මධ්‍යම චීනයට මහ වැසි | දිනමිණ

මධ්‍යම චීනයට මහ වැසි

- ගංවතුරට හසු වූ පුද්ගලයන් 12ක් මිය ගිහින්
- තවත් ලක්ෂයකට අධික පිරිසක් නිවාසවලින් ඉවත් කරයි

මධ්‍යම චීනයට ඇද හැලුණු වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් උද්ගත වූ දැවැන්ත ගංවතුරට හසු වූ පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇතැයි ද, තවත් ලක්ෂයකට අධික පිරිසක් නිවාසවලින් ඉවත් කිරීමට සිදු වී ඇතැයි ද බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

එහි පළාත් අගනුවර වන ෂෙන්ෂෝ සහ හෙනන් පළාතේ නගර ගණනාවකට අධික ප්‍රමාණයක ජනතාව මේ ගංවතුර තත්ත්වය මත පීඩාවට පත්වී ඇත.

පසුගිය බදාදා දිනයේ ෂෙන්ෂෝ නුවර මුළුමනින්ම ජලයෙන් යටවී තිබූ බවත්, මාර්ග ගණනාවක් සහ දුම්රිය මාර්ග රැසක් ජලයට හසු වූ බවත් වීන පුවත් සේවා වාර්තා කර තිබේ.

මෙය තීරණාත්මක තත්ත්වයක් ලෙස හඳුන්වන චීන ජනාධිපති ෂි ජින් පින් සැලකිය යුතු තරම් ජීවිත හා දේපළ හානි සිදුවී ඇති බැවින් මහජනයාගේ දේපළ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස ඔහු දැනටමත් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මිලියන 94ක් පමණ ජනතාව ජීවත්වන හෙනන් පළාතේ කාලගුණ තත්ත්වය දරුණු අතට හැරී ඇති බැවින් අනතුරු ඇඟවීම් සිදු කර ඇති අතර, මෙවැනි දැවැන්ත වර්ෂාපතනයක් වාර්තා වූයේ වසර 100කට පමණ පසුව බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව කියා සිටී.

ඉදිරි දින කිහිපයේදී හෙනන් පළාතට තව දුරටත් අධික වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත. ආපදාවට පත් සියලු නගරවල ප්‍රවාහන සේවා අවලංගු කර ඇති අතර, එම පළාත්වල රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් 600ක් පමණ වෙනත් නගරවල රෝහල් කරා මාරු කර යැවීමට ද පියවර ගෙන ඇත.

නව අදහස දක්වන්න