ජනතාව පීඩාවට පත් නොකිරීම දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමයි - මුදල් ඇමැති | දිනමිණ

ජනතාව පීඩාවට පත් නොකිරීම දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමයි - මුදල් ඇමැති

උපාලි කරුණාරත්න

වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයන්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් යැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මුදල් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (20) අරලියගහ මන්දිරයේදී මහජන නියෝජිතයන්, ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් හමු වූ අවස්ථාවේදීය.

එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, එහිදී මුදල් ඇමැතිවරයා අවධාරණය කළේ , ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මූලිකත්වය දෙමින් එන්නත් මිල දී ගැනීම සඳහා කිසිදු කොන්දේසියකින් තොරව මුදල් වෙන් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

එසේම එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසමින් රට පූර්ණ වශයෙන් විවෘත කිරීමට රජයේ ප්‍රමුඛතාව දී ඇති හෙයින් කඩිනමින් රටේ ආර්ථික අංශ ක්‍රියාවට නැංවිය හැකි බවටද ඇමැතිවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

හරිත ශ්‍රී ලංකාවක් වැඩපිළිවෙළ යටතේ රටේ අනාගත පරපුරට බලපාන ප්‍රධාන කරුණු විසි හතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර, එම යෝජනා සාර්ථක කර ගැනීම සඳහා සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් සකස් කර ඇති බවද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

තාක්ෂණය ආශ්‍රිත රැකියා මඟින් මේ වන විටත් බිලියන 1.2ක පමණ ආදායමක් මෙරටට ලැබෙන අතර, විදේශ රටවල් පවා මෙරට තාක්ෂණවේදීන්ගේ සහාය ගන්නා ප්‍රවණතාවක් ඇති හෙයින් එවැනි ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා මේ හමුවේදී සඳහන් කළේය.

ඉදිරි ආර්ථික වැඩපිළි‍වෙළ සහ එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ මුදල් ඇමැතිවරයා ඒ අනුව ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා වූ යෝජනාවලට මූලිකත්වය දෙන ඉදිරි මාස 6ක කාලය තුළ වඩාත් අවධානයෙන් සහ පසු විපරමින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන්නේය.

ආයෝජකයන් අපහසුතාවට පත් වන අවස්ථා විධිමත්ව හඳුනා ගෙන එවැනි අවස්ථා අවම කරමින් ආයෝජකයන් දිරිමත් කිරීමේ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බවද මුදල් ඇමැතිවරයා මෙහිදී පවසා සිටියේය.

තමා මුදල් ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු අර්ථ සාධක අරමුදලෙන් 14%ක බද්දක් අය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බවද මෙහිදී මුදල් ඇමැතිවරයා අවධාරණය කළේය.

ජනතාවගේ අවශ්‍යතාවලට මුල් තැන දෙමින් අනවශ්‍ය වියදම්, නාස්තිය, දූෂණය අවම කරමින් මනා මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේ සියලු මහජන නියෝජිතයන්ගේ ආණ්ඩුකාරවරුන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේත් සහාය බලාපොරොත්තු වන බවද බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මේ අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න