සම්මානයෙන් පිදුම් ලැබූ හිතහොඳ කිරි ගොවියා | දිනමිණ

සම්මානයෙන් පිදුම් ලැබූ හිතහොඳ කිරි ගොවියා

අපේ රටේ කාබනික කෘෂිකර්මාන්තය හා දේශීය කිරිගව සම්පත පිළිබඳ ජනප්‍රිය තලයේ කතාබහ ඇතිවන්නට පෙර කුඩා කල පටන්ම කිරි ගොවි ගව පාලනයෙන් දිවි සරු කර ගත් දිරිය කිරි ගව ගොවීන් කොතෙකුත් සිටිති. කළුතර දිස්ත්‍රික්කයේ කිරි ගව පාලනය වැඩි දියුණු කරන්නට මෑත කාලීනව විශාල ලෙස කතා බහ කළ ද වැඩි කතා බහක් නැතිවම කිරිගව පාලනයේ යෙදී තම අතමිට සරු කර ගත් බුලත්සිංහල, කොබවක, දෙණිකඩේ ලයනල් පෙරේරා තම ජිවිතය ගවයින් නිසා ගොඩ දා ගත්තා පමණක් නොව උස් මහත් වූ තම දරුවන්ට ද කිරි ගව ගොවි කර්මාන්තයෙන් ගොඩ යන්නට කියා දී තිබේ.

1970 දශකයේදී අනුන්ගේ ගවයකු අඳේට ඇතිකරන්නට ඉල්ලා ගෙන ආරම්භ කළ කිරි ගව ගොවි පාලනය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා අද වන විට කිරි ගව ගොවීන් හැට, හැත්තෑවක් සහිත ගව පට්ටියක හිමිකරුවකු පමණක් නොව බස්නාහිර පළාතේ හොඳම කිරි ගව ගොවියා ලෙස සම්මාන ලබන්නට ද සමත්ව සිටියි. ප්‍රදේශයේ තරුණයින් විශාල පිරිසකට කිරි ගව පාලනයෙන් ජීවිත ගොඩ ගන්නට අත හිත දෙමින් ආදර්ශ ගොවියකු වීමට ද ලයනල් පෙරේරාට හැකිව තිබෙන්නේ ඔහුගේ හිත හොඳකම නිසාය. බුලත්සිංහලින් මිල්කෝ ආයතනයට හොඳම කිරි වැඩිම ප්‍රමාණයක් සපයන ගොවින් අතර ඉදිරියෙන්ම සිටීමට ද ලයනල් පෙරේරා කිරිගව ගොවියාට හැකිව තිබේ.

රජයේ රැකියා හොයන වත්මන් තරුණ පරම්පරාවට මහඟු ආදර්ශයක් දෙන ලයනල් පෙරේරා තම පුතුන්දෙදෙනා ආයතනගත රැකියාවලින් ඉවත් කරවා ගෙන තම අත්දැකීම් සමඟ කිරි ගව ගොවිකම පවරා දීමට තරම් නිර්භීත වී තිබේ. අද ඔවුන් දෙදෙනා ද රුපියල් ලක්ෂ ගණනක් වටිනා කිරි ගව පට්ටි දෙකක හිමිකරුවෝය. පියා සමඟ සමගාමි ගොවිපළක කොටස්කරුවන්ය.

පශු සම්පත් මණ්ඩලය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන මඟින් න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවිම් කිරීමෙන් පසු ලයනල් පොර්රා මහතා අද වන විට අත්දැකීම් බහුල සිය කර්මාන්තය පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති හිත හොඳ ගොවි මහතෙකු බවට පත්ව තිබේ. බුලත්සිංහ, කොබවක, දෙණිකඩේ පිහිටි තම සත්ත්ව ගොවිපළේ නිපදවන නිෂ්පාදන හඳුන්වා දී ඇත්තේ ද “හිත හොඳ මී කිරි“ ලෙසය.

"ආහාරයට ගන්න දෙයක් අපිරිසුදුවට දෙන්න හොඳ නෑ. අනෙක ගන්න මනුස්සයගෙ හිත සතුටු වෙන්න දෙන්න ඕනෑ.“ මේ බුලත්සිහල, දෙණිකඩේ හිත හොඳ මීකිරි ගොවිපළේ තේමා පාඨයයි.

