රස මසවුළු මැද සිර ගත කළ ජීවිත The platform | දිනමිණ

රස මසවුළු මැද සිර ගත කළ ජීවිත The platform

 

මේ වන විට මුළු ලෝකයේම සිටින බොහෝ දෙනා ඉන්නේ සිරකුටියකය. රෝගකාරකයන් විසින් උස් පහත් භේදයකින්, ඇති නැති භේදයකින් තොරව බොහෝ දෙනා නිවෙස්වලට සිරකරන ලද කාලය අවුරුද්දකට වැඩිය. එක් එක් තැන්වල විවිධ මට්ටමෙන් නිදහස ලැබුණ ද සමස්තයක් වශයෙන් ගත් කල මුළු ලෝකය පුරාම අප සිටින්නේ සිර කඳවුරකයැයි සිතීමට අමුතුවෙන් උත්සාහ කළ යුතු නොවේ.

2019 වසරේ Galder Gaztelu-Urrutia නමැති ස්පාඤ්ඤ ජාතික තරුණ සිනමාකරුවා ඔහුගේ මුල්ම චිත්‍රපටය The Platform නිර්මාණය කරන සමය වන විට තවත් වසරකට පසු ලොව පුරා මිනිසුන්ට මෙසේ මවා ගත් සිරකුටියක ජීවත් වන්නට සිදු වෙතැයි ටිකක්ට වත් කල්පනා කරන්නට නැත. සියලු සැප සම්පත්, ඇති නැති පරතරය හෝ වෙනත් මායිම් ඔස්සේ දෘෂ්‍යමාන සිර කඳවුරක් ඉදිවනු ඇතැයි අප කිසිවෙක් හෝ විශ්වාස කළේ ද නැත. මේ විශ්වාසය කෙතරම් ද යත් 2021 අවුරුද්දේ මැද භාගය වන විට කියුබාව වැනි රටවල පවා ආණ්ඩුවල සෙලවීමට ද පසුගිය වසර තුළ සිදුවූ මහා විපර්යාසය හේතුවිය.

සිනමාකරු චිත්‍රපටය ආරම්භ කරන්නේ මෙන්න මෙහෙමය. ඉතා ප්‍රණීත ලෙස, ඉතා විනීත ලෙස ආහාර සකසන තැනකි. නැතහොත් එය වැදගත් කුස්සියෙහි අරක්කැමියා ඉතාම ගෞරවනීය ආකාරයෙන් හා සැලසුම් සහගතවත් පිරිසිදුවත් වැඩ කටයුතු කරනු අපට දක්නට ලැබේ. එහි රස බලන හැන්ද මුව තබන විට ඒ රසයෙන් අප පිනා යනු ඇතැයි අප විශ්වාස කරමු. එහෙත් සිනමා රූපය එහාට මෙහාට යද්දි මේ සුන්දර විදිහට කැපෙන මාළු මත තබන පිහිය අපට දැනෙන්නේ ම්ලේච්ඡත්වයට එළඹෙන පාරක් හැටියටය. හැබැයි එහි රස පිරි අයිසින් තැවරූ කේක් ද තිබේ. එයට අමතරව තවත් විවිධ විවිධ කෑම ජාතිය.

මේවා හොඳින් ඇඳ පැළඳගත් අරක්කැමියන් නිසිලෙස සකස් කරති. සකස් විය හැක්කේ ඉතාම අපූරු රසවත් කෑම වේලක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ හැදෙන ආහාර අපට කටට කෙල උනවනන්ට තරම්ය. එක්තරා උගුලක සිර කුටියක මිනිසුන් පෙළක් සිරගතව ඇති බව අපට දැනෙන්නේ ඉන්පසුවය. ඔවුන්ගේ එක සිරකුටියක සිටින්නේ දෙදනකු පමණි. එය මහල් ගණනාවකින් සමන්විතය.

චිත්‍රපටය ආරම්භ කරන්නේ හතළිස් හත් වැනි මහලෙනි. ඔහු හොඳ චේතනාවකින් යුතු මිනිසෙකි. ඔහු එයට පිවිසෙන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිවය. මේ මහල් සංඛ්‍යාව හතළිස් හතක් ඇයි අපට ඇතුළෙහි අංකය පෙන්වා දුන්නත් ඇත්තටම හතළිස් හතක් ද යන්න අප දන්නේ නැත. එහෙත් එහෙත් ඔවුන් දෙදනකු එහි වාසය කරයි. සෑම මහලක්ම පුද්ගලයන් දෙදෙනකුගෙන් සමන්විත අතර ඔවුන්ගෙන් සමහරු සිරකරුවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. තවත් අය කිසියම් ආකාරයක අධ්‍යයනයක් සඳහා එහි ඇත්දැයි අපට සිතේ. නිල මට්ටමෙන් එන්නේ ආහාර තට්ටුවකි. මේ ආහාර තට්ටුවේ නැති මගුලක් නැත. ඉතාම ප්‍රණීත වූ ආහාර එහි තිබේ

