පොඩි එකාගේ ලියුම! | දිනමිණ

පොඩි එකාගේ ලියුම!

විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකකට වැඩි ඡන්දයකින් පරාජය කිරීමට ආණ්ඩු පක්ෂය සමත් විය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මේ යෝජනාව හැඳින්වූයේ 'පොඩි එකාගේ ලියුම' යනුවෙන්ය. ඡන්ද විමැසීමෙන් පසු ඔහු සිනාමුසු මුහුණින් කියා සිටියේ මගේ ප්‍රතිරූපය නැංවීම ගැන විපක්ෂයට ස්තුතියි යන්නය. එය සමඟි ජන බලවේගයට එල්ල කළ අතුල් පහරක් යැයි හැඟේ. සමඟි ජනබලවේගය දේශපාලන ආ‍වේගයට ඉදිරිපත් කළ විශ්වාසභංග‍යක් ලෙස එය හැඳින්විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර විශ්වාසභංග යෝජනාව තකතීරු මෝඩ තීරණයක් ලෙස හඳුන්වා දුන්නේය. අවසන් විග්‍රහයේදී පෙනී යන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජන බලවේගය විශ්වාසභංගයෙන් හොඳටම සවුත්තු වුණ බවය. සජිත් පිල නියෝජනය කළ දෙදෙනෙක් ද ඡන්දය වර්ජනය කළහ.

ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව සංවාදයට ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබිණි. දින දෙකක් පුරා විවාදය පැවැත්විණි. මේ විවාදයේ දී විපක්ෂය සාධාරණ හේතු දක්වමින් විශ්වාසභංගය තහවුරු කළේ නැත. එම යෝජනාවෙහි සඳහන් කරුණු අතාර්කික බව ද බැලූ බැල්මටම පෙනෙයි. තෙල් මිල ඉහළ දැමීම වැරැදි යැයි පෙන්වා දීමට විපක්ෂය සමත් වූ බවක් පෙනෙන්නට නැත. මිල ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යවරයා වගකිවයුතු යැයි සනාථ කිරීමට හේතු - සාධක ද විපක්ෂයට නැත. තෙල් මිල ඉහළ නොදමා ගත හැකිව තිබූ විකල්ප ක්‍රියාමාර්ගයක් පෙන්වා දීමට ද විපක්ෂය සමත් වී නැත. විවාදය පුරාවට ‍සිදුවූයේ එකිනෙකාට එරෙහිව වචන හුවමාරු වීම පමණි. මෙය පාර්ලිමේන්තුවේ වටිනා කාලය කා දැමීමක් යැයි කවුදෝ කියා තිබිණි. එය සත්‍යයක් බව පිළිගත හැකිය.

දේශපාලන පරිණතභාවය, බුද්ධිය හා ඉවසීම නායකයකුට තිබිය යුතු ගුණාංග ලෙස පෙන්වා දිය හැකිය. ආවේගශීලී තත්ත්වයන් මත තීන්දු - තීරණ ගැනීම නායකයකුට සේම පක්ෂයකට ද හොඳ දෙයක් නොවේ. එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය මත ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ යම් නෝක්කාඩුවක් ඇති කරගෙන තිබූ අතර, එය ගුවනින් පරිප්පු දැමීම දක්වා ව්‍යාප්ත විය. එම අවස්ථාවේ රටේ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන පක්ෂ නායකයන් ගෙන්වා සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඉතා ඉවසිලිවන්තව ක්‍රියා කළේය. එහෙත් එවකට අගමැතිවරයා වූ ආර්. ප්‍රේමදාස පසු වූයේ ඉන්දියාව සමඟ යුද වැදිය යුතුය යන්න ස්ථාවරයේය. එයින් නොනැවතුණු ඔහු ඉන්දීය රජය විවේචනය කරමින් ආවේගශීලී කතාවක් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කළේය. ඉන්දියාව අපේ ගුවන් සීමා උල්ලංඝනය කොට යාපනයට පරිප්පු දැම්මේය.

වළං කඩයකට ගොනකු පැන සියල්ල පොඩි පට්ටම් කර දමන ආකාරයකින් දේශපාලන නායකයන් හැසිරෙත් ද ඉන් කියැවෙන්නේ එම පක්ෂයට හා නායකයාට දේශපාලන වශයෙන් අනාගතයක් නැති බවය. සමඟි ජන බලවේගය බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ පොදුජන පෙරමුණෙහි ලේකම්වරයාගේ කියමනකට මුළා වී යැයි සිතන්නට කරුණු තිබේ. කෙනකුගේ පෞද්ගලික මත දැක්වීමකට අනුව ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම බොළඳ තීරණයකි. සජිත් ප්‍රේමදාස එම මෝඩ තීරණය ගත්තේය. අවසන් ලෙස ආණ්ඩු පක්ෂය එය හොඳින් පාවිච්චි කරමින් වඩාත් ශක්තිමත් විය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ තුළ පොදුජන පෙරමුණ කෙරෙහි යම් අමනාපයක් තිබුණේ ද. විශ්වාසභංග යෝජනාව නිසා එයත් පහව ගියේය. ඒ අතින්ද විශ්වාසභංග යෝජනාව තකතීරු මෝඩ වැඩක් ලෙස හැඳින්වීම නිවැරැදිය.

