වනපෙත සරසන බින්දුලා | දිනමිණ

වනපෙත සරසන බින්දුලා

වියළි කලාපීය වනපෙත් ආයෙමත් හිනැහෙන්න පටන් අරගෙන. මෙතුවක් කාලයක් අගෝස්තු පෑවිල්ලේ ග්‍රහණයට නතු වී විඩාබරව බලා උන්නේ නිල්වනින් දිලෙන, අහස් කුසේ වැජඹෙන හිරුගේ තේජස් විලාසය දෙසයි. අද ඒ සියල්ලම සිහිනයක්ම පමණයි. ආයෙමත් ඉඳ හිට අද වැසි වැටෙන්න පටන් අරන්. වප් මාසේ පුර පසළොස්වකෙන් පස්සේ පටන් ගන්න ඊශාන දිග මෝසම් වැස්ස කියන්නේ මේ වනපෙත්වලට ආශීර්වාදයක්. සිඳී ගිය වැව් ආයෙමත් පිරෙනවා. ගහ, කොළ, අතු, ඉති, දලුලා වැඩෙනවා. මල් පිපෙනවා. පල බර වෙනවා. වන සතුනුත් පෙම්වත්ව සෑම තැනෙකම දුව පැන ඇවිදිනවා. කුරුලු කෙවිළියෝ පෙම් ගී මුමුණනවා. මුළු කැලේම රස ගුලාවක්. හැබැයි ඒ වැසි වැටෙන්න නම් තවත් මාස දෙකහමාරක් විතර බලාන ඉන්න වෙනවා.

ඒ සමයට අද වාගේ, කැලේ පාරවල් බවට පත්ව ඇති ආරවල් දිගේ නම් යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. කොටින්ම කියතොත් වැසි සමයට කැලේ මං තනන අලි ගමන් කරපු බොහෝ පාරවල්, වැව් කරා දිය රැගෙන ගලා බස්නා ආරවල් බවට පත් වෙනවා. එවිට ආරවල් දිගේ ගමන් කිරීම නම් මහත් ආයාසකර ක්‍රියාවක්. ඒ වැස්සට ගහගෙන ආපු සිහින් වැල්ලෙන් ඒ ආරවල් ඇහිරී ඇති නිසාවෙනුයි. ආරවල් කියන්නේ වැසි සමයට පමණක් වනයේ දිය රැගෙන ගලා බසින දිය පාරවල්. වියළි සමයට හොඳින් ගමන් කළ හැකි පාරවල්.

ඉතින් මමත් සත්තු ටිකක් බලන්න හිතාගෙන, ලුණුගම්වෙහෙර කැලේ වැව් දියවරක් හොයාගෙන ගියා.

සියලුම වනජීවි නියෝජනයක්ම සිසිලසක් විඳ ගන්න කිවුල්පිටිය වැවට පැමිණ ඇති හැඩයි. තීරණය කදිමයි. පුංචි කෘමි සතුන්ගේ පටන් මහා අලි ඇත් නියෝජනය දක්වා වන වනවාසීන් හැමෝම විටෙන් විට වැව කරා ඇදී ආවේ දවසේ වාසනාව මා වෙත උදා කරමිනුයි. ඒ අතරේ මගේ හිත ඇදී ගියේ වනපෙතේ අහිංසකයින් සේ ප්‍රකට, මුව රංචුවකගේ ආගමනය වෙතයි. ඔවුන්ගේ හැසීරීම් මා වෙත ළඟා කළේ අපූර්ව වූ සිහිවටන එකතුවක්.

වැව් තෙරේ විසල් වු පැතිරී යෑම හේතුවෙන් වනාතේ ඉඳන් වැවේ පිටිය තෙක් පැමිණීම වෙනදා වගේ නම් ඕන වෙන්නේ නෑ. මොකද හැම තැනම වතුර. ඒත් කැලය කියන්නේ අන්තරාවන් පිරුණු තැනක්. මොන මොහොතේ කොතනින් මතු වෙලා තමන් වෙතට පැන මරණය වෙත තමන් ඇද ගෙන යයි දැයි කියන්න බැරි නොපෙනෙන බලවේගයක්. ඒ හින්දා හැම පැත්තම පේන එළිමහන් වැව් පිටියට හැමෝමත් එක්ක ඇවිත් වතුර ටිකක් බීලා, පුංචි උන් එක්ක ටිකක් සෙල්ලම් කරලා, හයිකාරයෝත් එක්ක අං පටලවා ගෙන ඒකාකාරී දිවියට යම් අපූර්වත්වයක් එකතු කර ගන්නට හැකි නම් කෙතරම් අගනේ ද?

