දෙවියන්ගෙන් පුතකු පතාමායාදුන්නේ - බිසව සමඟ කතරගමට | දිනමිණ

දෙවියන්ගෙන් පුතකු පතාමායාදුන්නේ - බිසව සමඟ කතරගමට

 

ධර්ම පරාක්‍රමබාහු හෙවත් අටවන පරාක්‍රමබාහු ජන කතා බහේ සැමදා ජීවත්වන රජෙකි. ඒ ඔහු පෘතුගීසීන්ව රැවටූ නිසාය. ’‘පරංගියා කෝට්ටේ ගියා වගේ යැයි“ අදත් භාවිත වන පිරුළ බිහිවීමට හේතු වුයේ ධර්ම පරාක්‍රමබාහු රජුය. සිංහලයන්ගේ රාජධානිය සොයා ගැනීමට පෘතුගීසීන් ලංකාව වටේ දින එකසිය විසිඑකක වටයක් රැගෙන යෑම මේ රජුගේ උපායකි. කොළඹ වරායේ සිට දින එකසිය විසි එකක් කෝට්ටේ බලා ඒමට පෘතුගීසීන්ට වැය වූයේ මේ නිසාය.

ධර්ම පරාක්‍රමබාහුගේ රට වැසියා පෘතුගීසීන්ට අග නගරයට මාවත පෙන්නුවේය. ඒ කොළඹින් පෘතුගීසීන් සතර කෝරළයට ද එතැනින් සබරගමුවට ද සබරගමුවෙන් ඌවටද ඌව පසුකර බින්තැත්නටද රැගෙන යාමෙන්ය. එවිට පෘතුගීසීන්ට සිංහලයන් පැවසුවේ තම දේශය මහත් විශාල රටක් බවය. ටොලමිගේ ලංකා සිතියම අරාබින්ගෙන් සොරාගෙන තිබූ පෘතුගීසීන් ඒ සිතියම ඇසුරෙන් ද සිතුවේ සිරිලක්දිව බොහෝ විශාල රටක් බවය.

කෙසේ හෝ බින්තැන්නෙන් පෘතුගිසීන් යළි මලය රටට රැගෙන ගිය ධර්ම පරාක්‍රමබාහුගේ රටවැසියෝ එතැනින් කෑගල්ල, දොම්පේ , බියගම හරහා බත්තරමුල්ලෙන් කෝට්ටේ අග නගරයට රැගෙන ආවෝය.

පෘතුගිසීන් කෝට්ටේ රජ මැඳුරට විත් ධර්ම පරාක්‍රමබාහු රජ හමු වූයේය. එවිට තම පිරිස සිංහල රජ බැහැදැකීමට පිටත්ව දින එකසිය විසිඑකක් ගතව ඇති බව දැනී මුහුදේ නැංගුරම් ලා තිබූ නැවේ සිටි පෘතුගීසීහූ කාලතුවක්කු පත්තු කළහ. එවිට වෙඩි හඬ කෝට්ටේට ඇසුණි. මේ වනවිට දින එකසිය විසි එකක් ගෙවා මහ විශාල රටක් යැයි සිතා තමන් ඇවිදවිත් ඇත්තේ මුළාවීමෙන් බව රජ ගෙදර උන් පෘතුගීසින්ට වැටහුනි. කාලතුවක්කු හඬ අනුව මහ මුහුද ළඟ බව දැනගත් ඔවුහු සිංහලයාට අමතක නොවන පාඩමක් කියා දීමට සිතා ගත්හ. ඒ අනුව ඔවුන් තමන් රැවටූ රජුගෙන් ඉල්ලා සිටියේ

ගෙරි සම්කඩක් එළා ගැනීමට ඉඩකි. එවිට ධර්ම පරාක්‍රමබාහු වට අඩියක ගෙරිසම් කැබැල්ලක් දි පෘතුගීසීන්ට ඒ අවසරය දුන්නේය. කොළඹට ආ පෘතුගීසීන් ගෙරි සම කුඩා කෑලිවලට ඉරා දිග කඹයක් තනාගෙන එය ඇද බැලූ විට සතරැස් සැතපුමක් විය. එලෙස වට කර ගත් භූමි ප්‍රදේශය කොළඹ කොටුව වූයේය.

එලෙස කොළඹ කොටුව වට කොට වට සැතපුමක් තනාගෙන කෝට්ටේ බිඳ දමා සිරිලක අතට ගැනීමේ සටනට පෘතුගීසීන් පණ දෙන්නට විය. සිදුවූයේ කෝට්ටේ බිඳ වැටී සී සී කඩව යෑමය.

