අගපෙළ පිතිකරුවන් මෙල්ල කරන්න පන්දු යවන්නන් දැන ගත යුතුයි | දිනමිණ

අගපෙළ පිතිකරුවන් මෙල්ල කරන්න පන්දු යවන්නන් දැන ගත යුතුයි

ඉන්දියාව හමුවේ එක දිගට එක්දින තරගාවලි 9ක් පරාදයි

ශ්‍රී ලංකා පිල පෙරේදා ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 3කින් පරාජයට පත්වීමෙන් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයග්‍රහණය ඉන්දීය පිලට හිමි විය. එය ශ්‍රී ලංකා පිලට එරෙහිව ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව ජයගත් 9 වැනි එක්දින තරගාවලිය ලෙස වාර්තා පොතට එක්විය.

දෙවැනි වරටත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 9කට රැස් කළ ලකුණු 275 හඹා ගිය ඉන්දීය පිල තරගය ජයගත්තේ අවසන් ඕවරයේ පළමු පන්දුවෙනි.

ඉන්දීය ඉනිමේ 36 වැනි ඕවරය වනවිට ලකුණු 193කට කඩුලු 7ක්ම බිඳ වැටීමෙන් තරගයේ ජය ශ්‍රී ලංකා පිල දෙසට හැරී තිබුණු අතර, අනපේක්ෂිත අයුරින් පිතිහරඹයේ නිරත වූ අගපෙළ පිතිකරුවන් ජයග්‍රහණය උදුරා ගත්තේ 8 වැනි කඩුල්ලට ලකුණු 84ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි.

‘ප්‍රතිඵලය ගැන කනගාටුයි. අපිට තරගය දිනාගන්න තිබුණා. පන්දු යවන්නන් විදිහට කණ්ඩායමට එක්වුණු ක්‍රීඩකයන් තරගය ගොඩ දානවා කියන්නේ අපේ පන්දු යවන්නන්ට තව ඉගෙන ගත යුතු දේවල් තියෙනවා කියලයි මම හිතන්නේ. අපි තරුණ කණ්ඩායමක්. අපි මෑත කාලයේ ජයග්‍රහණ අඩුවෙන් ලැබූ කණ්ඩායමක්. ඉතින් මේ ජයග්‍රහණය අපිට ගොඩාක් අවශ්‍ය වුණා. හරිම දුකයි පරාජය වීම ගැන.‘ තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පිලේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක එසේ කීවේය. ඔහු ලකුණු 65ක් රැස් කළ අතර, එය ඔහුගේ පළමු එක්දින අර්ධ ශතකය විය.

‘අපි ඕවර 35ක් 40ක් වෙනකල්ම තරගය පාලනය කළා. ඒත් ඊට පස්සේ ඒක අපෙන් ගිලිහිලා ගියා. ‘ඔහු පැවැසීය.

ඉන්දියාව තරගය ජයගත්තේ පිතිකරුවන් බහුතරය යළි ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටියදීය. කඩුලු 7ක්ම බිඳ වැටීම නිසා තරගයේ වාසිය මුළුමනින්ම ශ්‍රී ලංකා පිලට හිමිවී තිබුණත් පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වූ දීපාක් චාහර් සහ බුවනේශ්වර් කුමාර් එක්ව කඩුලු රැක ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියේ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් ගෙන දෙමිනි.

අන්තර්ජාතික එක්දින තරග බිමේදී එක් කණ්ඩායමකට එරෙහිව මීට පෙර අඛණ්ඩව තරගාවලි 9ක් ජයගත් අවස්ථා වාර්තා වූයේ දෙකක් පමණි. පාකිස්තානය සිම්බාබ්වේ පිලට එරෙහිව අඛණ්ඩව එක්දින තරගාවලි 11ක් ජය ගැනීමට සමත් වූ අතර, ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක්දින තරගාවලි 10ක් අඛණ්ඩව ජය ගෙන තිබිණි.

නව අදහස දක්වන්න