වැව කරා ඇවිදගෙන එන මේ මුව රංචුව තුළත් ඇත්තේ එවැනි වු සිතුවිලි විය යුතුයි. ඒත් වැව දිහාම බලා ගෙන ඉදිරියට ආපූ මුව රංචුව එක් වරම නතර වූණා ? ඒක නම් මට කුකුසක්. ඒ හැඟීම පරයමින් යටි හිතේ ඉස්මතු වෙන්න තතනන්නේ “ කොටියෙක් ”. මොකද මුවන්ගේ ජන්ම හතුරා කොටියා. මේ විමසිලිමත් දෑස්, තියුණු සවන් පත් නිරන්තරවම හොයන්නේ එවැනි හතුරෙක්. මොකද ඒ ගැන අවධානයෙන් පසු වන තරමට තමයි මෙයාලාගේ ඊළඟ තත්පරය ජීවත් වෙනවද, නැතිනම් ජිවිතයෙන් සමු ගන්නව ද කියන කාරණය තීරණය වෙන්නේ.

විමසිලිමත්ව කැලයෙන් එළියට එමින් උන්නු මුව රංචුව එක්වරම නතර වුණත් ඒ අතරින් ඉදිරියට ආවේ යෝධ අං තට්ටුවක් හිස මත දරා ගෙන ආඩම්බර ලීලාවෙන්, හැමෝටම අභියෝගයක් වෙමැයි, දකින්නා තුළ සිතුවිල්ලක් ඇති කිරීමට සමත් විසල් නායක මුවෙක්. පළමුවෙන්ම වැව් පිටිය කරා ඇදී ආපු නායක මුවා වැව් පිටිය සිසාරා දෙනෙත් පා කර හැරියේ තමන්ගේ නොදියුණු පෙනීමට වඩා දියුණු ඇසීම ගැන පූර්ණ විශ්වාසයෙනුයි. අනතුරක සේයාවක් නොදුටු ඔහු අනතුරුව සිය රංචුවේ සෙස්සනට, කෙටි බීරුම් හඬකින් අණ කර සිටියේ වැව කරා පැමිණෙන ලෙසයි, ඒ විතරක් නෙමේ ඒ බිරුම් හඬේ ගැබ් වෙලා තිබුණේ විමසිලිමත්ව දිය පානය කරන්න කියන පණිවුඩයයි.

ඒ අණ පිළි අරගෙන වැව් දිය කරා ඇවිත් දිය පානයේ මුව රංචුව නිරත වන අතරම රංචුවේ අයෙක් අවට විපරමින් පසු වෙන්නේ නායක මුවාට අමතරවයි. නායක, කනිටු නායක සුසංයෝගයෙන් මුළු රංචුවම ආරක්ෂිතයි. ඒ ආරක්ෂිත පවුරට වට වු හැමෝම මේ දෙදෙනාගේ විධානයන් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හඬක් කන වැකුණු සැණින් කෙටි බිරුම් හඬක් නඟන්නා හා සමැව සෙස්සෝ ද එක් වනම හිස් ඔසවා අවට විපරමේ යෙදෙයි. වහා එදෙස බලයි. අනතුරක් නැති බව හැඟේ නම් යළිත් දිය පානය කරයි. මොකද හැම වෙලාවේම වතුර බොන්න මෙයාලා පුරුදු වෙලා නෑ. ජීවිතයට අනතුරු වැඩියි. ඒ හින්දා අනතුරුවලට මුහුණ දෙනවට වඩා බේරෙන්න තමයි පුරුදු වෙන්න ඕනෑ. මුවා කියන්නේ කැලේ ඉන්න අහිංසකයින්. දුර්වලයින්. සතුරකුට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩියි. ඉඩක් ලැබුණු විගස බඩ කට පිරෙන්න වතුර බොන්න මුවන් පෙලැඹෙන්නේ අන්න ඒ හින්දයි.

සැක සිතක් උපන්නොත් නායකයා හඬ ආ දෙස බලමින් ඉදිරියට එනවා. සැඟව ගත් අනතුරට අභියෝග කරනවා. අනෙක් ඈයෝ හිස් ඔසවා ගත් වනම බලා ගෙන ඉන්නේ නායකයාගේ ඊළග විධානය ලැබෙන තුරුයි. අනතුරක් නම් හැකි විගස පලා යා යුතුයි.

ආගන්තුක හඬක් ඇසෙනවා.

