දුඹුරු ගැහැනු ළමයින්ගේ රට රස්සාව | දිනමිණ

දුඹුරු ගැහැනු ළමයින්ගේ රට රස්සාව

දෙදාස් දහනමයෙ අවුරුද්දෙ කල එළි බැහැපු චිත්‍රපටයක් බොහොම මෑතකදි මගේ ඇහැ ගැහෙනවා. චිත්‍රපටයෙ විස්තරේ කියවනකොටම, දැක්ක ගමන් ඇතිවෙන ආලවන්තකමක් වගේ හිත ඇදිච්ච හන්දා කොහොම හරි වෙලාව හොයාගෙන බලන්න ඕනැ කියලා තීරණය කරනවා. චිත්‍රපටිය බලනකොට දැක්ක ගමන් හිත බඳු‍ෙණ් මගේ කතාවෙන් කොටසකුත් චිත්‍රපටය ඇතුළේ තියෙන හන්දා වෙන්න ඇතිය කියලා හිතෙනවා.

Late Night කියන චිත්‍රපටයෙ හැටියට දකුණු ආසියානු සම්භවයක් තියෙන ගැහැණු ළමයෙක් වෙච්චි මොලී පටෙල් රසායනික කර්මාන්ත ශාලාවක රස්සාව කරනවා. එක දවසක් කර්මාන්ත ශාලාවෙ දැන්වීම් පුවරුවෙ තියෙන දැන්වීමක් දැකලා එයාගෙ හදවත සාමාන්‍ය වේගෙට වැඩිය හයියෙන් ගැහෙන්න පටන් ගන්නවා. එයා කැමතිම මාධ්‍යවේදිනියක් වෙච්ච කැතරීන් නිව්බෙරි (Katherine Newbury) කියන මාධ්යවේදිනියගේ කන්තෝරුවේ පුරප්පාඩු තියෙනවාය ඒකට බඳවා ගන්න කෙනෙක් හොයනවාය කියලා ඒ දැන්වීමේ තියෙනවා. ප්‍රශ්නෙකට තියෙන්නෙ මොලීට මාධ්‍යලෝකේ කිසිම අත්දැකීමක් නැතිකම. හරිම අමාරු පාරකින් සම්මුඛ පරීක්ෂණේට යන්න ක්‍රමයක් හොයාගන්න මොලී පටෙල්ට ලොතරැයියක් ඇදුණා වගේ රස්සාව ලැබෙනවා. ඒ එයාගේ දක්ෂකමක් හින්දා නෙමෙයි. කැතරීන් කියන මාධ්‍යවේදිනිය එයා ගාව වැඩ කරන්නෙ පිරිමි උදවිය විතරක් වෙච්චි හින්දා එල්ලවෙන සමාජ අපවාදයෙන් බේරෙන්න ගැහැනු ළමයෙක් රස්සාවට හොය හොයා හිටපු කාලයක් හින්දා. සුදු පිරිමි උදවිය විතරක් වැඩකරන කන්තෝරුවක දුඹුරු හමක් තියෙන ගෑනු ළමයෙක් රස්සාව පටන් ගන්නවා.

ඊට පස්සෙ මොලී පටෙල්ගේ ජීවිතේ හරිම ලස්සන වෙනව ද? එහෙම වෙන්නෙ නෑ. රසායනික කර්මාන්ත ශාලාවෙදී නොතිබිච්ච දහස් ගානක් අභියෝග මොලීගෙ ජීවිතේ වටකරගෙන රූස්ස ගස් වගේ උස යන්න පටන් ගන්නවා. චිත්‍රපටයෙ තියෙන්නෙ මොලී ඒ අභියෝගවලට කොන්ද කෙළින් තියාගෙන මූණ දී, කඩු කිනිසි වගේ වචන හරඹ කරලා අලුත් රස්සාව වගේම එයාගෙ ජීවිතෙත් දිනන විදිහ ගැන.

ඒ චිත්‍රපටය ඔස්ට්‍රේලියාවෙ නෙට්ෆ්ලික්ස් මාධ්‍ය ජාලය ඔස්සේ වැඩිපුරම පිරිසක් නරඹපු චත්‍රපටි දහය අතරට එකතුවෙලා තියෙනවා. ඒ කියන්නෙ ඔස්ට්‍රේලියාවෙ මිනිස්සුන්ගෙ හිත්වලට චිත්‍රපටිය දැනිලා තියෙනවා. ඔස්ට්‍රේලියාවෙ මිනිස්සු මොලී ගෙවන ජීවිතේ මහපොළොව උඩ අත් දැකලා තියෙනවා.

