ඔලිම්පික් සමාරම්භයට සියල්ල සූදානම් | දිනමිණ

ඔලිම්පික් සමාරම්භයට සියල්ල සූදානම්

ප්‍රින්ස් ගුණසේකර
මාකෝ බාලිච්

ටෝකියෝ නුවරදී හෙට ඇරඹෙන ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය නරඹන්නන් නැති වුවද ඉතා අලංකාර ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඔලිම්පික් සමාරම්භයට සම්බන්ධ නර්තන ශිල්පීන්, නළු නිළියන් සහ විදුලි පහන් සමූහයේ ක්‍රියාකාරී ශිල්පීන් ඊයේ දිනයේ මූලික පුහුණුවකට සූදානම්ව සිටි අතර, ආරම්භක උත්සවයේ විධායක නිෂ්පාදක මාකෝ බාලිච් මහතා පවසන්නේ එය ඉතා විචක්ෂණශීලී කාර්ය සාධනයක් වනු ඇති බවය.

"එය වඩාත් විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් වෙයි. අවාසනාවට එය සජීව ලෙස නරඹන්නන්ට ක්‍රීඩාංගණයේ සිට බැලීමට හැකියාවක් නෑ. නමුත් බිලියන ගණනක ජනතාවක් රූපවාහිනියෙන් මෙහි ආශ්වාදය ලබයි. ලස්සන ජපන් සෞන්දර්යය සමඟින්, සමාරම්භක උලෙළ යථාර්ථයක් වෙයි " මාකෝ බාලිච් මහතා මාධ්‍ය වෙත පැවැසීය. ඒ මහතා 2016 රියෝ ද ජැනෙයිරෝ ඔලිම්පික් උලෙළේ සමාරම්භක උලෙළේ කටයුතු සංවිධාන භාරව සිටියේය. එම රියෝ ඔලිම්පික් උලෙළේ සමාරම්භක අවස්ථාව මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ වර්ණවත් මෙන්ම අභිමානවත් සමාරම්භක අවස්ථාවක් බව විශාල ප්‍රසංශා හිමිවීමෙන් ටෝකියෝ සමාරම්භක අවස්ථාව නිර්මාණය කිරීමට මෙයට වසර 4කට පෙර ඔහුට භාර විය.

බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් මේ වනවිටත් ඔලිම්පික් ගම්මානය වෙත පැමිණ සිටියද, සියලු දෙනාටම ඔලිම්පික් සමාරම්භක අවස්ථාව විවර නොවේ.

අවම වශයෙන් දින තුනක් හෝ ඔලිම්පික් ගම්මානය තුළ නිරෝධායනය නොවුණ කිසිවකුට හෝ ඔලිම්පික් සමාරම්භක උලෙළට සහභාගීවීම තහනම් කොට ඇත. කොරෝනා වයිරස පරීක්ෂණයකින් අනතුරුව ඔලිම්පික් සමාරම්භක උත්සවයට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනම ප්‍රවාහන පද්ධතියකින් ක්‍රීඩාංගණයට ගෙන යෑමට කටයුතු යොදා තිබේ.

නව අදහස දක්වන්න