අකුරැස්ස ප්‍රා/ සභාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලුමට විරෝධතා දෙන්න නීතිපතිට කල් දෙයි | දිනමිණ

අකුරැස්ස ප්‍රා/ සභාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලුමට විරෝධතා දෙන්න නීතිපතිට කල් දෙයි

නෙල්කා මැදගෙදර

බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට එල්ල වූ චෝදනාවට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩසහිත වසර 15ක සිරදඩුවම් ලැබ සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තා ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයාට අභියාචනාධිකරණය ඊයේ ( 20) කල් ලබා දී තිබේ.

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙළ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා විරෝධතා ගොනු කිරීමට කල් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

ඒ සඳහා කල් ලබා දුන් අධිකරණය පෙත්සම අගෝස්තු මස 23වැනිදා කැඳවීමට තීරණය කර තිබේ.

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කෙරිණි.

නව අදහස දක්වන්න