අවසානයේ කෝට්ටේ රාජධානිය රයිගම, කෝට්ටේ හා සීතාවක ලෙස බෙදී ගිය අතර, සීතාවක මායාදුන්නේ පෘතුගිසීන්ට මහත් හිසරදයක් විය.

නමුත් මායාදුන්නේ රජ පෘතුගීසීන්ද ඔහුගේ සහෝදරයන් වූ කෝට්ටේ රජ වූ නවවැනි බූවනෙකබාහු, රයිගම රජු වූ රයිගම් බණ්ඩාරගේ සහ ජයවීර බණ්ඩාර ගෙන්ද පහර කමින් සීතාවක රැක ගත්තේය. මායාදුන්නේ රජු බොහෝවිට දිවි ගෙවන්නට වූයේ වනගතවය. ඔහුගේ සිහිනය වූයේ පෘතුගීසීන් පන්නා දැමීමය. දළදා වහන්සේ සීතාවකට වැඩමවා ගැනීමත් සමඟ එක්සත් ලක්දිවම රජ වන සුභ සිහිනය ඔහුට පෙනී ගියේය. එහෙත් මායාදුන්නේ මහත් අනුවේදනීය ශෝකයකින් නිස්සාර වන්නට විය. ඒ ඔහුට දරුවෙකු නැති සොවිනි. සතුරා නසා පෙරට යාමේ පුරුෂ වීර්යය ඔහු තුළින් පලා යාමට පටන් ගත්තේ දරුවෙකු නැති ශෝකයෙනි.

තම සහෝදරයන්ගෙන් ආරක්‍ෂාවෙමින් ද පෘතුගීසීන්ට යටත් නොවෙමින්ද දුෂ්කර සටනක මායාදුන්නේ නියැළී සිටියේ මෙවන් ශෝක වේදනාවක් මැදය. පුත් කුමරෙකු නැති රජුද බිසවද වෙද හෙද කම් භාර හාර වුවද පලක් නොවීය. දිනෙක රජු සතුරන්ට රහසින් තම බිසව් තොමෝ හා එක්ව කතරගම දේවාලයට ගොස් භාරහාර වුයේය. යළි යළිත් ගියේය. එහෙත් පුත් කුමරකු පිළිබඳ ඉඟියක්වත් නොලද්දේය.

කතරගම දෙවියන්ට වැඳ පුදසත්කාර භාරහාර වී ද පිහිටක් නොලද තැන රජු තවත් ආත්මීයව අසරණ වූයේය.

මේ සමයෙහි රජු වටා ජාතිමාමක දේශමාමක බලවේගද ඇති විය. කෝට්ටේ රාජධානිය පෘතුගීසීින්ගේ රූකඩයක් වීම නිසා සිංහලයන්ගේද මුස්ලිම්වරුන්ගේද එකම ප්‍රාර්ථනාව වූයේ මායාදුන්නේය. කොළඹ සහ කෝට්ටේ සිටි මුස්ලිම් ජනකායද අරාබි වෙළෙඳ පරපුරුද සීතාවක රාජධානියට විත් මායාදුන්නේ සමඟ එක්විය.

එමෙන්ම රට පුරා සිටි දේශමාමක බලවේගද විත් මායාදුන්නේව අධිරාජ්‍ය විරෝධි සටන් තරුව සේ විරාජමාන කරන්නට පටන් ගත්තේය. යුද කෞශල්‍යයෙන්ද උපා කෞශල්‍යයෙන් ද අනූන රජෙක් වූ මායාදුන්නේගේ ප්‍රතාපවත් ළබැඳි රුව ගුණ සහ මෘදු කරුණා සීතල හදවත ඔහු ජනප්‍රිය මෙන්ම හෘද මිතුරු රජකු සේ ජන හද මන බැඳ ගන්නට හේතු වූයේය.

මේ අතර හිරිපිටියේ දිවනරාළ විසින් පෘතුගීසීන්ට සහ නවවැනි බූවනෙකබාහුට රහසින් කෝට්ටේ දළදා මැඳුරෙහි වැඩ සිටි දළඳා වහන්සේ සීතාවකට වැඩමවාගෙන ආයේය. ඒ සමඟ මායාදුන්නේ වටා බෞද්ධත්වයේ රැස් මාලාව ද පෙළ ගැසුනේය.

