වියෝ දුක මැද සිසුවියක වෙනුවෙන් ඉටු කළෙමි යුතුකම | දිනමිණ

වියෝ දුක මැද සිසුවියක වෙනුවෙන් ඉටු කළෙමි යුතුකම

 

මගේ පොඩි මල්ලී නිහාල් ගලප්පත්ති අසනීපව සිට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේ පසුගිය අටවන දා බ්‍රහස්පතින්දා උදේ කාලයේ දී ය. අවුරුදු හැටහතක් පමණ කාලයක් අප සමඟ ජීවත් වූ ඔහුගේ වෙන්වීම දරාගත නොහැකි දුකක් වූයේ තවත් කාලයක් ඔහුට අප සමඟ ජීවත්වන්නට ඉඩ තිබුණා නොවෙද කියා හිතුණු කල්හිය. ඔහු මගේ පවුලේ හැමටත් දුවටත් පුතාටත් දැඩි සේ ආදරය කළ බාලම සොයුරාය. ඔහු මෙන්ම පෙර දවසක මගෙන් වෙන් වූ ලොකු මල්ලීත් ලොකු නංගීත් දෙදෙනාම මගේ දරුවන්ට දැක්වූ ආදරය සිහියට නැගෙන කල් මේ දුක වැඩිපුර දැනෙන්නට විය. අවුරුදු කීපයක සිට හෘදය ආශ්‍රිත රෝගයකින් පෙළුණු පොඩි මල්ලීගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවේ යැයි දැන සිටියත් ඔහු මෙතරම් ඉක්මනින් අප අතහැර යාවි යයි නොසිතිණ. ඔහුට නිර්දේශ කොට තිබූ Pace Maker උපකරණයේ ආධාරයෙන් ඔහුගේ ජීවිත කාලය දීර්ඝ වීය. ඔහුගේ මරණයට හේතුව ඇකියුට් ඩිකොම්පන්ස්ටේඩ් ලෙෆ්ට් වෙන්ටිකියුලර් ෆේලියර් යන්නයි. විප්‍රවාසයේ සිටින ඔහු පුත් නිසල් ට ද දන්වා බිරිඳ සමඟ කතිකා කොට තීරණය කළේ හැකි ඉක්මනින් අවසන් කටයුතු නිම කිරීමටයි. ඒ අනුව රෝහලට ආසන්න මල්ශාලාවකට දේහය බාරදීමෙන් අනතුරුව ආදාහනය පසුදාම මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැන සුසාන භූමියේ දී සිදු කෙරුණේ පවුලේ සමීපතම සීමිත ඥාති හිතමිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙනි. මරණය පිළිබඳ කිසිදු ප්‍රසිද්ධ දැන්වීමක් මුහුණු පොත හෝ වෙනත් මාධ්‍යයකින් පළ නොකිරීමට තීරණය කළෙමි. වර්තමානයේ අප මුහුණ දෙන සෞඛ්‍ය ප්‍රශ්න හා පිළිපැදිය යුතු සංචරණ සීමා නීති රීති හොඳින් දන්නා බැවින් මෙවැනි අවස්ථාවකට කිසිවකුගේ සහභාගීත්වය අපේක්ෂා කිරීම නොකටයුත්තක් බවත් අසාධාරණ බවත් මගේ නිගමනය විය. අවසන් කටයුතු සිකුරාදාවක සිදු වීම පිළිබඳ හැඟීමක් හෝ නොවිණ. ආදාහනාගාරය ලැබුණු පළමු අවස්ථාවම, එනම් පස්වරු 3ටම කටයුතු නිම කිරීම මගේ කල්පනාව විය. සියල්ල එලෙස සිදුවිය. නිවසට පැමිණ පැයකින් පමණ මගේ සොයුරා මියගිය පුවත හා අවසන් කටයුතු නිමා කළ බව මුහුණු පොත පෝස්ටුවක් මඟින් දන්වා සිටිමින් මා පැවසූයේ පවතින තත්ත්වය හොඳින් දන්නා හා ඊට අනුගතවීම අපගේ යුතුකම බැවින් එසේ කළ බවය. පෝස්ටුව මගේ බිත්තියේ එල්ලී මොහොතකින් මා සමඟ දුක බෙදා ගැනීමට විසාල පිරිසක් එක්වූහ. බොහෝ දෙනාගේ අදහස වූයේ මා විසින් ඉතාමත් නිවැරිදි හා කාලෝචිත තීරණයක් ගනිමින් මරණය පිළිබඳ දැනුම් දීම හා කටයුතු අවසන් කළ බවය. එහෙත් මුහුණු පොත මිතුරු සමාගමය මා සමඟ මගේ දුක බෙදා ගැනීමට කාරුණික වූ ආකාරය මා පසක් කොට ගත්තේ 9 ද සවස එල්ලූ පෝස්ටුවට 10 දා සවස් කාලය වන විට 800 කට වැඩි පිරිසක් කනගාටුව ප්‍රකාශ කොට තිබූ අතර 700 ක් තරම් දෙනා ලියා තිබූ කොමෙන්ටු දුටු විටය. ඔවුන්ගේ ළෙන්ගතු මිත්‍රත්වය අගය කරමි.

