හිරු මලේ තෙල් බලේ | දිනමිණ

හිරු මලේ තෙල් බලේ

අපේ රටේ ජීවත් වුණ මුතුන් මිත්තෝ තම ආහාර පිස ගැනීමට තල තෙල් ,එළඟි තෙල් වැනි දේත් නිවෙසේ අඳුර මකා ගැනීම සඳහා කැකුණ තෙල් ඇතුළු දේශීය වශයෙන් පැවති දෑ භාවිත කළහ. ලෝකය කාර්මිකකරණයට පත් වීමත්, ජනගහනය වැඩි වීමත් හේතුවෙන් සමාජයේ පාරම්පරිකව භාවිත කළ දෑ සමාජයෙන් ඈත්ව ගොස් තිබේ. ඒ වෙනුවට ආහාර රසවත් කර ගැනීමට පොල් තෙල් ඇතුළු තෙල් වර්ග ද නිවෙසේ අඳුර මැකීම සඳහා ලාම්පු දැල්වීමට භුමිතෙල් ද, ඊට අමතරව වැඩි වශයෙන් විදුලි ලාම්පු ද සමාජයට පැමිණ තිබේ.

අද වන විට ආහාර රසවත් කර ගැනීම සඳහා භාවිතයට ගන්නා තෙල් වර්ග අතර මිනිස් සිරුරට අහිතකර දේ අඩංගු වී ඇතැයි විවිධ පරික්ෂණවලින් හෙළි වී ඇත. මෙම තෙල් වර්ග බොහොමයක්ම විදෙස් රටවලින් ආනයනය කරන ලද ඒවා වේ. එම තෙල්වර්ග නිෂ්පාදකයන් තම ආදායම ඉහළ දමා ගැනිම පිණිස විවිධ ක්‍රම උපයෝගී කර ගන්නා හෙයින් මිනිස් සිරුරට අහිතකර දෑ මුසුවීම සිදු වන බවට අනාවරණය වී ඇත.

එලෙස ආනයනය කරන ලද තෙල් වර්ග අතර පිළිකා හා හෘදය රෝග වැලඳිය හැකි මිනිස් සිරුරට අහිතකර තෙල් වර්ග පැවතිය ද දේශීයව නිපදවා ගන්නා පොල් තෙල් මිනිස් සිරුරට ඉතාමත් හිතකර බවට පරික්ෂණවලදී තහවුරු වී තිබේ. එහෙත් පොල් වගා බිම් විවිධ වෙනත් කාර්යයන් සඳහා භාවිත කිරිම නිසා පොල් ගස් කැපීමට සිදු වීමෙන් පරිභෝජනයට අවශ්‍ය තරම් පොල් හිඟ වී ඇත. පොල් තෙල් නිෂ්පාදනය ද කර ගත නොහැකි තත්ත්වයක් මේ නිසා උදා වී තිබේ.

මිනිසා පරිභෝජනයට ගන්නා තෙල් වර්ග අතරින් සූරියකාන්ත තෙල් වේගවත්ව ප්‍රචලිත වෙමින් පවතී. Helianthus annuus (හෙලියන්තස් ඇනස්) යන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන සුරියකාන්ත වියළි දේශගුණයක් පවතින පරිසරයක පහසුවෙන් වගා කළ හැකිය. සූරියකාන්ත මලෙන් ගන්නා ඇටවලින් තෙල් නිෂ්පාදනය කෙරේ. මෙම තෙල් භාවිත කරමින් මාගරින් ද ඉතිරි වන කොටස් යොදා ගනිමින් සත්ව ආහාර ද නිෂ්පාදනය කරයි. මීට අමතරව ඉවතලන දෙයට රසායන ද්‍රව්‍ය මුසු කර තීන්ත වර්ග ද නිෂ්පාදනය කරනු ලබයි.

සූරියකාන්ත ඇට විවිධ කෑම වර්ග අලංකාර කිරීම සඳහා ද භාවිත කිරීමට ආහාර නිෂ්පාදකයෝ පෙලැඹී සිටිති. එසේම වර්තමානයේ ඇති විශාල ප්‍රමාණයේ සූරියකාන්ත බීජ වට්ටක්කා ඇට මෙන් තෙලෙන් බැද පරිභෝජනයට ගැනීමට විදේශිකයෝ මහත් ඇල්මක් මෙන්ම රුචියක් දක්වති. මේ අනුව ලෝකයේ සූරියකාන්ත භෝගයට විශාල ඉල්ලුමක් හිමිව ඇති බව පෙනේ.