ඔබට කන්නට අවශ්‍ය කුකුල් මස් සහිත ආහාර නම් ඒ ඒමටය. එහි මැද ද අර අයිසිං කේක් ගෙඩියය. නිර්මාංශ ආහාර නම් එහෙම ය. පලතුරු නම් එහෙම ය. මේ ආකාරයෙන් මුළු තට්ටුව පුරාම පිරී ඇත්තේ ආහාරය. තට්ටුවෙන් තට්ටුව මේ ආහාර මේසය නැතහොත් ආහාර පිරි තට්ටුව මහලෙන් මහලට ගමන් කරයි. කාමරයේ වසන්නෝ වහ වහා තම ආහාර ගෙන අනුභව කළ යුතුය. ගත හැක්කේ තමන්ට ඇති පමණ ප්‍රමාණය පමණි. එය ද එක් කාලසීමාවක් පමණි ඉන් පසු එය නැවත ඊළඟ මහලටය. නැවත අපට එය දකින්නට හමුවන්නේ වෙනත් මොහොතකය. එහි වැසියෝ අනෙත් වෙලාවේ කළ යුත්තේ නිදාගැනීමය. පහළට එන විට ලැබෙන්නේ ඉහල මිනිසුන් ඉතිරි කළ ආහාරය.

කෑදරකම හා බිය එහි වෙසෙන මිනිසුන්ගේ සදාචාර සම්පන්න ජීවිතය ඉක්මවා යනු අපට හෙමින් හෙමින් වැටහෙන්නට පටන් ගනී. මිනිස්සු සලාකවල වැදගත්කම චිත්‍රපටය පුරාම ඉස්මතු කරයි. මේ තට්ටුවෙන් තට්ටුවට යන ආහාර වේල් මිනිස්සුන්ගේ සදාචාරය විනාශවන ආකාරය උපායමාර්ග අපට ඉතාම නිර්දය අන්දමින් පෙන්වා දෙයි. ආහාර තට්ටු ගොඩනැගිල්ලේ ඉහළට හා පහළට තල්ලු වන විට බොහෝ බිහිසුණු සිදුවීම්වලට සාක්ෂිකරුවන් බවට පත් වන්නේ එහි සිටින පාත්‍ර කරුවන් නොවේ. එයින් බැහැරව චිත්‍රපටය නරඹන්නා වූ අප ය. මහා කෑමක් කන්නට කුසගින්නක් ලැබිය යුතුය. පහළ මට්ටමේ සිදුවන්නේ කුමක්දැයි ඉහළ මට්ටමේ සිදුවන්නේ කුමක් දැයි අප දන්නේ නැත. ඉහළ මට්ටමට යන්නට උත්සාහ කරන මිනිසකුට මහත් බලාපොරොත්තුවක් ඇත. එය කඹයක් දිගේ යා යුතු ගමනකි. එහෙත් ඉහළ මට්ටමට ඔන්න මෙන්න තිබියදී ඔහුට අත්විඳින්නට සිදුවන්නේ ඉතා තිරශ්චීන සහ පිළිකුල් සහගත අත්දැකීමකට ය. මේ මුළු චිත්‍රපටය පුරාම එකම දර්ශන තලයක තට්ටුවෙන් තට්ටුවට චිත්‍රපටයේ රූපරාමුව බෙදාගන්නේ මෙහි වෙසෙන මිනිස්සුන්ගේ ඉරණම කියාපාන්නටය. ඔවුන්ගෙන් එකිනෙකා, එකිනෙක මහලෙන් මහළට යද්දී ඔවුන් අත් විඳින දේවල් සියල්ලම එකය. හැබැයි ඉතාම කෲර ය. ජීවිතය පිළිබඳ බලාපොරොත්තු මතු කර ගත යුතු නැත.

කලකට ඉහත දී Peter Greenaway විසින් නිර්මාණය කළ කල The Cook, the Thief, His Wife & Her Lover චිත්‍රපටය මෙහිදී මට සිහිපත් වෙයි. එහෙත් මේ අත්දැකීම එතරම් සුන්දර නැත. ඒ සුන්දර නොවන බව දැනෙන්නේ වඩාත්ම මේ 2021 ලොව පුරා අත්දකින බොහෝ දේ ගැන අමුතුවෙන් මෙනෙහි කරන්නට යන විටය.

