පසිඳු සහ කවිඳු ආසියානු යෞවන බොක්සිං වළල්ලට | දිනමිණ

පසිඳු සහ කවිඳු ආසියානු යෞවන බොක්සිං වළල්ලට

ෆවුස් මොහොමඩ්
පසිඳු මිහිරාන් (නිල්) සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී. ඡායාරූපය- රුක්මාල් ගමගේ

හොරණ විද්‍යාරත්න විද්‍යාපීඨයේ පසිඳු උමයංගන මිහිරාන් සහ පිළිමතලාවේ ශ්‍රී ධීරානන්ද විදුහලේ කවිඳු මධුෂාන් කුමාරසිංහ ආසියානු යෞවන හා කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියට සුදුසුකම් ලබා සිටිති.

ලබන අගෝස්තු මස 17 සිට 31 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි නුවරදී පැවැත්වෙන මේ ශූරතාවලියට පසිඳු සහ කවිඳු සුදුසුකම් ලැබුවේ පසුගියදා ශ්‍රී ලංකා බොක්සිං ආයතනය විසින් මෙහෙයවනු ලැබූ සුදුසුකම් ලැබීමේ තරගාවලියකිනි.

අන්තර්ජාතික යොවුන් බොක්සිං වළල්ලේ අත්දැකීම් ඇති මේ ක්‍රීඩකයන් දෙදෙනා මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ෆුජෙයිරා නුවර පැවැති ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියට සහ කුවෙට් හි පැවැති බොක්සිං ශූරතාවලියට ද සහභාගි වී තිබේ.

ආසියානු යෞවන හා කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සඳහා ක්‍රීඩකයන් සහභාගි කිරීමට බොක්සිං ආයතනයේ සභාපති ඩයන් ගෝමස් මහතා මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

නව අදහස දක්වන්න