"ගවයා කියන්නෙත් මිනිස්සු තරමට තේරුම් බේරුම් නැතත් හොඳට හැඟීම්, දැනීම් තියෙන සත්ත්ව කොට්ඨාසයක්. ඒ නිසා අප ඔවුන්ගෙන් කිරි ලබා ගන්න ඕනේ සතුන්ට ආදරයෙන් සැලකීමෙන්"ය යන්න ලයනල් මහතාගේ අදහසයි. "අද රටේ රැකියා සොයමින් තරුණ පිරිස් සහතික, සම්මාන පොදි බැඳ ගෙන රජයේ සහ පෞද්ගලික ආයතන පස්සෙ යනවා. ඒ මොන රැකියාවකට ගියත් මාසෙ අන්තිමට ලැබෙන සොච්චම ගැන ඔය කවුරුවත් සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඒත් මම ගෙදර ඉඳලා නිදහසේ සතුටින් මේ සතුන් සමඟ වැඩ කරල කාටවත් හිතන්න බැරි, කවුරුත් පිළිගන්නෙ නැති ආදායමක් උපයනවා. අනෙක ඒක ගැන මට සෑහීමකට පත්වෙන්න පුළුවනි. එහෙම සෑහීමකට පත් වෙන්න බැරි නම් ඉලක්කයකට යන්න පුළුවනි. වෙන මොන රැකියාවට ගියත් අපි හිතන වැටුප අපට ලැබෙන්නෙ නෑ. මේ නිසා මගේ පිරිමි දරුවො දෙන්නවම මේ කර්මාන්තයට මම ගත්තා.

වුවමනාව, කැපවීම සහ අරමුණක් තියෙනව නම් තමන්ගේ ජයග්‍රහණය වළක්වන්න බැහැ. අනුන්ගෙන් අඳේට ගොවියෙක් ඉල්ල ගන්න විට ගව පාලනය පිළිබඳ මෙලෝ හසරක් දැන ගෙන හිටියෙ නෑ. සතුන් ඇති කරන්න ආදරයක්, ආසාවක්, ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මට ලොකු අධ්‍යාපන සහතික නෑ. මේ කර්මාන්තයට අවශ්‍ය දැනුම සොයා ගන්න මම රටේ හැම තැනම තියෙන අදාළ ආයතනවලට ගියා. ඒ සෑම තැනකදීම මට හොඳ දැනුමක් ලැබුණා. දැන් මා ළඟ ලොව උසස්ම යැයි කියන ගවයින් වර්ග ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය ආහාර, ඖෂධ, විටමින් වර්ග වගේ අනෙකුත් කටයුතු කරන්න මට දැන් හොඳ දැනුමක් තියෙනවා. සමහර විට පාසල්වල, විශ්වවිද්‍යාලවල උගන්වන පාඩම් වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට නොගිය මම ප්‍රායෝගිකව අවුරුදු තිහ හතළිහක් “හරක් වැඩ“ කරල ඉගෙන ගෙන තියෙනවා. "

අපේ රටේ බොහෝ දෙනා ඉගෙන ගන්නෙ හොඳ රැකියාවක් හොයා ගන්නයි. ඒත් එහෙම ලොකුයි කියන රැකියාවලින් උපයන මුදලට වඩා මම කරන දෙයින් නිදහසක්, තෘප්තියක් ලබන්න පුළුවන්. තවමත් අපේ රටේ ගොඩක් දෙනා හිතන්නෙ ගව පාලනය, එහෙම නැතිනම් කිරි ගව පාලනය කියන්නෙ වැඩිය ඉගෙන නොගත්ත අයට වෙන් වෙලා තියෙන කර්මාන්තයක් කියලයි. මම ඒක වෙනස් කළා. හොඳට ඉගෙන ගත්ත මගේ පුතාලා දෙන්නවම මේ කර්මාන්තයට එකතු කර ගත්තා.

