රාජ්‍ය හා පෞද්ගලික අංශ ජාලයක් ලෙස නැඟී සිටීම නව ජගත් ප්‍රවණතාවක් - ජනමාධ්‍ය ඇමැති | දිනමිණ

රාජ්‍ය හා පෞද්ගලික අංශ ජාලයක් ලෙස නැඟී සිටීම නව ජගත් ප්‍රවණතාවක් - ජනමාධ්‍ය ඇමැති

උපාලි කරුණාරත්න
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟින් පවත්වා ගෙන යනු ලබන කතරගම නිවාඩු නිකේතනය නවීන පහසුකම්වලින් සමන්විත කර, නව වෙබ් අඩවියක් හඳුන්වා දීම ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහත්වරුන්ගේ සහ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සිදු කෙරුණු අයුරු. ඡායාරූපය - සාලිය රූපසිංහ

රාමුවෙන් මිදී ලේක්හවුස් පරිපාලනය ආයතනය ගොඩනඟනවා

ලෝකයේ නව ප්‍රවණතාවන්ට මුහුණ දෙමින් රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා යෑම වැදගත් බව ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පවත්වාගෙන යනු ලබන කතරගම නිවාඩු නිකේතනය නවීන පහසුකම්වලින් සමන්විතව නවීකරණය කර ඒ සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දීමේ අවස්ථාවට ඊයේ (21දා) සහභාගි වෙමිනි. ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්විණ.

වත්මන් රජය කිසිසේත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකරන බවද එහෙත් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා සෞභාග්‍යයේ දැක්ම තුළ ඉඩක් පවතින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ලොව නව ප්‍රවණතාව රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන් තනිව නැඟී නොසිට එක් එක් ක්ෂේත්‍ර ජාලයක් ලෙසින් නැඟී සිටීම බවත් ඒ තුළ බොහෝ රටවල් වඩාත් ශක්තිමත්ව වර්ධනය වූ බවත් ඇමැතිවරයා මෙහිදී කීය. මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතන සතුව ඉතා වටිනා සම්පත් ප්‍රමාණයක් පවතින බවත් ඉලක්කගත මූලික වැඩපිළිවෙළක් ඔස්සේ සාර්ථක කර ගන්නා අතරම බාහිර අනෙකුත් ක්ෂේත්‍රද ජය ගත හැකි බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

පවතින කොවිඩ් ව්‍යසනය හමුවේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ මිලියන 400ක් වන එක් දිනක් තුළ ලැබූ වැඩිම අදායම තැපැල් දෙපාර්තමේන්තුව ලැබූ බවද කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රෝගීන්ට සායන කරා යෑමට නොහැකි බැවින් කුරියර් සේවාවක් හරහා නිවෙසේ ඖෂධ පැකට් දීමට මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයිද ආරම්භයේදී නොමිලේ සැපයූ එම සේවාව මේ වන විට ඉතා අඩු සාධාරණ අය කිරීමක් යටතේ සිදු වන බවද ඇමැතිවරයා කීය.

ලේක්හවුස් ආයතනය මෙරට කීර්තිමත් ආයතනයක් බවද පවතින ගෝලීය පීඩනය හමුවේ ක්ෂේත්‍ර රාමුවෙන් පිටට ගොස් ආයතනය ගොඩනැංවීම සඳහා සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ සෑම දෙනා සිදු කරන කැප කිරීම අගය කරන බවද කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

කාමර 30කින් සමන්විත මෙම නිවාඩු නිකේතනයෙහි අති සුඛෝපභෝගී කාමර 12ක්ද ඇතුළත්ය. ඇමැතිවරයා අතින් නව වෙබ් අඩවිය එළි දැක්වූ අතර www.lakehouserest.lk ලිපිනයට පිවිසීමෙන් නිවාඩු නිකේතනය පිළිබඳ තොරතුරු ගත හැකිය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්, මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

ඡායාරූපය - සාලිය රූපසිංහ

නව අදහස දක්වන්න