ගෝඨා දැක්ම හා අනාගතය | දිනමිණ

ගෝඨා දැක්ම හා අනාගතය

නායකයකුගේ භූමිකාව ජනතාවගේ සිතැඟි පරිදි සැකසෙන්නේ නැත. නායකයා අනාගතය දෙස බලන අතර පාලිතයන් හෙවත් ජනතාව මේ මොහොත ගැන කල්පනා කරති. ඒ අනුව සැබෑ නායකයකුගේ ජනප්‍රියත්වය පිළිබඳ රේඛාව වරින්වර ඉහළපහළ යයි. ඇතැම්විට ඡේදනය වෙයි. ලෝක ඉතිහාසය පුරා ශක්තිමත් නායකයන්ගේ භූමිකාව දෙස බලන විට මේ සත්‍යය හොඳින් වටහා ගත හැකිය. වී.අයි. ලෙනින් තම දේශපාලන ව්‍යාපාරයට දර කපන්නකු එකතුකර ගැනීම සඳහා සති ගණනක් වනාන්තරය තුළ කරක් ගැසුවේය. දුටුගැමුණු කුමාරයා රට බේරා ගැනීමේ සටන සංවිධාන කරන අතර මිත්තණියකගේ විවේචනයට හසු විය. කෙසේ වුව එක් දෙයක් නිශ්චිත වෙයි. එනම්, සැබෑ නායකයා තම සැලසුම්, ප්‍රතිපත්ති හා වැඩසටහන් වෙනස් නොකොට ඒවා ජයග්‍රහණයේ ස්ථම්භය කරා මෙහෙයැ වන බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ ර‍ෙට් නායකත්වයට පත් වන්නේ කිසිවකු නොසිතූ තරම් පොදු ජන අනුමැතියක් ගනිමින්ය. මෑත කාලයේ ශ්‍රී ලාංකික නායකයකුට ගත නොහැකි වූ ඡන්ද තොගයක් ඔහු වෙත ලැබී තිබිණි. එය දේශපාලන ඉතිහාසයේ වාර්තාගත ජයග්‍රහණයකි. එහෙත් රාජ්‍ය පාලනයේ දී ඔහු විවේචනයට ලක්වෙයි. මහජන කැලඹීම් ඇතිවෙයි. වැඩ වර්ජන සිදුවෙයි. කලාතුරෙකින් වුව මහජනයා අපහසුවට පත්වන අවස්ථා ද නිර්මාණය වෙයි. විපක්ෂය බොහෝ විට උපකල්පනය කරන්නේ මේ වනාහී ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් ඇද වැටීම කියාය. එහෙත් දේශපාලන යථාර්ථය එය නොවේ. මේ මහජන චලන තාවකාලිකය. නායකයාගේ වැඩසටහන්වල ප්‍රතිඵල සමාජගත වෙත්ම මහජන චලන සුබවාදී අතට පෙරැළෙයි.

ඉහත සඳහන් දේශපාලන පූර්විකාව ලියා තබන්නේ රටේ අනාගත ‍දේශපාලනය පිළිබඳ ඉඟියක් පළ කිරීම සඳහාය. ගෝඨාභය රාජපක්ෂ නැවත ජනාධිපති තරගයක් සඳහා ඉල්ලුම් කරන්නේ නැති බවට ද, එයින්ම රාජපක්ෂ පවුලේ දේශපාලන වෘත්තාන්තය නිමාවක් දකින බවට ද මතයක් විපක්ෂය විසින් සමාජගත කර තිබේ. එම මතය සනාථ කිරීමට අදාළ මෙහෙයුමක් සමාජ මාධ්‍ය තුළ පවතී. එම මතයෙන් ඉස්මතු කර දක්වන්නේ තවත් වසර තුනකින් ජනාධිපතිවරයාගේ දේශපාලනය අවසන් බවය. මේ තත්ත්වය දෙස මධ්‍යස්ථ ඇසකින් බලන කෙනෙක් දුකට පත්වෙති. හේතුව ජනාධිපතිවරයා ආරම්භ කළ සාධනීය වැඩසටහන් ඒවායෙහි හොඳම කාලය වන විට කඩාකප්පල් විය හැකි බැවිනි. තවම මේ රටේ මධ්‍යස්ථ බුද්ධිමත්හු ජනාධිපතිවරයාගේ දැක්ම හා ප්‍රතිපත්ති අගය කරති.

තත්ත්වය මෙසේ තිබිය දී රටේ සංවර්ධනයට අදාළ වැදගත් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී රටේ ආර්ථිකය, නව සංවර්ධනය, ආදායම් ඉපැයීමේ නව ආර්ථික උපාය මාර්ග ගැන සංවාදයක් සිදුවී ඇති අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද තමන් තරග වදින බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉඟියක් පළකර තිබේ. එය එකිනෙක පුද්ගලයන් විවිධාකාරයෙන් විශ්ලේෂණය කොට කරුණු දක්වන්නට පුළුවන. කුමක් වුව දේශප්‍රේමිත්වය හා අපේ උරුමය ගැන ගැඹුරින් සිතන මතන රටේ බහුතරය ඉහත අදහස අනුමත කොට ඒ සමඟ බද්ධ වනු ඇත. රටේ අනාගතය ගැන හැඟීමක් ඇති කෙනකුට ජනාධිපතිවරයාගේ වැඩසටහන් ඉවත දැමීමේ හැකියාවක් නැත. මන්දයත්, අනාගත අභිවෘද්ධිය එම වැඩසටහන්වල ලියැවී ඇති බැවිනි.

