මිලිටරිකරණය | දිනමිණ

මිලිටරිකරණය

 

  ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් සිටියේ රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමිනි. අර උද්ඝෝෂණ, මේ උද්ඝෝෂණවල දර්ශනවලින් රූපවාහිනී තිරය පිරිලාය.

“මාර උද්ඝෝෂණ නේද ටොම්සන් මහත්තයා...” කියා ඇම්බන් කීවේය.

“මොන උද්ඝෝෂණ ගැනද ඔය කියන්නේ?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“නෑ ඉතින් ඔය උසස් අධ්‍යාපනය මිලිටරිකරණය කරන එක ගැන. මාර උද්ඝෝෂණ නේද? ඇත්තට මොකක්ද ටොම්සන් මහත්තයා ඔය මිලිටරිකරණ කතාව..? මට නම් තේරෙන්නේ නෑ...” කියා ඇම්බන් මහත්තයා මහත් උනන්දුවෙන් ඇසුවේය.

ටොම්සන් මහත්තයා “හොක් හොක්” ගා සිනහසුණේය.

“ඒ මොකද ටොම්සන් මහත්තයා ගෙම්බෙක් වාගේ හිනා වෙන්නේ” කියා උන්නැහේ ඇසුවේය.

“ගෙම්බෙක් වගේ... ඒකත් ඇත්ත තමයි... නිකම් ගෙම්බෙක් නෙවෙයි. ළි‍ෙඳ් ඉන්න ගෙම්බෙක් වගේ.. ළිඳේ ඉන්න ගෙම්බෙක් නෙවෙයි. ගෙම්බෝ ගොඩක්. අනේ මන්දා... අපේ රටේ වැඩි හරියක් ඉන්නේ ළිදේ ඉන්න ගෙම්බෝ වගේ අය තමයි... එතකොට ළි‍ෙඳ්කට වටේ තියෙන දේ විතරයි නේ පේන්නේ... ඔය මිලිටරිකරණ කතාවත් ඒ වගේ තමයි...” කියා ටොම්සන් මහත්තයා එහාට මෙහාට ඇවිදින්නට පටන් ගත්තේය.

“දැන් මෙහෙමනේ උන්නැහේ... ලංකාවේ විශ්වවිද්‍යාල පිහිටවන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ විශ්වවිද්‍යාල පිහිටුවීම. අනික් එක තමයි විශේෂ පනතක් යටතේ විශ්වවිද්‍යාල පිහිටුවීම. අර පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය පිහිටුවලා තියෙන්නේ ඒ විදිහට. ඒ වගේම සාගර විශ්වවිද්‍යාලය පිහිටුවලා තියෙන්නේ ඒ විදිහට. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටුවලා තියෙන්නේ ඒ විදිහට. උන්නැහේ ඇයි අහන්නේ නැත්තේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට හමුදා නිලධාරීන් දැම්මේ නැත්තේ ඇයි කියලා.” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“ඒක නම් මාර ප්‍රශ්නයක්නේ... පාලි හා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට හමුදා නිලධාරීන් දැම්මා නම් කොහොමද? ඒක මාර වැඩක් නේ...”

“ඒක මාර වැඩක් හින්දා තමයි පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයත්, කුලපති, උප කුලපති තනතුරුවලටත් අපේ මහා නායක හාමුදුරුවරු පත් කරලා තියෙන්නේ... ඒ විදිහටම තමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට ආරක්ෂක සේවා ප්‍රධානීන් පත් කරන්නේ. කුලපති, උප කුලපති තනතුරුවලටත් පත් කරලා තියෙන්නේ ආරක්ෂක සේවා ප්‍රධානීන්. එහෙම නැතුව අර පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට වාගේ උපකුලපති කුලපති තනතුරුවලට අපේ මහා නායක හාමුදුරුවරු පත් කරන්න කියල ද?”

ඇම්බන් මහත්තයා අත්පුඩි ගසමින් රවුමට දුවන්නට පටන් ගත්තේය.

“ඒ මොකද ඇම්බන් මහත්තයා.?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“නෑ ඉතින්. ටොම්සන් මහත්තයා ඇහුවේ මාර ප්‍රශ්නයක් නේ. කොතලාවල ආරක්ෂක සේවා විශ්වවිද්‍යාලයේ කුලපති උපකුලපති තනතුරුවලට හාමුදුරුවරු පත් කරන්න? හොඳට තියෙයි.” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“හොඳට තියෙයි තමයි... ලෝකයේ ඕනෑම රටක තියෙන ආරක්ෂක සේවා විශ්විවිද්‍යාලවලට පාලක මණ්ඩල පත් කරන්නේ ඒ විදිහට තමයි. අපේ රටේ වුණත් ඒ විදිහට තමයි. ඒකෙන් අපේ රටේ විශ්වවිද්‍යාල මිලිටරිකරණය වෙන්නේ නෑ. අපේ රටේ නිදහස් අධ්‍යාපනය නැති වෙන්නෙත් නෑ. අනික ටොම්සන් මහත්තයා, කොතලාවල විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් හැටියට තෝරා ගන්නා ශිෂ්‍යයන්ට කැඩෙට් නිලධාරි තනතුරු දීලානේ ඇතුළත් කර ගන්නේ. එතකොට මේ ශිෂ්‍යයන් කියන්නේ හමුදා නිලධාරීන්. තව ඉතින් සිවිල් ශිෂ්‍යයන් යම් සංඛ්‍යාවකටත් ඉඩ ලැබෙනවා. එතකොට ඒකේ ඇතුළේ කොහොමද සාමාන්‍ය විශ්වවිද්‍යාලයක වාගේ උද්ඝෝෂණ - පෙළපාළි තියන්නේ. ඒක හමුදා නීතියට පටහැණියි නේ...” ටොම්සන් මහත්තයා කීවේය.

 

“මේක ළිං මැඩියන්ගේ රටක්. එදා ඉඳන් සිද්ධ වුණේ මේක තමයි. තමන්ට පේන දේ හැටියට තමයි තීරණ ගන්නේ. ලෝකයේ මොනවද වෙන්නේ කියලා දන්නේ නෑ. ලෝකයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවද කියලා දන්නේ නෑ. ළිං මැඩියෝ වුණත් විශාල රංචුවක් එකතු වුණාම කොහොම ඝෝෂාවක් තියෙයිද? මට නම් කනගාටු මේ රටට මොනවද වෙන්නේ කියලා.”

“මොනවා වෙන්නද ටොම්සන් මහත්තයා. ළිං මැඩි චින්තනය කියන එකත් මේ වගේ අරගල ව්‍යාපාරවල ඉහළම දර්ශනයක්. මතවාදයක්. ඒක පිළිගන්න කොයිතරම් ජනතාවක් ඉන්නවද? කොච්චරක් අනුගාමිකයෝ ඉන්නවද? දැන් ඔය විශ්වවිද්‍යාලවල නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ අනුන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහි වීමට ඇති අයිතිය. ඒකට තමයි මේ තරම් කෑ ගහන්නේ. මෙච්චර කාලයක් විශ්වවිද්‍යාලවල හිටපු නිදහස් අදහස් ප්‍රකාශ කරපු උදවිය අද මේ සමාජයේ ඉන්නවා නම්, මේ රට කොයි තරම් සුඛිත මුදිතද? මේ ඔක්කොම එක එක සැඟවුණු න්‍යාය පත්‍ර. එච්චරයි.” කියා ටොම්සන් මහත්තයා එළියට බැස යන්නට ගියේය.

 

බන්දුල පී. දයාරත්න

 

 

නව අදහස දක්වන්න