එහෙත් මා මුහුණ දුන් බරපතළ ප්‍රශ්න කිහිපයක්ම මට තිබිණ. එදවස සොඳුරුමය තීරුව ලියා තැපැල් කළ යුතු වන්නේ බ්‍රහස්පතින්දා ය. පොඩිමල්ලී ගේ වියොවින් දුකට පත් වී සිටින මොහොතක කෙසේ නම් හිත එකලාස කොටගෙන එවැන්නක් කළ හැකිද? පුවත්පත් පිටුවේ නව සංස්කාරක දුමින්ද අලුත්ගෙදර සොයුරාට අවසන් මොහොතේ මේ බව කීමෙන් ඔහු අපහසුතාවට පත්වන බව දැන සිටියෙමි. එබැවින් ඒ පිළිබඳ කිසිත් ඔහුට නොපවසා මා ඔහුට කීවේ තීරුව සිකුරාදා අලුයමින්ම එවන බවයි. මියගිය පොඩි මල්ලීගේ මුහුණ මොහොතින් මොහොත මා ඉදිරියේ මැවෙමින් තිබුණ අතරවාරයේ ඔහු පිළිබඳ මතක යටපත් කරගනිමින් මැදියම් රැය ද පසු වී පසුදා අලුයම ලියා නිම කළ තීරුව 9 සිකුරාදා පළමු රාජකාරිය ලෙස තැපැල් කළෙමි. ඉන්පසු දවස පුරාම අවමඟුල් ශාලාවේ සිටින්නට සිදුවීම කළ යුතු බැවින් අන් කිසිදු කටයුත්තක් පිළිබඳ හිත යොමු නොකළ ද සතියකට පමණ පෙර ගිවිසගත් අත්‍යවශ්‍යම රාජකාරියක්, යුතුකමක් ඉටුකිරීමට ඇති බව මතකයේ තිබිණ. ජයවර්ධනපුර සරසවියේ ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාද් උපාධි පාඨමාලාවේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස දේශන පැවැත්වූ 2006 වකවානුවේ හමු වූ ශිෂ්‍යාවක වූ සුනීතා එම්. කොස්වත්ත, දැන් ඈ සුනීතා මෙරගල්ගේ, ඈ විසින් ආරම්භ කිරීමට නියමිත Zoom ඔස්සේ පවැත්වෙන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය දේශන මාලාවක ආරම්භක දේශනය 9 දා රාත්‍රි 7ට මාගේ දේශනයකින් ආරම්භ වන බව ඒ වන විටත් අන්තර්ජාලය Whats app හා මුහුණු පොත ඔස්සේ දැනුම් දී තිබුණු අතර ඊට සහභාගී වන උසස් පෙළ දූ පුතුන් ගුරුවර ගුරුවරියන් විශාල පිරිසක් සහභාගීත්වය තහවුරු කොට තිබිණ. සුනීතා 8 වන බ්‍රහස්පතින්දා වැඩසටහන පිළිබඳ විමසූ කල්හි මගේ ප්‍රශ්නය පිළිබඳ කිසිවක් නොදොඩා සහභාගීවීම තහවුරු කළේ පසුදින ආදාහන කටයුතු සිදුවන වෙලාව පිළිබඳ දැනුමකින් තොරවය. කුමන හෝ හේතුවකින් ආදාහනාගාරය ලැබුණේ පස්වරු 6ට නම් අනිවාර්යයෙන්ම මගේ යුතුකම ඉටුකරන්නට නොලැබෙනු ඇත. එහෙත් ඒ කිසිවක් මගේ මතකයේ නොවිණ. ඒ පිළිබඳ හාංකවිසියක් හෝ ඈ දැන නොසිටියාය. සුනීතා ඇගේ මේ සද්කාර්යය ඇරැඹීමට පෙර සති කීපයක දී සම්පත්දායකයන්, ඔවුනට පැවරිය යුතු දේශන විෂය, ආදිය පිළිබඳ මා සමඟ කතා කොට මගේ අදහස් හා නිර්දේශ ලබා ගත්තාය. නිශ්ශරණාධ්‍යාශයෙන් ඈ අපේ දරුවන් වෙනුවෙන් කරන කටයුත්තට මගේ සම්පූර්ණ සහාය ඈ ලබාගත්තී කරදරකාරියක ලෙසිනි. වරෙක මගේ පොත් ජනගත කිරීමකදී ජැක්සන් ඇන්තනි මගේ මිත්‍රයා විසින් මා හඳුන්වනු ලැබූයේ සංස්කෘතික රස්තියාදුකාරයා ලෙසයි. එනයින් සුනීතා මෙරගල්ගේ මගේ කෙටි කාලීන ගෝලිය මා හඳුන්වා දෙන්නේ සොඳුරු කරදරකාරියක ලෙසයි. කරදරකාර ගුරුතුමියක ලෙසයි. මා ඈ හඳුනා ගත් මුල් කාලයේ සිට ඈ මට කොතෙක් කරදර කළා දැයි ඇයට අමතක නැති බව මම දනිමි. කරදරකාර ගුරුවරියක මෙන්ම කිවිඳියක ලෙසද ඇගේ කරදර ඉවසා සිටියා පමණක් නොව ඒ සෑම මොහොතකදී ම ඇයට උදව් කළ බව ද මතකය.

