අල්ලන් මුළු සිහළ රටම කඳ සුරිඳුගෙ ලබා පිහිට | දිනමිණ

අල්ලන් මුළු සිහළ රටම කඳ සුරිඳුගෙ ලබා පිහිට

 

පලඟ හා පත්තිනි දළ හා ගිරිදේවී, දීඝ ගාමිණි හා චිත්‍රා, සාලිය හා අශෝකමාලා මෙන්ම, දස්කොන් හා ප්‍රමිලා යන සංසාරගත ප්‍රේමවන්තයින් ප්‍රේම පුරාණයේදී අපට හමුවන්නේ, තථ්‍ය ප්‍රේමයක රම්‍යතාවයේ නම්‍යතාවයේ සැබෑව වත්මන් පෙම්වතුන්ට පෙම්වතියන්ට උත්තේජනයක් ලෙසිනි. එය වඩාත්ම ප්‍රශක්තිමත් කැරෙමිනි. ප්‍රබල දෙවියකුගේ හා සුවිමල පුලින්දංගනාවකගේ සුවිසෙස් ලීලෝපේත ආලබන්ධන ප්‍රේමාන්දරය දිග හැරෙනුයේ.

ඔහු ස්කන්ධ හෙවත් කතරගම දෙවියන්ය. ඇය සුජාසුන්දර සුරූපී වැදි තරුණියක වූ වල්ලීය. ඔවුනොවුන්ගේ ප්‍රේම පරාදීසය වූයේ සෙල්ල කතරගමය. කතරගම පුදසිරිත් කෘතියේලා දැක්වෙන්නේ (පිටුව 93) වල්ලි “පැංචි” වියේ සිටම සෙල්ලම් කළ මැණික් ගඟට සමීප වැදිගම් කැලෑරොද සෙල්ලි නම් වූ බවත්, (සෙල්ලි යනු වල්ලී කෙළිදෙලෙන් ගත කළ ස්ථානය බව සිංහල දේව පුරාණයේ 454 පිටුවේ දැක්වේ.) එම ස්ථානය ස්කන්ධ විසින් වල්ලී විවාහ කරගත් පසුව සෙල්ලී - සෙල්ල වූ බවත් කතරගම ඇතැම් ගැමීහු පවසති.

මේ අතර ස්කන්ධ වූ කලී, කඳකුමරු හෝ කාර්තික හෝ කන්දකුමරු හෝ කන්දප්පා යන නාමයන්ගෙන් සමන්විත වූ මහේෂ්වර හෙවත් ශිවගේත්, පාර්වතී හෙවත් ගංගාගේත් අතිජාත පුත්‍ර රත්නයක්. (කාලිදාසගේ කුමාර සම්භාව්‍ය කෘතියේ 81 පිටුව)

තවද, බුද්ධ වර්ෂයට පෙර කතරගම විසූ මහාසේන රජු නමැති කතරගම ප්‍රාදේශීය පාලකයා මහාසෙන් දෙවියන් ලෙසින් ජන ගෞරවයට පාත්‍රව සිට මිය ගොස් කතරගම ඉපදී පසු කලෙක කතරගම දෙවියන් වූ බවත් කතරගම දේව පුරාණ ග්‍රන්ථයේ සඳහන්ය. (පි. 167)

සම්බුදු හිමියන්ගේ දිවමන් කාලයේ කතරගම නම්වී තිබුණ ගම් කීපයකි. එනම් කච්චරගාම, කදරගාම, කදිරාපුර, කාචරගම හා දැන් වහරේ පවතින කතරගම ලෙසිනි. බුදුන් වහන්සේ කතරගමට හෙවත් කාචර ගාමයේ “කිහිරි” වනයට වැඩ සිටි සමයේ, එහි “කිහිරි” ගසක් සමීපයේ මහාඝෝෂ හෙවත් මහාසේන නමැති ප්‍රාදේශීය නායකයා විසින් පනවන ලද අසුනෙහි වැඩ සිට ප්‍රදේශවාසී පිරිසට දම්දෙසූ බවත්, එම ස්ථානයේ මහාසේන පාලකයා සෝවාන් ඵලයට පැමිණ, කිරිවෙහෙර ඉදිකිරීමේ පුරෝගාමියා වූ බවත්, බුදු හිමියන්ගේ තෙවැනි ලංකා ගමන මෙසේ සිදුවු බවත් මහාවංශයේ 10 පිටුවේ දැක්වේ.