ටිකක් විතර හිනා රසය මුසු වෙච්චි චිත්‍රපටයක් හන්දා මොලීගෙ ජීවිතේ ගලාගෙන යන පාරෙ හම්බවෙන ගල්වැටි, ගල් මුල් ප්‍රහාර වලට ප්‍රේක්ෂකයො හැටියට අපිට හිනා යනවා. එහෙම හිනා ගියපු වෙලාවක මං ටිකක් නැවතිල්ලෙ හිතනවා. දකුණු ආසියාවෙන් රට ඇවිත් කන්තෝරු රස්සාවකට ගියපු දකුණු ආසියාතික ගැහැනු ළමයෙක් වෙච්චි මං ආපු පාර ගැන මට හිනා යනවද කියලා. චිත්‍රපටි ජවනිකා වලට හිනා පිරෙන මුහුණු වලම ඇත්ත ජීවිත ප්‍රශ්න වලදි කදුළු ඉපදෙනවා.

මං ඔස්ට්‍රේලියාවට ආවෙ මීට අවුරුදු හයකට කලින් දෙදාස් පහළොව අවුරුද්දෙ අහභාගෙ. රටට ආපු ගමන් ලංකාවෙ කරපු කන්තෝරු රස්සාව මේ රටේදි ලැබුණේ නෑ. උපදේශ බොහොමයක් ලැබුණා. ඒවයේ වැඩි හරියක් තිබුණෙ අපිට ඕස්ට්‍රේලියාවෙ කන්තෝරු රස්සා හොයන්න අමාරුය, ඉස්සෙල්ලා පිරිසුදු කරන රස්සාවක් හරි, බබාලා බලන රස්සාවක් හරි හොයාගන්නය වගේ උපදේශ. එහෙම රස්සාවකට යන්නෙ නෑය, මම කරපු රස්සාවම හොයාගන්නවාය කියන ස්තිර අධිෂ්ඨානෙ හන්දා මාස හතර පහකට පස්සෙ ලංකාවෙ කරපු කන්තෝරු රස්සාවම හොයාගන්න පුළුවන් වෙනවා. ඒකට මොලී පටෙල්ට වගේ "ලේසියෙන් අත අරින්නෙ නැති" මානසික ශක්තියක් වුවමනා වෙනවා.

මං දන්න කියන දකුණු ආසියාතික ගෑණු ළමයෙක් ඔස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු හතරකට පස්සෙ එයාගෙ පළවැනි කන්තෝරු රස්සාව හොයාගන්නවා. හීන අත අරින්නේ නැති මිනිස්සුන්ට අවුරුදු ගානකට පස්සෙ හරි හීන හැබෑ වෙනවා.

මොලීගෙ කන්තෝරුවේ සුදු උදවිය ඕනෑවට වැඩිය උජාරුවට රස්සාවට ඇඳුම් අදිනවාය කියලා මොලීට හිනා වෙනවා. එයා ඇත්තටම ටිකක් වැඩිපුර හැඩට අදිනවා. තමන්ට තියෙන රස්සාවට නෙමෙයි තමන් යන්න කැමති රස්සාවට අනුව ඇඳුම් අදින්නය කියලා කොහේ හරි කියවලා තියෙන හන්දදෝ මන්දා මොලී ටිකක් වැඩියෙන් විච්චූරණ කරනවා. ආසියාතික අපි මේ රටවල්වලට පෑහෙන්න හදද්දී අපි අතින් වැරදි වෙනවා. සමහර වෙලාවට ඉංග්‍රීසි නම් වැරදියට කියවෙනවා. ඒක මම දන්න කියන කීප දෙනකුටම වෙනවා මං දැකලා තියෙනවා. එහෙම වෙලාවට සුදු උදවිය හිනා නොවී ඉන්නෙ නෑ. එළිපිට නොවුණත් එයාලා හොරාට හිනා වෙනවා. රට රස්සාව පටන් ගත්ත අලුත "එයානෙ දැන් හොඳටම කරන්නෙ" කියලා කියන ඉංග්‍රීසි ඇනුම්පද ඇහුණ නෑහුණ ගානට හිටපු දවස් මටත් තියෙනවා. මොලී වගේ රටට අලුත් උදවිය රටට ගැළපෙන්න ඉන්න හදද්දි හම සුදුපාට හැමෝම අත දෙන්නේ නෑ.