එහෙත් රජු පසුවූයේ මහත් ශෝක තැවුලෙන් බරසාරවය. ඔහුට මේ සියලු දේ ලද ද පුත් කුමරකු තබා දරුවකු නොමැති කළ සටන අතට ගැනීමට වෙර වීරියක් නොවීය. තමා සරු ජාන අහිමි පුරුෂයකු දැයි රජු අසරණව සිතමින් සිටියදී ඔහු බිසවද පසු වූයේ අසරණවය. දෙදෙනා අති රමණීය පෙම්වතුන් මෙන්ම සහකම්පන භාවවාගී සැමියකු ද බිරිඳකද විය. මායාදුන්නේට ඈ නොමැති කළ ද ඇයට මායාදුන්නේ ද නොමැතිව දිවියක් නොවීය. බිසෝ සිරිමලී දේවියද රජ මායාදුන්නේද තනි වූ කළ හඬමින් තුරුළුව දරු දුකින් දුක්බර වූ අතීත තතු හමුවන විට පෘතුගීසී ගිනි බට අභියස ලක්දිව වීර චාරිකාවක මතක දොර වූ මායාදුන්නේ පිළිබඳ මහත් භක්ති ප්‍රේම අනුවේදනයක් උපන්නේය.

එබැවින් මායාදුන්නේ නම් වීර විකුමැති රජුගේ දරු දුකින් සෝපත් හද ගැබ සොයා යෑමේ මහත් උවමනාවක් උපන්නේය. ඒ තුළින් සිරිමලී දේවියද සොයා යන්නට සිත් දුන්නේය. දෙදෙනාගේ ආල කතාව මැදින් ඇවිද යන කළ ලක් ඉතිහාස වත අතර සැඟවුණු බොහෝ අතුරු කතා ගණනාවක ද පහස ලදිමි.

ඒ මැදින් ඉතිහාසය මත මහා පරිච්ඡේදයක් ලියූ පියපුතු දෙපළක වීර කාව්‍ය ඇතුළින් දිව ගිය සහකම්පන භාවාන්දරයද දුටිමි. එවිට සිරිමලී දේවියද එයට එක්වී ජනප්‍රිය ඉතිහාසය අමතක කර ඇති ජනකාන්ත යුද විරුවන් දෙදෙනකුගෙන් භාව දිවිය හමු විය.

කෙසේ හෝ දරු ප්‍රාර්ථනාව අත්හැර දමන්නට රජ මායාදුන්නේට ද බිසවටද හැකි නොවීය.

මායාදුන්නේ කෙතරම් ප්‍රේමණීය සැමියකු වූවේද යත් ඔහුට දරුවකු ඇවැසි වූයේ තම ආලනීල බිසව සිරිමලී දේවියගෙන්මය. ඇය සිරිලක එක් අද්වීතිය ස්ත්‍රී වංශයක් වූ කහඳ සූමිත්‍ර බිසවුන් වහන්සේගේ මී මිනිබිරියක් වූවාය.

යළිත් කතරගම මහසෙන් දෙවියන් පාමුල වැඳ වැටී පුතෙක් පන්නටම අගබිසව තීරණය කළාය. ඔවුන් එදා ගමන් කළේ කුරුවිටින් රත්නපුරය හරස්‌ වනපෙතිනි.

පසුදා රැය වන තුරු මායාදුන්නේ රජු බිසව සමඟ ඇවිද ඇවිත් නැවතුනේ ඇමටියගොඩ කන්දේය. දෙදෙනා රැය ඇමටියගොඩ කඳු මුදුනේ ගත කරන්නට වුහ.

රෑ නින්දේ බිසව දුටුවේ ඇතෙක් ඇවිත් තමන් වටේ දැවටෙන සැටිය. උදෑසනම ඒ සිහිනයෙන්ම අවදි වූ බිසව සැමියා මායාදුන්නේ සමඟ ඒ සිහින මායාව තෙපලුවාය.

දෙදෙනාම එක් වී ඇමටියගොඩ කඳු මුදුනේ රතු මල් අතුරා පැතුමන් පතන්නට වූහ.

එසේ පැතූ පැතුම් හද පුරවාගෙන කතරගම රන් දෙවොල් භූමිය බලා පියමනින්නට විය. සීත වනාන්තරය මැදින් පල්ලේබැද්දට ආවෝය. සංඛපාල ගල් කන්දේ සංඛපාල යෝධයාගේ ගල් ගේ ළඟට දෙදෙනා පැමිණියහ.

සංඛපාල ගල් ගුහාව ලඟදී ඔවුන් දුටුවේ මොනරුන් හත් දෙනෙක් පිල් කලබ විහිදා නටන අමුතු නැටුම්ය. මේ අමුතු දසුන් වලින් දෙන්නා අමුතු පණක් ලබමින් කතරගම බලා යළි ගමන් පටන් ගත්හ. කතරගම මහසෙන් දෙවියන්ගෙන් පුතෙක් පතා යන ගමනේ ඊළඟ රාත්‍රී නැවතුම වූයේ සෙවනගල සෙල් කන්දය.

