට යන්තමින් හෝ කිට්ටු කෙනෙකි. ඇතැම් විට පැහැයෙන් කළු තැනැත්තෙකු ද බාල වියේ දී සුදා යන නම ලැබ පසුව අන්‍යයන් අතින් දත සුදා, යටි පලු සුදා වැනි උප නම් ලැබීම ද සිදු වේ. කුඩා වියේ සිට මහත්තයා යන නමින් හැඳින්වූ අයෙකු මන්ද ප්‍රඥා ඇත්තෙකු නම් ඔහු නැති තැන ‘ගොං මහත්තයා’ , ‘මෝඩ මහත්තයා’ , ‘නමට මහත්තයා’ වැනි පදයකින් හඳුන්වන්නට ගැමියෝ පෙලඹෙති.

උප්පැන්නයේ නමට අමතර නමක් ලබන්නෝ පිරිමි පමණක් නොවෙති. ගැහැනු ද වෙති. තුංමංහන්දිය නවකතාවේ මෙසේ සඳහන් වෙයි.

“පුංචි දවස්වල බබාට ලිංග භේදයක් නැත. පොදුවේ කාටත් බබා කියති. බබා ලොකු වූ විට ගැහැනියක් නම් බබා නෝනා වෙයි. පිරිමියෙක් නම් බබා සිංඤෝ වෙයි. බේබි හා උක්කුං ද එසේම ය. බේබි නෝනා, බේබි සිංඤෝ, බේබි මහත්තයා, උක්කුං නෝනා, උක්කුං සිංඤෝ, උක්කුං මහත්තය.” (තුංමංහංදිය)

ගැහැනු අයට ගෙදරට කියන නම ලෙස හාමිනේ, නෝනෙ, සුදා, මැණිකේ වැනි නම් ද යෙදිණි. හාමිනේ බොහෝ විට සුදු හාමිනේ නැත්නම් පුංචි හාමිනේ වූවා ය. මැණිකේ සඳහා ද විශේෂණ පද සමඟ සුදු මැණිකේ, ලොකු මැණිකේ, පුංචි මැණිකේ, මුතු මැණිකේ, ඩිංගිරි මැණිකේ වැනි නම් යෙදිණි ඇතැම් විට මේ නම් උප්පැන්නයට යෙදෙයි. එවිට ඒ තැනැත්තියන්ට ගෙදරට වෙනත් නමක් යෙදෙයි.

පැරණි පරම්පරාවේ අය වෙනුවට පසුකාලීන පරම්පරාව නම් ලබන විට පැරැණියන්ගේ ඩේවිඩ් සිඤෝ, පෑලිස් අප්පුහාමි, පොඩි මැණිකේ, සෝමාවතී, රත්නවතී, ලීලාවතී, සුමනාවතී ආදී නම් වෙනුවට ආනන්ද, ලක්ෂ්මන්, පාලිත, රංග, ජානකී, නන්දනී, නීතා, වජිරා ආදී නම් යෙදීම ඇරඹිණි. ඒ හා සමඟ ම ගෙදරට යෙදෙන නම ද නවීකරණය විය. රාජු, මැණික්, සුදු, නිලී වැනි නම් ඒ වෙනුවෙන් යෙදිණි.

මාර්ටින් වික්‍රමසිංහ තම උපන්දා සිට කෘතියේ තමන් ඉපැදුණු දකුණු පළාතේ නම් තැබීමේ කලාව මෙසේ අනාවරණය කරයි.

“නගරයෙන් පටන් ගත් ඉංගිරිසි - සිංහල භේදයෙන් අනුබල ලැබූ මැද පන්තියේ ගැමියෝ, පොදු ගැමියන්ට වඩා ඉහළ පන්තියක ඈයන් වනු පිණිස පැරණි පොදු සිරිත් හා නම් ගම් ද බැහැර කරන්නට පටන්ගත්හ. පොදුවේ ගැමියන් අතර ව්‍යවහාර වුණු සිරිමල්, නිමල්, ගෞතමදාස, බුද්ධදාස, වැනි පිරිමි නම් ද දයාවතී, ප්‍රේමවතී, ගුණවතී, වැනි ගෑනු නම් ද බැහැර කළ ඔවුහු ප්රැන්සිස්, හැන්රි, ඩේවිඩ්, සැම්සන්, ඔයිබර්ට් ආදී ඉංගිරිසි නම් පිරිමි දරුවන්ටත් ලුසී, මැගී, ලෝරා, නැලී ආදී නම් දැරියන්ටත් ආරූඪ කරන්නට පටන් ගත්හ.” (උපන්දා සිට)

මෙසේ ඉංගිරිසි නම් ගැමියන් අතින් යෙදෙන්නට වීමෙන් ඇතිවූ විකෘතිය ද මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ විස්තර කරති.