ආසියාතික ගෑනු උදවිය යටහත් පහත් කියන දේ ඒ විදිහටම කරගෙන ඉන්න මනුස්ස කොට්ටාසයක්ය කියලා සුදු උදවිය දන්නවා. ඒ හන්දා ආසියාතික ගැහැනු කෙනෙක් පමණට වැඩිය එඩිතර වෙලා තමන්ගෙ අදහස් රස්සාවෙ ලොකු පුටු වලට ඉදිරිපත් කරන්න ගියොත් කන්තෝරුවෙ ඉන්න ඩෙස් පුටු තරම් පරණ සේවකයින්ට හුඟක් වෙලාවට රිදෙනවා. රිදුණු හිත් හංගාන ඉන්නෙ නැතුව එයාලා ඒක වෙනස් වචනවලින් ඒත් එළිපිටම කියනවා.

මොලී වගේම තමන්ගෙ අදහස් බය නැතුව ඉදිරිපත් කරපු දකුණු ආසියානු සම්භවයක් තියෙන ගැහැනු උදවිය යටපත් කරන්න වෙරදරන සුදු මිනිස්සු මේ අවුරුදු හයට මං හුඟාක් දැකලා තියෙනවා.

හැම රස්සාවකම වගේම රට රස්සාවකත් පඩි පේලි තියෙනවා. ඒ පඩි පේලි වල කන්තෝරුවෙ කළමනාකාර පුටුවෙන් උඩට ගියපු සංක්‍රමණික, දකුණු ආසියාතික ගැහැනු උදවිය බොහොම අඩුයි.

ළඟදි මම හිටපු කන්තෝරුවක කළමනාකාර රස්සාව කරපු දුඹුරුපාට හමක් තියෙන, හයිය හිතක් තියෙන, දක්ෂ ගෑනු ළමයෙක්ගේ රස්සාව අහිමි වුණා. හේතුව විදිහට කියුවෙ "මේ දවස් වල වැඩ නෑ" කියලයි. ඒත් ඒ රස්සාවම කරපු සුදු උදවියට වැඩ තිබුණා. රස්සාව අහිමි වෙච්ච ගෑණු ළමයා හිතින් වැටුණෙ නෑ."තව රස්සාවල් ඕන තරම් තියෙන්නෙ" කියලා එයා අලුතෙන් රස්සාවල් හොයන්න පටන් ගන්නවා. නියමිත ගෞරවය ලැබෙන එයාට ගැළපෙන පන්නෙ රස්සාවක් ළඟදිම ලැබෙයි. මට එහෙම හිතෙනවා.

මොලීටත් චිත්‍රපටිය ඇතුළෙදි රස්සාව අහිමි වෙනවා. ඒත් තමන්ගෙ ප්‍රධානියා වෙච්, මොලීගෙ සිහින තරුව වෙච්චි කැතරීන් නිව්බෙරි, මොලී ජීවත්වෙච්ච තට්ටු නිවාසෙ උඩම තට්ටුවට පයින්ම නැඟලා ආපහු මොලීට රස්සාවට එන්න කියනවා. මොලී රස්සාවට දීලා තියෙන දායකත්වය එච්චර වටිනවා.

දුඹුරු ගෑනු ළමයින්ට සුදු රටවල රස්සාවල්වලින් ලැබෙන සැලකිලි එච්චර සුදුපාට නෑ.

ඒත් දුඹුරු පාට ගෑනු ළමයි දක්ෂයි. ඒ හන්දා එයාලා අවර්ණ රස්සාවල පාට පාට තවරනවා. යන්න ගියත් තමන්ගේ පාද සටහන් කන්තෝරුව ඇතුළෙ හැමදාටම ඉතුරු කරලා යනවා.

 

දසුනි හෙට්ටිආරච්චි

 

නව අදහස දක්වන්න