ඔලිම්පික් පැමිණි 70කට දැනට කොරෝනා හැදුණත් උලෙළ අවලංගු නොවන බව ජගත් කමිටු සභාපති කියයි | දිනමිණ

ඔලිම්පික් පැමිණි 70කට දැනට කොරෝනා හැදුණත් උලෙළ අවලංගු නොවන බව ජගත් කමිටු සභාපති කියයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා කණ්ඩායමේ 75%ක පිරිසක් ටෝකියෝ ගම්මානයට ඇවිත්

ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයන් 70 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය වැලඳී තිබුණද ක්‍රීඩා උලෙළ අවලංගු කිරීම කිසි විටෙකත් ඒ සඳහා විකල්පයක් නොවන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් මහතා පවසයි. ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය හෙට (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සියලු කටයුතු නියම කරගත් පරිදි සිදු කිරීම සැලසුම වී තිබේ. 

කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය වසරේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ වසරකින් කල් ගිය අතර, එය වසර 124ක ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට වූ සිද්ධියකි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට පෙර පාපන්දු හා සැහැල්ලු පන්දු තරග ආරම්භ වී ඇති අතර, හෙට පෙරවරුවේ දුනු විදීමේ තරග පැවැත්වීමට නියමිතව ඇත. මේ තරගවලට කොරෝනා වයිරසයෙන් කිසිදු බලපෑමක් ඇතිව නැතැයි සංවිධායකයෝ පවසති. මේ සියලු තරග සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ හිස් ක්‍රීඩාංගණ තුලදී පැවැත්වීමෙන් කොරෝනා වයිරස ව්‍යාප්තිය සිදු නොවන බව සංවිධායකයෝ අවධාරණය කරති.

ඔලිම්පික් උලෙළේ සත්කාරක නගරය වන ටෝකියෝහි පෙරේදා වනවිට කොරෝනා වයිරස ධනාත්මක පිරිස 1400ක් පමණ වී තිබූ හෙයින් තව තවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද දැඩි කරමින් ක්‍රීඩා උලෙළට කොරෝනා මගින් වන බලපෑම අවම කිරීමට රජය සූදානමින් සිටී. ජපානයේ ටෝකියෝ නුවර මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට ඇති අතර, එය අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක වේ.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් උලෙළට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියයට හැත්තෑපහක පමණ පිරිස ඔලිම්පික් ගම්මානයට පිවිස ඇතැයි කණ්ඩායම් ප්‍රධානී ගාමීණී ජයසිංහ මහතා ‘දිනමිණ‘ට පැවැසීය. පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ, ක්‍රීඩිකා අනිකා ගෆූර්, ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානී, වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල, බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න හා ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන දැනටමත් ඔලිම්පික් ගම්මානයට පැමිණ සිටින අතර, ඔවුන්ගේ පුහුණුකරුවන් සමග පුහුණුවීම් ද ආරම්භ කර තිබේ.

අශ්වාරෝහක පැනීමේ ඉසව්ව නියෝජනය කරන මැටිල්ඩා කාල්සන්, කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කරන නිමාලි ලියනාරච්චි හා මීටර් 100 ක්‍රීඩක යූපුන් අබේකෝන් පමණක් ටෝකියෝ නුවර වෙත තවමත් පැමිණ නොමැති බවත්, එම පිරිස ඔවුන්ගේ පුහුණුකරුවන් සමග අදියර තුනකින් හෙට සිට ඔලිම්පික් ගම්මානයට පැමිණෙන බවත් ජයසිංහ මහතා පැවැසීය.

අශ්වාරෝහක පැනීමේ ඉසව්ව නියෝජනය කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් ජර්මනියේ සිට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සහිත විදෙස් ගමන් බලපත්‍රයකින් තවත් සිවුදෙනකු සමග ටෝකියෝ වෙත පැමිණෙනු ඇත. අශ්වාරෝහක පැනීමේ තරගය වෙනුවෙන්ම ඇය යුරෝ මිලියන 6ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 142ක්) වටිනා අශ්වයකු සමග ටෝකියෝ වෙත පැමිණීම මෙහි ඇති විශේෂත්වයකි.

නව අදහස දක්වන්න