සති අන්තයේ සීමා පැනවීමේ සූදානමක් නැහැ - යුද හමුදාපති | දිනමිණ

සති අන්තයේ සීමා පැනවීමේ සූදානමක් නැහැ - යුද හමුදාපති

සුභාෂිණී සේනානායක

සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් යෙදී තිබුණද රට තුළ දැඩි සංචරණ සීමා පැනවීමේ සූදානමක් නැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා පමණක් තවදුරටත් ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා කීවේය.

ප්‍රතිශක්තිකරණ එන්නත මේ වන විට ලබා දෙමින් පවතින බවත් ඒ මහතා කියා සිටියේය. එන්නත ගත්තද සෞඛ්‍ය නිර්දේශ මත ක්‍රියා කළ යුතු වන බවත් අවශ්‍යම කාරණාවකට හැර නිවෙසින් පිටව නොයන ලෙසත් නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් හමුදාපතිවරයා ඉල්ලා සිටියේය. සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතෙන් පිටවීමට සහ ඇතුළුවීමට තැත් කරන පුද්ගලයන් ආපසු හරවා යවන බවත් සති අන්ත නිවාඩු දිනවල සියලු පළාත් මායිම්වල ප්‍රවේශ ස්ථාන සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

නව අදහස දක්වන්න