මහේන්ද්‍රන්-පුංචිහේවා නොමැතිව නඩුව විභාග කිරීමට අවසර | දිනමිණ

මහේන්ද්‍රන්-පුංචිහේවා නොමැතිව නඩුව විභාග කිරීමට අවසර

රෝෂන් තුෂාර

දෙවන මහබැංකු බැඳුම්කර මගඩිය

යහපාලන රජය සමයේ කළ දෙවන මහබැංකු බැඳුම්කර වෙන්දේසියට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පචුවල් අධ්‍යක්ෂ ගාර්දිය පුංචිහේවා විත්තිකරුවන් නොමැතිව විභාග කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ(20) අවසර ලබා දුන්නේය.

රජයට රුපියල් බිලියන තිස් හයකට අධික පාඩුවක් සිදු කිරීම, රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා යටතේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත, මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉසර්ඩීන් මහත්වරුන් මෙම අවසරය ලබා දුන්නේය. විත්තිකරුවන් සිංගප්පුරුවට හා මැලේසියාවට ගොස් ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ සාක්ෂි පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අවසරය දී ඇත.

2016 මාර් තු 29 දින කළ දෙවන මහබැංකු බැදුම්කර වෙන්දේසියෙන් රජයට රුපියල් බිලියන 36.98ක පාඩුවක් කරමින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය හා පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සිදුකිරීම යන චෝදනා 32ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු 26 දින කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න