ඇහැලියගොඩින් ගලා හැලෙන කළුවල මනාලී | දිනමිණ

ඇහැලියගොඩින් ගලා හැලෙන කළුවල මනාලී

හොඳින් ඉර පායා ඇති දිනවල දිවා කාලයේදී ඉතා විසිතුරු, චමත්කාරය දනවන වටාපිටාවකි. අන්ධකාර රාත්‍රී කාලවලදී චිත්ත සන්තානය තුළ කුතුහලය මෙන්ම යම් ප්‍රමාණයකට බිය හා සන්ත්‍රාසය මෝදු කරවන පරිසරයකි. මෙවැනි පරිසරයකටම දායාද කොට ඇත්තා සේ පෙනී යන්නා වූ ද මධ්‍යම ප්‍රමාණයේ දියඇල්ලක් ඇහැලියගොඩ නගරයේ සිට කිලෝමීටර තුනක පමණ දුරකින් පලීගල ගම්මානයට නුදුරින් පිහිටා තිබේ. ඇහැලියගොඩ-පලීගල පාරේ කිලෝමීටර තුනක් පමණ ගමන් කර පලීගල තැපැල් කාර්යාලයට මඳක් ඔබ්බෙන් දකුණට හැරී පුස්තකාල පාරේ තවත් කිලෝමීටරයකට ආසන්න දුරක් ගමන් කිරීමේදී මෙම දියඇල්ල හමු වේ.

මෙම දියඇල්ලේ විශේෂත්වයක් ලෙස පෙනී යනුයේ ගල්ගෙඩි-ගල්තලා මතින් රූරා ඇද හැලෙන දියඇලි කිහිපයකින් මෙය සමන්විත වීමය. මෙම දියඇලි කිහිපය පිහිටා ඇත්තේ තරමක කඳු බෑවුමක මීටර සියයක් පමණ දුර ප්‍රමාණයකය. එමෙන්ම මෙම සෑම දියඇල්ලක් පාමුලම ගැඹුරු මෙන්ම නොගැඹුරු ජලාශ ද දැකිය හැකිය. "කළුවල" ඇල්ල නමින් හඳුන්වන මෙම දිය ඇල්ලට එම නාමය ලැබීමට හේතු වී ඇත්තේ වඩා ඉහළින්, වන නිල්ලෙන් සෙවන ලද අඳුර රජයන ජලාශ නිසාය.

දියඇල්ල දෙපසින් ගම්මාන දෙකකට යන මාර්ග දෙකක් පිහිටා ඇත. වම් පසින් ඉහළට දිවෙන අර්ධ වශයෙන් කොන්ක්‍රිට් කළ මාර්ගය 'මියනකොළතැන්න' දුෂ්කර ගමට ද, දකුණු පසින් දිය ඇල්ලට සමාන්තරව දිවෙන අති දුෂ්කර මාර්ගය 'පොත්දෙණිය' නමැති දුෂ්කර ගමට ද විහිදී ඇත.

'කළුවල' දියඇල්ල අවට පරිසරය ඈත සිට බලන විට අමුතු චමත්කාරයක් මවා පායි. ජලාශ ප්‍රිය කරන පිළිහුඩුවා මෙන්ම සෙවන ප්‍රිය කරන කොබෙයියන් ද මෙහිදී දැක ගත හැකිය. දිය ඇල්ලේ ඉහළ කොටසේ තුරු මතින් පහළට එල්ලා හැලෙන වැල්වල මල් වර්ග ද පිපී තිබෙනු දැකිය හැකිය. තුරු මුදුන්වල සිට ඉඳ හිට නුහුරු කුරුලු කූජන ද සවන්ගත වේ.

 

පොත්දෙණි කන්දේ සිට ගල් දෙබොක්කාවක් අතරින් රිංග රිංගා දෙපස තුරුලතා සෙවන යටින් පහළට ගලා බසින දිය ඇල්ලේ ජලය, සිසිලසින් යුතුය. 'කළුවල' ඇල්ල පලීගල ගම්මානයේ කුඹුරු අක්කර සිය ගණනකට ජලය සපයයි. මෙම දිය ඇල්ල නැරඹිම සඳහාත්, දිය නෑම සඳහාත් දෛනිකවම පාහේ ජනයා පැමිණෙති. මෙසේ එන යන ඇතැම් විනෝදකාමීන් විසින් නොසැලකිලිමත් ලෙස තැන් තැන්වල දමන ලද පොලිතීන් බෑග්, හිස් බත් පැකට්, බිස්කට් දවටන සහ බියර් බෝතල් ටින් යනාදිය නිසා මෙතැන යම් ප්‍රමාණයකට පරිසර දූෂණයක් ද සිදු වන බව පෙනේ.

කළුවල තුන්මං හන්දියකට මුහුණලා පිහිටා තිබීමත්, මෙතැන පවතින හුදෙකලා බවත් හේතු කොට ගෙන රාත්‍රී කාලයේදී තරමක මූසල පෙනුමක් ද ඉස්මතු වන බව ගම්මු පවසති. කෙම්මුර දිනවලදී මෙතැන විවිධ ශබ්ද සහිතව අද්භුත ස්වභාවයක් පවතින බව ද කියැවේ.රාත්‍රි කාලයේදී විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රියේදී මෙතැන පසුකර යෑමට ඇතැම් අය මැළිකමක් දක්වන බව ද ඇතැම් පිරිස් පවසති.

දියඇල්ලට ද පොත්දෙණිය සහ මියනකොළතැන්න යන ගම්මානවලට යන එන මාර්ගය අර්ධ වශයෙන් කොන්ක්‍රිට් කර ඇතත් කිලෝමීටර් භාගයක පමණ දුරක පාර බෙහෙවින්ම අසතුටුදායක තත්ත්වයක පැවතීම නිසා ගම්වාසීන්ට මෙන්ම දිය ඇල්ල නැරඹිමට එන අයට ද අපහසුතාවකට පත් වීමට සිදු වී තිබේ.

මෙම මාර්ගය නිසියාකාරව සකස් කිරීමට පියවර ගන්නේ නම් කළුවල දිය ඇල්ල නැරඹීමට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන් ඉදිරියේදී කිසිදු අපහසුතාවකට පත් නොවනු ඇත. නුදුරු දිනකදීම කොරෝනා වසංගතය නිම වී සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇත. එවිට නිවෙස්වල කොටු වී මානසික පීඩාවෙන් සිටින මිනිසුන් මානසික සුවය පතා මෙවැනි සුන්දර ස්ථාන නැරඹීමට පය තබනු ඇත.

නිමල් විජයතුංග

 

නව අදහස දක්වන්න