සරසවියෙන් නික්මී ඇගේ ගමට ගොස් ‘ඉපනැලි’ නම් ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උලෙළට කොළඹ සිට සුනිල් ආර්. ගමගේ මිතුරාත් මමත් අනුරාධපුරයට ගියෙමු. ඇගේ දෙවැන කවි පොත ‘පුරහඳත් හිනැහෙයි’ ප්‍රකාශනයට සුරස ප්‍රකාශක ප්‍රේම් දිසානායක වෙතට යොමු කිරීමේ කරදරය ද සතුටින් ඉවසා සිටියෙමි. 2011 දී පමණ ගුරුවරියක ලෙස අනුරාධපුරයෙන් එපිට නාච්චදූව වැනි දුෂ්කර පාසලක සේවය කළ අවදියේ එහි දුවා දරුවන් ද කැබිතිගොල්ලෑව පාසලක ඇගේ මිතුරු ගුරුවරියකගේ දූ පුතුන් ද සමඟ දෙදින අධ්‍යාපන චාරිකාවකට අගනුවරට පැමිණියාය. ඒ ගමන වෙනුවෙන්, ඇගේ දූ පුතුන් වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී කෙටි සාහිත්‍ය දෙසුම් කිහිපයක් සංවිධානය කළෙමි. මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහාචාර්ය සමන්ත හේරත් ආදීහු මගේ ඉල්ලීමට මේ කරදරකාර සොඳුරු ගුරුතුමී වෙනුවෙන් ඊට සහභාගී වූහ. නැවත 2013 දී අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ගුරුතුමියක ලෙස ඇගේ දරු දැරියන් හා අගනුවර මාධ්‍ය ආයතන චාරිකාවකට කොළඹ පැමිණියාය. ඒ වතාවේදීත් මා මිත්‍ර සිරස නාලිකා අධ්‍යක්ෂ අසෝක ඩයස්ගේ උපකාරයෙන් රත්මලාන ස්ටෙයින් මැදිරි ජාලයට ගොස් රූපවාහිනී වැඩසටහන් පටිගත කරන ආකාරය නැරඹීමට ඇගේ සිසු දරු දැරියෝ වාසනාවන්ත වූහ. සුනීතා නම් කරදරකාර ගුරුතුමී ඇගේ ගුරු දිවියේ වාසනාවන්තියක් වන්නීය. දරුවන්ගේ නැණ පිපාසාව සංසිඳවීමෙහි ලා කැප වුණු ගුරු මව්වරුන් හෝ පියවරුන් විසාල පිරිසක් මට හමු වී නැත. උඩුදුම්ම්බර කහටලියැද්ද චූලාභය ද්විතීයික පාසලෙහි සිත්තරී තිළිණි ෂැල්වීන්, ගලේවෙල නාගලවැව ප්‍රාථමිකයෙහි ලක්මාල් ජයසූරිය ගුරුතුමා හා මොරටු මහා විද්‍යාලයේ නාට්‍ය ගුරුතුමී ගංගාරාණි පරණවිතාන ඉන් කිහිප දෙනෙකි.එහෙත් සුනීතා මෙරගල්ගේ ගුරුතුමිය ඈත අනුරාධපුරයේ දුෂ්කර පාසලක දූ පුතුන්ට සලකන ලෙසම නගරයේ බාලිකා පාසලක් දියණියන්ට ද සලකන්නීය. කොළඹ විසාකා බාලිකාවේ සන්නිවේදන ගුරුතුමිය වූ පසුව ද ඇගේ කරදර ඉල්ලීම්හි අඩුවක් නොවිණි.

