මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියේ නාකොටික් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ් | දිනමිණ

මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියේ නාකොටික් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

සිරන්ජනි කුමාරි

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා පෙරේදා (19) නියෝග කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිල්මිණි මාවත ,බටුවත්ත , රාගම පදිංචි පොලිස් පරිෂක විමලසේනගේ ලයනල් , නාගොඩ කළුතර පදිංචි උප පොලිස් පරීක්ෂක සික්කුවා වසම් ගයාන් තරංග ප්‍රේමරත්න , මාලබේ පදිංචි පොලිස් සැරයන් මුතුබන්දාගේ චමින්ද ලක්ෂ්මන් ජයතිලක , කෑගල්ල පදිංචි පොලිස් සැරයන් ජයසිංහගේ සමන් කුමාර , පාදුක්ක පදිංචි පොලිස් සැරයන් වතුකාරගේ විමල ප්‍රසාද් , දිවුලපිටිය පදිංචි පොලිස් කොස්තාපල් විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රියංකර ජයසේන , පන්නිපිටිය පදිංචි පොලිස් කොස්තාපල් බටුවත්තගේ රුවන් පුෂ්ප කුමාර, බින්ගිරිය පදිංචි පොලිස් කොස්තාපල් රතුගමගේ අසංක ඉන්ද්‍රජිත් , තිරප්පනේ පදිංචි පොලිස් කොස්තාපල් චිත්‍රා අචරිගේ ලක්ෂාන් සමීර වන්නිආරච්චි , ගැටලාව පදිංචි පොලිස් කොස්තාපල් හේරත් මුදියන්සේලාගේ ලලිත් ජයවර්ධන , ගන්තුන පදිංචි උප පොලිස් පරීක්ෂක දහනක රාලලාගේ අතුල ජයන්ත බණ්ඩාර , පොලිස් කොස්තාපල් සුභසිංහ ආරච්චිලාගේ දිනේෂ් නිර්මල යන සැකකරුවන් ඇතුළු පිරිසක් මෙලෙස අධිකරණය මගින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතරින් දහනම දෙනෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බවත් විශේෂ කාර්ය බලකායේ එක අයෙක් ඒ අතර සිටින අතර ඉතිරි සියල්ල සිවිල් වැසියන් වන බවත් පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පැවසිය.

මේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් දෙනා අතරින් දෙදෙනෙකු මේ වන විටත් රැදවුම් නියෝග මත සිටින බවත් ඉතිරි සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් වරයා අධිකරණය හමුවේ පැවසිය.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 30 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් නියෝග කළේය.

පොලිස් මත්ද්‍රවය නාශක කාර්යංශයට අනියුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි යුධ රැස් කිරීම මනුෂ්‍ය ඝාතනයන් කිරීමට ආධාර අනුබල දීම සැලසුම් කිරීම කුමන්ත්‍රණය කිරීම හා සහාසික ක්‍රියා සිදු කරමින් මහජන සමයට උපද්‍රව කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි.

නව අදහස දක්වන්න