ඔවුන්ට බලාපොරොත්තුවක් තිබේ. ඔවුන් හැමෝම ඉහළින් ඇති මිනිසුන්ගේ ගෞරවය අපේක්ෂා කරයි. තමන්ගේ කාමරයේ සිටින කෙනෙකුගෙන් විවිධ වර්ගයේ දෑ අපේක්ෂා කරයි. එහෙත් ඒ කිසිවකින් ආහාර හෝ ජීවිතයට ලැබෙන බිය තුරන් වන්නේ නැත. මේ ගොඩනැගිල්ලේ ඉහළට පහලට තල්ලු වී එකිනෙකාට අත්විඳින්නට සිදුවන්නේ ඉතාම නිර්දය සහ ශෝකජනක සහ ත්‍රාසජනක අත්දැකීමකි. මේ චිත්‍රපටය අයත් වනුයේ භීෂණාත්මක චිත්‍රපට ශානරයට වුවත් එහි තිබෙන්නේ දේශපාලන ප්‍රකාශනයකි. කිසියම් චිත්‍රපටයක ඇති රූප රාමුවලට එහායින් එය කියවා ගැනීමට අවශ්‍ය නම් මේ එයට වඩාත් හොඳම මෑත භාගයේ නිර්මාණය වූ ඉතාම අපූරු නිර්මාණයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

චිත්‍රපටය පුරා රිදී හැන්දකින් මුව මත තැබෙන රස මසවුළු කිසිවක් රසමුසු නැත. ඒ පිළිකුල් කර ගත හැක්කේ කෙසේදැයි නැරඹිය යුත්තේ ද මේ චිත්‍රපටය අවසානයේය. චිත්‍රපටය පුරා ආරම්භයේ දකින හැම දේ ගැනම අපට සැක කරවන්නට සිනමාකරු සමත් වෙයි. චිත්‍රපටයේ එන කිසිවකු විශ්වාස නොකළත් මනුෂ්‍යත්වය මේ චිත්‍රපටයෙ වේදිකාව බවට පත් කරන්නට සිනමාකරු සමත් වෙයි. චිත්‍රපටය පුරා බියකරු සිහින යථාර්ථයක් සහ නොපෙනෙන පරිපාලනයක් විසින් සියලු දෙනාව පාලනය කරනු ලබයි. ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන පද්ධතියේ භීෂණය සම්පූර්ණයෙන් කිසිවකු විසින් වටහා ගන්නේ නැත. අවම වශයෙන් මේ චිත්‍රපටය නරඹන අප කිසිවකුත් වටහා ගන්නේ ද නැත. ඒ වේදිකාව යනු ආර්ථික විෂමතා පිළිබඳ සංකේතයකි. ඉතා ඉහළ මට්ටමේ මිනිසුන් විඳින රසමසවුලෙන් තට්ටුවෙන් තට්ටුව පහලට ගලා යන විට කෙමෙන් කෙමෙන් අඩු වෙයි. සමහරවිට අපට දකින්නට සිදුවන්නේ එකිනෙකා විසින් ඉවත් කරන ලද ඉඳුල් පමණකි. මේ අසමාන ආකාරයෙන් බෙදී යන සම්පත් පිළිබඳව සිනමාකරු අපට කියන්නේ එහෙමය. චිත්‍රපටය අවසාන කරන්නේ මේ රූපරාමු පිළිබඳ නැවත නැවතත් හිතන්නට ඉඩ තබමිනි. මිනීමැරීම, මිනී මැරීමට උත්සාහ කිරීම අර්ධ වශයෙන් අනුභව කරන ලද එහි ඇති පණ ඇති සතුන් ද චිත්‍රපටය නිර්මාණය කරන ලද ආකෘතිය සිහිපත් කරයි. මේ තරුණ සිනමාකරුවන් වර්තමානයේ අත්විඳින සමාජ යථාර්ථය පිළිබඳ නැවත කියන්නට උත්සාහ දරයි. The platform මේ වකවානුවේ නරඹන ඔබට හිසරදයක් විය හැකිය. නමුත් කවදා හෝ දවසක නිවිසැනසිල්ලේ නරඹා යථාර්ථය වටහා ගන්නට හැකිය. එහෙත් එය වඩාත් දැනෙන්නේ නම් මෙබඳු සමයකය.

 

අරුණ ගුණරත්න

 

නව අදහස දක්වන්න