කේස ධාතු, බුද්ධ පාරිභෝගික මැණික් අසුනද නිදන් කෙරෙමින් මහාසේන රජු විසින් කතරගම කිරි වෙහෙර සෑදු බවට කිරි වෙහෙර වන්දනා ගාථාවක දැක්වන්නේ මෙසේය. “මුනින්දෝ නිසින්නෝ යහිං දේවතානං සමේතාන මග්ගං සුදේසේසි ධම්මං මහාසේන දේවස්ස සම්මාන නියං නමේතා වරග්ගාම ථුපස්ස ඨානං”

සාක්‍ය මුනින්දා තෙමේ රැස්වූ දෙවියන්ට යම් තැනකදී අග්‍ර ධර්මය දෙසන සේක්ද එතැන් හි මහාසේන රජු විසින් කරවන ලද කතරගම කිරි වෙහෙරට නමස්කාර කරමි. අද ද මේ නමස්කාරය කිරි වෙහෙර පුදබිමේ ඇසිය හැකිය.

රුහුණු කතරගම ක්‍රි. පූ. දෙවන ශතවර්ෂයේ සකල ශ්‍රී ලංකාවම තමා නතුකර ගැනීමට තදාසන්නව ‘දුට්ඨගාමිණි අභය’ රජු කතරගම පුණ්‍යභූමියේදී කතරගම දෙවියන් හමුවී සංග්‍රාමයට තමා යන්නේ මුළු මහත් දේශයම එක්සත් කිරීමට බවත්, ඊට තමන් වහන්සේ ජයග්‍රහණය කරදෙන්නට පිහිටවෙන ලෙසත් අයැද සිටියේ ය. ඉනික්බිතිව කතරගම දෙවි පිහිටෙන් රජු සතුරන් පරදවා ජයග්‍රහණය කළ අතර ඊට කෘතෝපකාරයක් වශයෙන් තමා කළ යුත්තේ කුමක්දැයි දෙවියන්ගෙන් ඇසූ කළ වැඩසිටි කන්දේ සිට තමා හී සැරයක් ඒ පුදබිමට එවූ විට, එය වැටෙන තැන දේවාලයක් සාදා දෙන්නට කඳ සුරිඳු රජුට ප්‍රකාශ කළෙන් රජතුමා ඊට අවනතව අති පාරිශූද්ධත්වයෙන් අග්‍රවන සේ අතු ඉති සෙවිලි කැරෙමින් ස්වභාවික දෙවොලක් ගොඩනඟාලීය. ඒ අතුපන්දර ඉති සෙවිලි කළ දේවාලයේ පවත්වන මංගල්ල එදා සිරිත් පරිදි ආරක්ෂා කරගන්නා අයුරින් “අතුපන්දල” මංගල්ලය නමින් උත්සවයක් වසරක් පාසා පැවැත්විය.

ඒසා ස්ථාපිත කතරගම පුද බිමේ පවතින අතර, එය සර්වාගමික දේවාලයක් බවට පාත්‍රව ඇත. මෙම පුදබිමේ රෝපිත බෝධීන් වහන්සේ අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේ නමකි. කතරගම පුදබිමේ වාර්ෂිකව පැවැත්වෙන මංගල්ල තුනෙකි. ඒවා ඇසළ පෙරහර, කාර්තික මංගල්ලය හා අලුත් අවුරුදු මංගල්ලය නම් වෙයි. මේවායින් අතිශය අලංකෘත වන නෘත්‍යංග රැසකින් සමන්විත ජනගඟක් ගලා බසින මහා පෙරහරකි කතරගම ඇසළ පෙරහර. රුහුණු පුරවරයට පුණ්‍ය භූමියක් වූ කතරගම සම්බුද්ධෝත්තමයාණන් වහන්සේ වැඩ සිටි සොළොස්මහස්ථානයන්ගෙන් එකකි. එය වූ කලී

“මහියංගනං නාගදීපං කල්‍යාණං පදලාඤ්ඡනං දිවාගුහං දීඝවාපී ඤේතියංච මුතිංගණනං තිස්සමහා විහාරඤ්ච බෝධිං මරිචවට්ටියං සොණ්ණමාලි මහා චෛත්‍යං ථුපාරාම භයාගිරිං ජේතවනං සෙලචෛත්‍යං තථාකාචරගාමකං ඒතේ සොළසඨානානි අහං වන්දාමි සබ්බදා අහං වන්දාමි ධාතුයො අහං වන්දාමි දුරතො”

එසේම අනාදිමත් කලක සිට කතරගම පුදබිමේ වැඩ සිටින බෝධීන් වහන්සේ හා කිරි වෙහෙර අඛණ්ඩව බොදුනුවන් විසින් රැකගන්නා අතර, කෛලාස දෙවොලේ සිට (ටිබෙට් රටේ) පිළිවෙළින් බරණැස් පූරී, රාමේශ්වරම්, තිරුවන්නා මලෙයි, යන හින්දු දේවාලදාමයේ රුහුණු දේවාලයද හින්දුන්ගේ පුද පූජා අත්‍යාලංකාර අයුරින් පැවැත්වේ.

