සසල ඇසළ | දිනමිණ

සසල ඇසළ

 

ඇසළ සුළඟ කොතෙක් ප්‍රචණ්ඩ වී ද කියතොත් ඇසළ මල් පවා බිම හෙළයි. හරිත පැහැ තණ පලස මත කහම කහ පැහැයෙන් බබළන ඇසළ මල් නෙත පිනවයි. එහෙත් අතු අග මිස පොළෝ මත මල ළය රිදවයි.

සුදු වලාකුළ වර්ණ ගන්වමින් බැස යන හිරු, අවරදිග අහසේ අඳින සිතුවම අත්‍යලංකාරය. සිරි මැදුරම සිපිරි ගෙයක් බවට පත් කරගත් මිනිසා පිටතට නොඑන තරමට පරිසරය පැහැබරව, රූමත්ව, ඔපවත්ව දිලෙන බව නම් දැකිය හැකිය.

ලෝකයෙන් ඇබින්දක් මිස තමා මුළු මහත් ලෝකයම නොවන බව වටහා ගන්නට අපොහොසත් වූ මිනිසාට මේ දරුණු වසංගතය කදිම පාඩමකි. එහෙත් මානව ඉතිහාසය නම් කියන්නේ මේ ලද්ද එම අනුවණ හා අධිපති මානසිකත්වයෙන් හෙඹි මිනිසා වසංගත හා සංග්‍රාම ආදියෙන් පාඩම් නූගන්නා බවයි.

ඇළ දියේ පාව එන ලී දඬු, රොඩු බොඩු සහ නොයෙකුත් දවටන වෙනුවෙන් වෙහෙසෙමින් මම තවමත් නොනිමි කොරෝනා වුවදුර පිළිබඳ දිගින් දිගටම කල්පනා කළෙමි.

ඇළ දෙපස රූස්ස ගස් දියට හෙළන අතු ඉති ඇළ ඉවුරේ තැන්පත් කරන්නට මම පුරුදුව සිටිමි. වියළී, දිරා යන අත්තක් ඉත්තක් ගසින් වෙන් වීම අරුමයක් නොවේ. එහෙත් හිස ගල්වා ඉවත ලන ෂැම්පෝ පැකට්ටුව, හිස් බෝතලය හා සබන් දවටන ආදිය දියට එක් කරන්නෝ නම් අත්‍යන්තයෙන් ම දෝෂ දර්ශනයට ලක් විය යුතුමය.

කෙත් වතු තෙමා කවියාව වැවට ගලා යන ඇළ දිය මනුස්ස අපේ කුණු කිලිටින් මිසක අප පාවිච්චි කොට ඉවත ලන රොඬු බොඩු ආදියෙන් අපවිත්‍ර කිරීම කොතරම් වැරදිද.. එක් දවටනයක් දියට හෙළීමේ මහ ලොකු වරදක් නැතැයි අයකු සිතන්නට ඉඩ තිබේ. එහෙත් එකක් බැගින් දස දෙනකු එසේ ඉවත ලන්නේ නම් දහයක් නොවැ! පොළොවේ පවසද අපේ දාහය ද නිවා දමන ඇළට අප කෘතවේදී විය යුතු නැද්ද?

‘ටොෆි කොළයක්වත් බිම දාන්න එපා පුතේ’ යි මා මන්තරයක් මෙන් මතුරන බව කියමින් මගේ කොල්ලෝ මට සරදම් කොට හිනැහෙති. එහෙත් සිය මව සමඟ වැඩි වේලාවක් ගැවසෙන දරුවාට එවන් මන්තර ඉතා ඵලදායි අන්දමින් බල නොපාන්නේ ද? ඒවා සැබෑවටම අණ විණ පමුණුවාලන නපුරු මන්තර නොවේ. සැමට ද පසට ද සෙත සාදන සුමධුර මන්තරයකි.

ඇළේ ගත කරන කාලය මුළුල්ලෙහි එකතු කරන ලද දවටන සබන් බාල්දියේ ලා ගෙවත්තේ කුණු වළට දමන්නට මා පුරුදුව සිටින්නේ මගේ ම කොල්ලන්ගේ හාස්‍යයට හා අවඥාවට ද ලක් වෙමිනි.

‘‘නාන්ඩ යද්දී ගෙනි යන්නේ සබන් විතරයි. නාලා එද්දී සබන් කොළයි හිස් ෂැම්පෝ පැකටුයි.. හිස් කසිප්පු පැකට්ටුයි නැති ජරාවක් නෑනේ අප්පා“ යි ඔවුහු ආඩපාලි කියති.

‘‘ඇළයි පොළොවයි කුණු බාල්දි කියලා අපේ අය නොහිතන තාක් මට මේ වැඩේ කරන්න වෙනවා“යි මම වාද කරමි.

“අම්මා විතරක් ඕක කළාම හරියනව ද? අම්මට ඕන ලෝකෙම බේරා ගන්ඩ... පිස්සුවක්නෙ අම්මා ඕක..“ යි මගේ දෙවැන්නා තැත් කරන්නේ ආදර දබරයකට මුල පුරන්නට බව මම දනිමි.

‘‘හරි ඉතින්.. තනියෙන් බෑ තමා. එක එක්කෙනා.. එකතු වෙයිනෙ. වතුර බින්දුවෙන් බින්දුව එකතු වෙලානෙ මහා සාගරයක් වුණත් නිර්මාණය වන්නේ...“

මගේ මතකාවර්පනය බිඳ දැමූ වේ තටු සලන හඬකි. හැරී බැලූ මා දුටුවේ ඇළ ඉවුර මත පහත් වූ විශාල පක්ෂියෙකි. සැණින් මැඩියකු සිය තියුණු නිය පහරින් ඔසවා ගත් මාංස භක්ෂක පක්ෂියා මාරා ගස කරා ඉගිළ ගියේ ය. ඒ අනෙකකු නොව උකුස්සෙකු බව හැඳින ගතිමි.

ජීවිතය හා මරණය ද දඩයක්කාරයා සහ ගොදුර ද එක් සැනින් දැක බලා ගතිමි. ත්‍රාසය භීතිය නොමැතිව ගැබ්වුණු දඩයමක්...

ඇළ ඉවුරේ සිහිලස සෙවූ අහිංසකයා පිළිබඳව ළත වන්නට පවා මට අමතකව ගියේ ය. උකුස්සාගේ තේජාන්විත අලංකාරයෙන් වසඟව ගිය බැවිනි. මේ වූ කලී සොබාදහමේ රීතියයි. මනු නීතියට වඩා එය අගනේදැයි මම කල්පනා කළෙමි.

 

ශාන්ති දිසානායක

 

නව අදහස දක්වන්න