තවමත් අපේ ගම් මට්ටමේ කිරි ගව පාලනයේදි කෙරෙන්නෙ දියර කිරි හෝ මුදවාපු කිරි නිපදවීම පමණයි. ඒත් ග්‍රාමීය වශයෙන් ඉතාම පෝෂ්‍යදායී ලෙස කිසිම රසායනික ද්‍රව්‍යයක් නොමැතිව යෝගට් නිෂ්පාදනය කිරීමට හැකියි. අපට ඒ පුහුණුව දී තිබෙනවා. මමත් යෝගට් නිපදවිම සිදු කළා. ඊට අමතරව කිරි ආශ්‍රිත තවත් නිෂ්පාදන රැසක් ඉතාම පහසුවෙන් සිදු කළ හැකියි. රට පුරා මේ කර්මාන්තය ප්‍රචලිත කළ හැකියි. උදේ පාන්දර හැම ගෙදරකම ගේට්ටුව ළඟට නැවුම් දියර කිරි බෝතලයක් ගෙනැවිත් දෙනව නම් නොගන්නා කෙනෙක් නෑ. එතකොට කවුරුත් උදේට කිරි පිටි බොන්නෙ නෑ. තවත් පිරිසකට රැකියාත් ලැබෙනවා.

කළුතර දිස්ත්‍රික් මට්ටමින් වගේම සමස්ත ලංකා මට්ටමින් ඇගයීමට ලක් වීමට හැකි වූ හිත හොඳ මී කිරි ගොවි මහතා බොහෝ දෙනා අතර ප්‍රචලිතය. අතීතයේ හැම ගෙදරකම පස්ගෝ රසයත්, කාබනික පොහොරත්, ජීව වායුවත් සපයා දුන් කිරි ගව පාලනය ගමෙන් ඈතට යෑමට හේතු ද හිත හොඳ කිරි ගව ගොවි ලයනල් මහතා හෙළිදරව් කළේය.

"රටේ බොහෝ ප්‍රදේශවල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේත්, බුලත්සිංහලත් පුරන් කුඹුරු විශාල ලෙස තිබෙනවා. ඇතැම් වතු සමාගම් සතුව කැලෑවට අතහැර දැමූ ඉඩම් තිබුණත් කිරි ගව ගොවින්ට තණකොළ වගාවට ඉඩම් නැහැ. කිරි ආශ්‍රිතව ග්‍රාමීය මට්ටමෙන් නිෂ්පාදන රැසක් ඉතා සරල තාක්ෂණයෙන් සිදු කළ හැකි වුණත් තවමත් අපේ කිරිවලින් එවැනි නිෂ්පාදන ගමේ ගොවිමහතා ළඟට ගිහින් නැහැ. වෙනත් ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා බැංකු හා විවිධ ආයතන ඉතා පහසුවෙන් ණය සහ ආධාර උපකාර දුන්නත් තවමත් කිරි ගව ගොවියාට එය ලබා ගැනීමේ දුෂ්කරතා රැසක අත්දැකිම් තිබෙනවා." යැයි ලයනල් මහතා කියයි.

සරමටත්, අමුඩයටත් හිමිකම් කියන ග්‍රාමීය කිරි ගව පාලනයට ටයි කෝට් නැතත් අ.පො. ස. සාමාන්‍ය පෙළින්, උසස් පෙළින්, පාසලින් ගිලිහෙන තරුණ පිරිස් මේ සඳහා එකතු කර ගන්නට අසමත් නිසා බොහෝ දෙනා අතර මේ පිළිබඳ පසුගාමී ආකල්ප ඇතැයි බුලත්සිංහල, දෙණිකඩේ හිත හොඳ මීකිරි නිෂ්පාදනයේ තරුණ ව්‍යයවසායක නිලේෂ් සම්පත් තරුණ මහතාගේ අදහසය. කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කර නිෂ්පාදන කිහිපයක හිමිකරුවන් වීමට සැලසුම් තිබුණ ද අංශ ගණනාවකින් තවමත් නොලැබෙන, කතාබහට පමණක් සීමා වූ පහසුකම් පිළිබඳ අපේක්ෂාවෙන් සිටින බව හිත හොඳ කිරි නිෂ්පාදනයේ ප්‍රදීප් සම්පත් තරුණ මහතා කීවේය.

 

පී. සෝමරත්න

නව අදහස දක්වන්න