කතරගම දෙවියන් “කන්දප්පා” ලෙසද කෝල්මුර කවිවල ඇසිය හැක. එසේම ඒවායේ සෙල්ල කතරගම දැක්වෙන්නේ “සෙල්ලංදූව” ලෙසිනි. එවන් මල්යහන් කෝල්මුර පැදියකි මේ.

“සල්ලංකර සතුරු බලය ගැමුණූ නිරිඳු වැද සටනට

අල්ලන් මුළු සිහළ රටම කඳ සුරිඳුගෙ ලබා පිහිට

නිල්වන් අතු පන්දල ලෙස “දොවොලක්” පිදු අනුහසේට

සෙල්ලංදූවේ කන්දප්පා වඩින්න මල් යහනට"

කතරගම දේවාල මංගල්‍යය නම් වන්නේ “කර්තකි” ලෙසිනි. එය බෙහෙවින්ම දේවමුර්ති දහසයක් සිහිපත් කර හින්දුන් විසින් ඉල්මස පවත්වන්නකි.

දළදා මාලිගාවේද සතරමහා දේවාල වලද පවත්වන මංගල්‍යයන් නිමවා දළදා මාලිගාවේ ඉල්මස පුරපසළොස්වක පෝදා රාත්‍රි කාලයේ පැවැත්වෙන ප්‍රදීපෝත්සවය “මොහොට්ටාල” ගේ නැකැත්වේදයකට අනුගතව සිදු කරයි. කෙසේ නමුදු මතු කී පරිදි “කර්තකි” දේවාල මංගල්ලයේදී සිහිගැන්වෙන කතරගම දේව මූර්ති නාමිකව හෝ දැක්වීම උචිතයැයි සිතමි.

ඒ සොළොස වන්නේ, ශක්තිධර, ස්කන්ධ, සේනාපති, සුබ්‍රහ්මණ්‍ය, සුබ්‍රහ්ම, ගජවාහන, සරවනභව, කර්තිකේය, කුමාර, ෂම්මුඛ, තිරකාරී, සේනානි, බ්‍රහ්මහස්ත, වල්ලියකල්යාන සුන්දර, බාල, කඤ්පේථා (මේ පිළිබඳ විස්තර කතරගම පුදසිරිත් ග්‍රන්ථයේ 43 වෙනි පිටුව )

මේ අතර කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය පිළිබඳව සැකෙවින් මෙහිලා දක්වමු.

බක් මාසයේ පැවැත්වෙන මෙය අලුත් සහල් මංගල්‍යය ලෙසද නම්වෙයි. දේවාල භූමියේ ස්ථාන පහක කිරි ඉතුරුම් පැවැත්වීම මෙහි ප්‍රධාන වෙයි. සතරකොන් සතර දේවාලවල හා අතුපන්දලට ද කිරිඉතිර වෙයි. අනතුරුව පෙරහර භාණ්ඩ ප්‍රදර්ශනය කර, ඒවා දේවාලය සතු දේව භාණ්ඩ බව දිවුරා ප්‍රකාශ කරමින් නිලධාරීන් වල්ලි අම්මා දෙවොල් කිරිඉතුරුම කරන්නේ සෙසු කිරි ඉතුරුම්වලට පසුවය. එය සිදු කරන්නේ හුදෙක්ම කතරගම දෙවි භාරයක් වශයෙනි. එසේම දේවාල සාම්ප්‍රදායික හා දෛනික චාරිත්‍ර විධි අඛණ්ඩව පැවැත්වීම පිණිස නිලතලකරුවන් හෙවත් තේවාකරුවන් 55 දෙනකු නිල මණ්ඩලයට අයත් බවයි කතරගම පුදසිරිත් හි 29 පිටුවේ දැක්වෙන්නේ.

 

කේ. බී. මානෑව

ඡායාරූප- සන්දිම දේවප්‍රිය

 

නව අදහස දක්වන්න