ආයෙත් ඒ හඬ ආපු පඳුර ළඟට ගිය නායකයා මඳක් විපරම් කරා. එක් වරම පැන පඳුරට පයින් ඇන්නා. සෝදිසි කළා. අනතුරක් නෑ. සෙස්සන්ට ඒ බැව හඟවමින් කෙටි බිරුමක් නැඟුවා. ආයෙත් වැව් දිය වෙතට ඇදුණා. සෙස්සෝ ද ඔහු සමඟ තරගයට දිය බිව්වේ මෙතුවක් වෙලා නිරතව උන්නු රැකවල් රාජකාරීය තවත් කෙනකුට භාර දීලයි. රංචුවේ අනෙක් අයත් වතුර බිව්වේ බලා හිඳින්නවුන්ට සා පවසේ තරම මෙතෙකැ’යි හඟවන්න වගෙයි.

පිපාසාව සංසිඳෙත්ම කෙළිලොල්කම ඉස්මතු වුණු මුව නාම්බන් රඟන රැඟුම්, දෙනෙතකට මවන්නේ සැබැවින්ම රසඳුනක්.

එකකු තම මේරූ අං යුවළ අරා කරනා පොදු අභියෝගය භාර ගත හැක්කේ ද අං ඇත්තකුටම පමණයි. එතැන් සිට ඇරැඹෙන ද්වන්ධ හටන කෙළවර වන්නේ ශක්තිවන්තයා කවරෙක්දැ’යි තීරණය වීමෙනුයි. මෙයම අනාගත නායකයා කව්රුන්දැ’යි තීරණය කරන පෙරහුරුවක් ද වෙනවා.

එළිමහන් පිටියට වී වැව් තෙරේ නිදහස් සුවය සිත් සේ භුක්ති විඳින ඇතැම් මුව රංචුවල විටෙක පනහත්, සියයත් අතර ප්‍රමාණයක් නියෝජනය වෙනවා. ඒ කියන්නේ මුවන්ගේ ප්‍රජනන ක්‍රියාවලියත්, ඒ හා සබැඳී අනාගත උරුමකරුවනුත් යහපත්ව පැවතීම මෙවැනි වු විශාල රංචු බිහි විමට හේතු වෙනවා.

එහෙත් ජෛව විවිධත්වය කියන විෂයට සමගාමීව බලනවා නම් පෙර කියපු කරුණම සරු ජාන පරම්පරාවක ජනිතයන්ට ජනිත වීමේ ඉඩ ප්‍රස්ථාවන් අවහිර කරන ප්‍රධාන හේතු සාධකයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මුව රංචුව ලිංගිකව හුදෙකලා වීමක්. රංචුව තුළ ඔවුනොවුන් අතර විතරයි ප්‍රජනන ක්‍රියාවලිය සිදු වන්නේ. ඒ නිසා බිහි වෙන්නේ දුර්වලයෝ.

එහෙම උපදින මුව පැටව් ලේ ඥාතීත්වයෙන් ද සමානයි. මේ කාරණය ජෛව විවිධත්වයට පටහැනියි. ආන්න ඒ හින්දා සොබා දහමින් කරන්නේ මේ නිසරු ජනිතයන් යම් යම් ක්‍රියාවලීන් තුළින් පාලනයකට නතු කිරීමයි. ඒ වගේම ඔවුන් මත යැපෙන්නන් නිර්මාණය කරනවා. පොදුවේ ගොදුරුවන්නා සහ ගොදුරු කර ගන්නා, වනාන්තරය තුළදී ජීවන අරගලයකට නතු කිරීම මෙයට කදීම නිදසුනක්. මුවන් වැඩි වෙන්න වැඩි වෙන්න කොටිත් වැඩි වෙන්නේ ඒකයි.

මේ ටික වෙලාවට අපිට ගොඩාක් දේවල් කියා දුන්නු ලුණුගම්වෙහෙර - කිවුල්පිටිය මුව රංචුව “හා දැන් ඇති නේදැ ” යි ව්‍යංගයෙන් කියන්නාක් හා සමැව ආයෙත් කැලයට යන්න අර අඳින හැඩයි. විමසිලිමත්ව වැව් දිය කරා ඇවිත් දිය බී අවසන් වුණු මුවෝ එකා දෙන්නා බැගින් යළිත් කැලේට යන්නට පටන් අරන්. වලිග ඔසොවා ගෙන දුඹුරු පසුබිමේ ඇඳි සුදු බිංදු රටා ඉස්මතු කරමින් එකා - දෙන්නා පසුපස, ජවසම්පන්න මස්පිඬු දිවා එළියෙන් නහව නහවා උන් යන රැඟුම් බර ගමන් ලතාව බලන්නමයි වටින්නේ. මේ තමයි සිරිලක මුව පරපුරේ දකුණු ලක නියෝජනයේ ලුණුගම්වෙහෙර කිවුල් පිටිය මුව රංචුව.

සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික

ඡායාරූප සෂික ශ්‍රී සංජීව

 

නව අදහස දක්වන්න