විශාඛාවේ වාර්ෂික කලා උලෙළ, වාර්ෂික මාධ්‍ය දිනය, ශත සංවත්සර වැඩසටහන් අතර වූ විශාඛා ගීත නාටකය, මාධ්‍ය ප්‍රදර්ශනය, ප්‍රකාශන පළ කිරීම ආදී මෙකී නොකී කුදු මහත් කලා හෝ සන්නිවේදන හෝ මාධ්‍ය ක්‍රියාකාරකමක් වීද ඒ සෑම කටයුත්තක දීම සුනීතා ගුරුතුමී මා හට කරදරකාරී ගුරුතුමිය වූවාය. විශාඛාවේ ශතක පූර්ණ උලෙළ වෙනුවෙන් සන්නිවේදන සංදීපනී නම් අගනා ලිපි එකතුවක් ඈ විසින් සංස්කරණය කරන ලද්දී, ඊට ඇවැසි බොහෝ උපදෙස් ලබා ගැනීමට මට කරදර කිරීමෙන් පසුව ය. විශාඛාවෙන් ඉවත් වී ඈ සැමියා අනුරාධ සමඟ ඔහු ගේ රැකියා ස්ථානය වූ ඩුබායි නගරයට ගිය ද ඈ උපතින් ගෙන ආ පුරුද්දක් තරමට දරුවන්ගේ නැණස පෑදීමේ පුණ්‍යකර්මයට අබ්බැහි වී සිටියාය. එහිම දිගුවක් ලෙසිනි ඈ කොරෝනා සමයේ නිවෙස්වල සිරවී සිටින දූ පුතුන්ට සන්නිවේදන වැඩමුළුව සංවිධානය කරන්නී. ජූලි 9 දා සිට ඇරැඹීමට නියමිතව තිබූ දේශන මාලාවේ ආරම්භක දේශනය මට පැවරී තිබුණු අතර ඉදිරි සිකුරාදාවන් සඳහා මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් නිර්මාණාත්මක සන්නිවේදනයේ වැදගත්කම, මහාචාර්ය සේන නානායක්කාර විසින් ගුවන් විදුලි මාධ්‍ය නිර්මාණය, සාහිත්‍යවේදී චම්මින්ද වෙලගෙදර විසින් මුද්‍රිත මාධ්‍ය හා නිර්මාණශීලීත්වය යන මාතෘකා ඔස්සේ දේශන පවැත්වීමට නියමිතය. මගේ සොයුරාගේ අවසන් කටයුතු නිමා වීමෙන් පසු නි‍ෙවසට පමිණි විගස, මගේ පෝස්ටුව එල්ලීමටත් පෙර සුනිතා ඩුබායි සිට මා අමතන්නීය. "අනේ සර් මම දැන් දැනගත්තෙ සර්ට කරදරයක් වෙලා කියල, අපි අද වැඩේ කල් දාමු සර්.. ප්‍රශ්නයක් නෑ සර් සර්ට අද මේක කරන්න අමාරුයි නේ.." මට කේන්ති ගිය ද ඒ බව ඇයට නොදැනෙන සේ තරමක කෝප වූ විලාසයකින් ඇයට පිළිතුරු දුන්නෙමි.