“ගාලු නගරයේ වෙසෙන උගත් නෑයන් ඇති අපේ ගමේ ගැමියෙක් තම පුතාට ‘ඇඩ්වර්ඩ් බ්රූස්’ නම තැබුවේ ය. ‘බ්රූස්’ උසුරුවන්නට නොහැකි ගැමියෝ, ඒ නම ‘බුරුස්’ කොටගත්හ. කෝපයෙන් හා ලජ්ජාවෙන් මිරිකෙන්නට වූ ගැමියා ඒ නම වෙනස් කොට තම පුතාට අනික් නමක් ආරූඪ කළේ ය. පොදු ගැමි වහර නිසා ප්රැන්සිස් ‘පුරන්සිස්’ විය. ඒබ්‍රහම් ‘අබරන්’ විය. ග්රැලගරි ‘ගිරිගෝරිස්’ විය. හර්මන් ‘හරුමන්’ වී අනතුරුව ‘හරුමා’ විය.” (උපන්දා සිට)

අපේ ගම්වල ද ඩේව්ඩ් ‘දාවිත්’ විය. පීටර් ‘පීතර’ විය. ඒබ්රවහම් ‘ඒබරන්’ විය. ඩැනියෙල් ‘දනියෙල්’ විය. ජෝන් ‘ජෝං’ විය.

ලංකාවේ ඉහළ පවුල්වල දරුවන්ට ද උප්පැන්නයේ කියැවෙන නමට අතිරේකව සුරතල් නම් තිබිණි. ප්‍රසිද්ධ වැවිලිකරවකු හා ධනවතෙකු වූ ‘දොන් ස්පේටර් සේනානායක’ මහතාගේ දරුවන් තිදෙනම ජෝන් නමින් හඳුන්වන ලදහ. එකිනෙකා වෙන් කොට හැඳින්වීමේ දී වැඩිමහලු ඩී. සී. සේනානායක (දොන් චාල්ස්) ‘කොළඹ ජෝන්’ වූ බව ද දෙවැන්නා වූ එෆ්. ආර්. සේනානායක (ෆ්රෙඩ්රික් රිචඩ්) ‘ලන්ඩන් ජෝන්’ වූ බව ද බාලයා වූ පසුව ලංකාවේ ප්‍රථම අගමැති වූ ඩී. එස්. සේනානායක (දොන් ස්ටීවන්) ‘කැලෑ ජෝන් වූ බව ද ප්‍රකට ය. ඉහළ පවුල්වල ඩිකී යන නම ද බහුල විය. ජේ. ආර්. ජයවර්ධන (ජූනියස් රිචඩ්) මෙන් ම ආර්. ජී. සේනානායක (රිචඩ් ගෝඨාභය) දෙදෙනම ඩිකී ලා වූහ. 1952 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ වෙළඳ ඇමතිවරයා වූ ආර්. ජී. සේනානායක චීනය සමඟ රබර් සහල් ගිවිසුමක් ඇති කරගත් හෙයින් ඔහු ‘චීන ඩිකී’ විය. එම කැබිනට් මණ්ඩලයේ ම මුදල් අමාත්‍යවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ඇමෙරිකන් හිතවාදකු වූ හෙයින් ඔහු ‘යැංකි ඩිකී’ නමින් හැඳින්විණි.

එකම පිරිමියකුට හෝ ගැහැනියකට උප්පැන්නයට හා ගෙදරට යනුවෙන් නම් දෙකක් තිබීම අපේ රටේ අතීතයේ දී සාමාන්‍ය සිද්ධියක් විය.

 

මහානාම දුනුමාල

නව අදහස දක්වන්න