ආසියානු රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව වැනි රටවල ද සූරියකාන්ත ජනප්‍රිය වගාවකි. මෙය ශ්‍රි ලංකාවේ ද වියළි දේශගුණික ප්‍රදේශවල සාර්ථකව වගා කළ හැකිය. ශ්‍රී ලංකාවේ ද සූරියකාන්ත වගාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. ඒ ගෙවතු හා නිවාස අලංකරණයට යොදා ගන්නා මල් වගාවක් ලෙසිනි. මෙය ගොඩ කන්නය සඳහා මාස් කන්නයේ වගා කිරීමට හැකිය. ජල සම්පාදනය යටතේ යල කන්නයේ ද වගා කිරීමට පුළුවන. එහෙත් අස්වැන්න නෙළන සමයේ වියළි කාලයක් පැවතීම ඉතාමත් වැදගත් කරුණකි. සුරියකාන්ත බීජ ඇට කිලෝ පහකින් අක්කර එකක භූමියක් වගා කළ හැකිය. බීජ ඇට සිටුවිමේදී වළවල් දෙකක් අතර පරතරය අඩි එකක්, පේළි අතර අඩි දෙකක් ද ලෙසින් වගා බිම සකසා ගත යුතුය. මෙයට කාබනික පොහොර යොදා ගැනීමෙන් ඉහළ අස්වැන්නක් නෙළා ගත හැකිය. මෙහි වගා කාලය දින 105 සිට දින 120ක් පමණ වේ. මෙම වගාවට රුපියල් 20,000ක පමණ මුදලක් වැය වන මුත් රුපියල් 35,000-40,000ක් වැනි මුදලක් උපයා ගත හැකිය.

සුරියකාන්ත වගා භුමිය තුළ මී මැසි ජනපද පවත්වාගෙන යෑමට ද පුළුවන. අක්කරයක පමණ වගා බිමක මී මැසි ජනපද 10 ක් පමණ පහසුවෙන් පවත්වා ගෙන යෑමට හැකි විම තවත් විශාල ආර්ථික වාසියකි. මෙම සූරියකාන්ත මල් වගාව දිලීර හා කෘමි උවදුරුවලට ලක් වීමට ද ඉඩ තිබේ. කෘමිනාශක, දිලීර නාශක වගාවට යෙදීමට පෙර කෘෂිකර්ම උපදේශකයන් හමු වි අදාළ උපදෙස් ගැනීමට වග බලා ගත යුතුය. එයට හේතුව නම් මී මැස්සන් පරාගනය සඳහා දක්වන විශාල දායකත්වයයි.

මෙම වගාවට කාබනික පොහොර පමණක් යෙදීම තුළින් ද උසස් ගුණාත්මක ඵලදාවක් ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගාවට ආදේශක වගාවක් ලෙස සූරියකාන්ත භෝගය ගොවින් අතර ප්‍රචලිත කළ යුතුය. එමෙන්ම ඒ සඳහා උසස් ගුණාත්මක බීජ ද තිබිය යුතු වේ. දැනට ශ්‍රී ලංකාවේ වගාව සඳහා “ස්පේන්‘ නමැති ප්‍රභේදය බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රදේශයේ අත්හදා බැලිම් සිදු කර තිබේ. මෙම ගුණාත්මක බවින් යුත් සූරියකාන්ත තෙල්වලට ඉහළ මුදලක් ගත හැකිය. එහෙත් දේශීය වශයෙන් තෙල් ලබා ගැනීමට ඊට උචිත යන්ත්‍ර නොමැති වීම නිසා මේ වන විට පොල් තෙල් සිඳින යන්ත්‍ර භාවිතයෙන් තෙල් ලබා ගැනීම සිදු කෙරේ. එමනිසා වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන ලෙසින් සූරියකාන්ත තෙල් සැපයීමේ ගැටලුවකට වගාකරුවෝ මුහුණ දී සිටිති. එනිසාම වගාවට නැඹුරු වූ සූරියකාන්ත ගොවියෝ දිනෙන් දින ඉන් ඉවත්වන බවක් දක්නට ලැබේ.

 

පොල් තෙල් හිඟයට පිළියමක් විය හැකි උසස් ගුණාත්මක හා සෞඛ්‍ය සම්පන්න ලෙසින් සූරියකාන්ත තෙල් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට හැකි ලෙසින් වැඩසටහනක් රජය විසින් දියත්කිරිම ඉතා වැදගත්ය. එමඟින් විදේශයට ඇදී යන මුදල් රට තුළ රැඳෙන අතරම දේශීය ගොවියාගේ අතමිට ද සරුවනු ඇත.

 

(තොරතුරු ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්)

කේ.ආර්.ආර්.රාජමන්ත්‍රි

නව අදහස දක්වන්න