''මේක කොහොමටවත් කල් දාන්නෙ නෑ, මම නේ කතා කරන්නෙ, ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉස් ඉස්සෙල්ලම මේක පටන් ගත්ත දවසෙ කල් දාන්න ඕන නෑ, මට මගේ මල්ලි නැති දුක තියෙනව, ඒත් ඒ නිසා මේ වගේ පටන් ගන්න හිටපු වැඩක් නතර කරන්න මම කැමති නෑ, ඊයෙ හවස ඔයා මතක් කරනකොටත් මල්ලි නැතිවෙලා, ඒත් මම ඒ ගැන කිව්වෙ නෑ, මට එකම ප්‍රශ්නෙ තිබුණෙ ආදාහනාගාරෙ වෙලාව, අද හයට වුණා නම් මම කියනව වෙන දවසක කරමු කියල. ඒත් දැන් ඒ වැඩ ඔක්කොම ඉවරයි.

මම ඔයාගෙ ලෙක්චර් එකට ආවෙ නෑ කියල මල්ලි ආපහු මට ලැබෙන්නෙ නෑ නේ, ඒ නිසා අපි 7ට පටන් ගනිමු, ළමයි 100ක් 200ක් බලාගෙන ඉන්නවනේ." සුනීතා ඉන් පසු මට බැගෑපත් නොවූවාය. මම පෙර සුදානම් වූ ලෙසම පොඩි මල්ලී පිළිබඳ සිත උපන් ශෝකය මඳකට අමතක කොට රාත්‍රී 7ට දේශනයට සැරසුණෙමි.

පැය එකහමාරකට පමණ නියමිතව තිබූ දේශනය රාත්‍රී 9 පසු වන තෙක්ම සාර්ථකව සහභාගී වූවන්ගේ කතා බහ ප්‍රශ්න කිරීම් සාකච්ඡා සහිතව නිමා වූයේ කරදරකාර සොඳුරු ගුරුතුමියගේ පිං පොතෙහි තවත් අලුත් පිටුවකට මුල පුරමිනි. ඉන් මොහොතකට පසු සහභාගී වූ දරුවන්ගේ තෘප්තිමත් ප්‍රතික්‍රියා තුළ මා දුටුවේ ඔවුන් කෙතරම් ඕනෑ කමකින් ඒ රාත්‍රිය උදාවන තෙක් බලා සිටියාද යන්නය. කුමන හෝ හේතුවකින් මෙම දේශනයට මා සහභාගී නොවුණා නම් ඊට සූදානම්ව සිටි දූ පුතුන්ගේ මෙන්ම ගුරුතුමියගේ ද අපේක්ෂා භංගත්වය මට සිතා ගැනීමට හැකිය. ජීවිතය යනු පෙර සැලසුමකින් සියලු දේ සිදුවන චක්‍රයක් නොවේ. හමුවීම්, වෙන්වීම්, දුක, ශෝකය, සතුට අනපේක්ෂිත කොරෝනා වැනි වසංගත වුවදුරු සියල්ලට මුහුණ දෙන්නට තරම් ආත්ම ශක්තියක් අප තුළ නොවේ නම් ජීවත්වීම අතිශය දුෂ්කර ව්‍යායාමයක් වීම වැළැක්විය නොහේ. සුනීතා මෙරගල්ගේ වැනි කරදරකාරී සොඳුරු ගුරුවරියන් ලද දූ පුත්තු නිවුණෝම ය.

 

බුද්ධදාස ගලප්පත්ති

නව අදහස දක්වන්න