තෙල් හා තෙල් මිල සම්බන්ධ ගැටලුවක් ශ්‍රී ලංකාවට තිබේ. එය දීර්ඝ කාලයක සිට පවතින අතර, රට මුහුණ දෙන බලශක්ති අර්බුදයේ කොටසක් ලෙස ද හඳුනාගත හැකිය. නිදහසින් පසු සෑම ආණ්ඩුවක් ම පාහේ ඊට මුහුණ දී ඇති අතර, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ අරමුණින් තෙල් මිල ඉහළ නැංවූ අවස්ථා ද ති‍‍බේ. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන් අන්දමට සෑම ආණ්ඩුවක්ම තෙල් මිල ඉහළ දමා තිබේ. මීට ස්ථාවර විසඳුමක් සෙවීම සඳහා එක්කෝ තෙල් නිධි සොයා කැණීම් කටයුතු කළ යුතුය. නැතහොත් තෙල් සංචිත පවත්වා ගනිමින් මිල ස්ථායීකරණයකට යා යුතුය. ඒ දෙකෙන් එකක් කිරීමට කිසිදු ආණ්ඩුවක් සමත් වී නැත. වත්මන් ආණ්ඩුවට එබඳු සැලැසුමක් ඇති බව පෙනෙන්නට තිබේ. එය සාධනීය ලක්ෂණයකි.

මේ විවාදයේදී බලශක්ති අමාත්‍යවරයා ඉදිරි සැලැසුම් කිහිපයක් ගැන කරුණු දක්වා ඇත. ඒ අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දීය සමාගම වෙතින් නැවත පවරා ගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. තෙල් ගබඩා කිරීම සඳහා අලුතින් ටැංකි පිහිටුවීමට ද යෝජනා වී ඇත. තෙල් පිරිපහදුව සඳහා ද ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. වඩාත් වැදගත් වන්නේ තෙල් නිධි සොයා කැණීම් කටයුතු සිදුකිරීමට ආණ්ඩුව අදහස් කර තිබීමය. අපට අයත් මුහුදු සීමාව තුළ ස්ථාන කිහිපයක තෙල් නිධි ඇති බවට කරුණු හෙළිදරව් වී තිබේ. තෙල් නිධි සොයා කැණීම් කටයුතු සිදු කිරීම සේම ඊට අදාළ සමාගම් සමඟ එකඟතාවකට පැමිණීමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සඳහා වැය වන මුදල ද අධිකය. ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට තෙල් නිධි සොයා කැණීම් සිදු කිරීමත් ළඟදීම ආරම්භ වනු ඇත.

ආණ්ඩුව ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහි වීම සාර්ථක විපක්ෂයක කාර්යභාරය නොවේ. හොඳ - නරක දේශපාලන අවස්ථා ආදිය නිරීක්ෂණය කරමින් ආණ්ඩුවට එරෙහි මතවාදය ගෙන යා යුතුය. එහෙත් වර්තමාන විපක්ෂය ජනතාවට සුබවාදී ප්‍රතිඵල ගෙන දෙන වැඩසටහන්වලට ද විරුද්ධ වෙයි. එන්නත්කරණය කඩාකප්පල් කිරීමට විපක්ෂය සැලකිය යුතු උත්සාහයක් ගත්තේය. එහෙත් අද වන විට එය පරාජය වී ඇත. කාබනික ‍කෘෂිකර්මයට එරෙහිව විපක්ෂය ගෙන යන විරෝධතා මේ වන විට ක්ෂය වෙමින් පවතී. ගොවියෝ ඉතා ශීඝ්‍රයෙන් කාබනික වගාවට හුරු වෙති. බඩු මිල, තෙල් මිල කවදත් විවේචනයට ලක්වන සාධක ලෙස හැඳින්විය හැකිය. යහ පාලන ආණ්ඩුව හඳුන්වා දුන් තෙල් මිල සූත්‍රය පැවැතියේ නම් තෙල් මිල මීටත් වඩා ඉහළ යනු ඇත. ආර්ථිකයේ යථාර්ථය ජනතාව වටහාගත් දාට විපක්ෂයේ විරෝධතා ඉබේම නවතිනු ඇත.

උදය ගම්මන්පිල මහතා පෙන්වා දුන් ආකාරයට සමඟි ජනබලවේගය ඉදිරිපත් කළ පොඩි එකාගේ ලියුම බලවත් පරාජයකට ලක් විය. විශ්වාසභංගය සකස් කළ අය ද, එය ඉදිරිපත් කළ අය ද, ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අය ද මේ තත්ත්වය මත බලවත් හෑල්ලුවකට ලක් වූහ. ඔවුන්ගේ දේශපාලන ගමනට එය සුභදායක නැත. සමඟි ජන බලවේගය යනු අලුත් පක්ෂයකි. නැතහොත් ළදරු පක්ෂයකි. ඊට පරිණත නායකයන් නැති බව ද දේශපාලන බුද්ධියක් සහිත විචක්ෂණශීලී පුද්ගලයන් නැති බව ද ඉහත සිද්ධියෙන් සනාථ වෙයි. සජිත් ඉදිරි ගමනක් අපේක්ෂා කරන්නේ නම්, මීට වඩා සබුද්ධික විය යුතුය.

නව අදහස දක්වන්න