ඇස්පනාපිට ඇති සරල නිදසුන් දෙකක් දැක්වීමට කැමැත්තෙමු. එක, එන්නත්කරණ වැඩසටහනය. දෙක, කාබනික වගාව පිළිබඳ වැඩසටහනය. කොවිඩ් වසංගතයට එරෙහි ලොව වේගවත්ම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ බව ජාත්‍යන්තර ආයතන කිහිපයක්ම පෙන්වා දී ඇත. එම වාර්තාවලට අනුව චීනය පවා පසුවන්නේ ශ්‍රී ලංකාවට පසුපසින්ය. කිසිදු එන්නතක් නිෂ්පාදනය නොකරන මධ්‍යස්ථ ආදායම් ලබන රාජ්‍යයක් මේ තත්ත්වය හිමිකර ගත්තේ කෙසේ ද? උත්තර දෙකක් නැත. කොවිඩ් මර්දනයේ දී අප ලබාගත් සියලු ජයග්‍රහණ පසුපස සිටින යෝධ මිනිසා ජනාධිපතිවරයාය. එම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ දැක්ම හා ප්‍රතිපත්ති අනුවය. නායකයකු සැබෑ නම් ඔහුට හරි දැක්මක් තිබිය යුතුය. හරි ප්‍රතිපත්ති මාලාවක් ද තිබිය යුතුය.

කාබනික වගාවේ අගය මේ වනවිටත් රටේ බොහෝ දෙනෙක් වටහාගෙන සිටිති. ගොවි සමාජ ටිකෙන්ටික ඊට නැඹුරුවෙති. ලබන කන්නය වන විට මුළුමනින්ම කාබනික කුඹුරු වගාව ආරම්භ කිරීමට හැකි තත්ත්වයක් පවතී. ගොවීන් රජයේ ආධාර ද ගනිමින් පොහොර නිෂ්පාදනයට යුහුසුලු වන බවක් දැක ගත හැකිය. ලෝකයේ දියුණු රටවල් ගණනාවක් අපේ කාබනික වගාවට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත්වී සිටිති. පරිසරය ගැන කතා කරන ජගත් සංවිධාන හා කීර්තිමත් පරිසරවේදියෝ මේ වැඩසටහන අගය කරති. රටේ තැනින් තැන රසායනික පොහොර ඉල්ලමින් කෙරෙන උද්ඝෝෂණ ද දැකගත හැකිය. ඒවා දේශපාලනික අරමුණු ඇතිව කෙරෙන විරෝධතා ලෙස හැඳින්විය හැකිය. එකම පිරිසක් තැනින් තැනට යමින් රසායනික පොහොර ඉල්ලති. එය තව ටික කලකින් විහිළුවක් බවට පත්වනු ඇත.

විපක්ෂයේ හැසිරීම් දේශපාලන වශයෙන් ගත් කල මෝඩ සහගතය. මැකියාවෙලී පෙන්වා දෙන ආකාරයේ උපාය මාර්ග එහි නැත. ඔව්හු බොහෝවිට තමන්ගේ දුර්වලකම් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කරන අතර ජනාධිපතිවරයාට සිය ශක්තිය උරගා බැලීමට විවෘත අවකාශයන් සලසා දෙති. බලශක්ති අමාත්‍ය ‍උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවත් එවැන්නකි. විශ්වාසභංගයේ ඉලක්කය වන්නට ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර නොසන්සුන්තාවක් ඇති කරමින් ආණ්ඩුව දුර්වල කිරීම විය හැකිය.

එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. ප්‍රධාන පක්ෂය හා හවුල්කාර පක්ෂ පොදු ගැටලුව ඉදිරියේ එකඟතාවකට පැමිණ ඇති අතර ආණ්ඩුව හා ජනාධිපතිවරයා ‍එයින් තවදුරටත් ශක්තිමත් වූහ. ජනාධිපතිවරයා මේ අර්බුදයට මුහුණ දුන්නේ බුද්ධිමත් ලෙස යැයි කිව යුතුය.

දේශපාලනය වචනවලට පමණක් සීමා වන්නේ නැත. එය වේදිකාවේ වේගවත් කතාවකින් හෝ මහ පාරේ සිදු කරන විරෝධතාවකින් හෝ මැනගත නොහැකි සංකීර්ණ ක්‍රියාවලියකි. ජනතාව දේශපාලකයන් හිතන තරම් මෝඩ නැත. එබැවින් ඔවුන් රැවටීම් ද පහසු නැත. මෙහි සැබෑ අර්ථය වන්නේ සැබෑ නායකයන්ට මඩ ගැසිය හැකි වුව ඔවුන් පරාජය කිරීම පහසු නැති බවය.

නව අදහස දක්වන්න