සෙවනගල කන්දේ වහන් වෙමින් රැය ගත කරන රජුත්, බිසවත් වට කර ගන්නේ වන ඇතුන්ය. වන අලි එක්ක රැය ගත කර දෙන්නා උදේ නැගිට බලන විට දුටුවේ තුන්පත් රෑනකි. ඒ දැක්‌ම රජ මායාදුන්නේගේ පුරුෂ පපුව උණුසුම් කළේය. බිසව දාරක අනුරාවෙන් ගැබ්බරව හිමි තුරුලේම වෙළී හිඳීයේය.

උදා අව්වැල්ල සෙවනගලට වැටුනේ මනස්කාන්ත දසුන් මවමින්ය. ඒ පියකරු සොබාසිරි මැදින් කතරගම බලා යන ගමන යළි පටන් ගත්තේය. මේ පෘතුගීසින් ලංකා වැල්ල වටකරගෙන සිටි කාලයයි.

ඒ අතර ලංකාවේ රජු ඔහුගේ බිසවත් ගෙන කාටත් හොරා කතරගම දෙවියන් හමුවේ පුතෙක් යදින්නට යන්නේ වනවාස මැදින්ය. බූන්දල වනාන්තරයට පිවිසි මායාදුන්නේ රජුත්, බිසවත් දුටුවේ කටගමුවේ ඇතාය. ඇතු පෙරමුණේ ගමන් කරයි. රජුත්, බිසවත් ඇතු පසු එද්දී කටගමුව වනාන්තරයට ඇවිත්ය. දෙදෙනා කතරගම දෙවියන්ගේ රන් දෙවොල ලඟට පැමිණියහ. පසුව රජු මායාදුන්නේද කැටුව යළිත් කතරගමට පිවිසියේය. බිසව කිරි වෙහෙර මළුව කහ මල් ලක්‍ෂයක් අතුරා වන්දනා කර බෝමළුව සපු මල් දහසක් අතුරා වන්දනා කොට දින සතක් මුළුල්ලේ සෑ මළුව සඳුන් තෙලින් දල්වා නිරාහාරව සිට පේ වූවාය. එලෙස පේවි සත්වන දින හිමිදිරියේ සිරිමලී දේවීන් ස්වකීය නීල මයුර කේශ කලාපය මුලින් සිදගෙන එයින් දෙවො අමදමින් පලිගසා සිටියාය. පුත් කුමරකු ඉල්ලා ඈ තොමෝ එතැන් සිට සත් දිනක් සෑම හිමිදිරියකම දෙවොල අමදමින් පලිගසා සිටියාය. රජ මායාදුන්නේ ද තම බිසොවගේ පූජාව සමඟ පේ වි සිටියේය. තෙමේද තම අක්බඹරු කේශ කලාපය සිඳ එයින් පා පලසක් තනා කතරගම මහසෙන් දෙවි පාමුල පූජා කළේය. හිස මුඩු රජුද බිසවද දේවාල භූමියේ බැතිමතුන් හා ගත කර යළි මහවන මැදින් රහසින් හීත හිමයට විත් එතැනින් සිරිපා කරුණාකර සුමන සමන් දෙවියන්ට පුදපූජා කර පුවත සැල කර සිටියහ.

ඉන් නික්ම සීතාවකට විත් මසක් ගෙවුනු තැන සිරිමලී බිසෝවුන් වහන්සේ ගැබ්බර වූ බව සංඥා ලද්දේ මායාදුන්නේ විකසිතව නැගී සිටුවමිණි.

කුරුවිට වට කරමින් රත්නපුර දෙසින් සීතාවක රාජධානියට පෘතුගීසීන් ඇතුල් වන්නේ මේ දිනයේදීය. එවිට දරු පෙමින් විකසිත ප්‍රේමණීය මායාදුන්නේ ජාති ප්‍රේමයෙන් ඔද වැඩී පෘතුගීසීන් කුරුවිටින් පන්නා එළව එළවා පහර දී පලවා හැරියේය. යළිත් කැලණි ගඟ දෙසින් නැව් යාත්‍රවලින් සීතාවක වට කරන්නට පැමිණි පෘතුගීසීන් දොම්පේ තොටුමුණේදී මුලින් සිඳ දැමු මායාදුන්නේ තම

ජනයාගේ දේශමාමක සිත් ප්‍රීති ප්‍රමෝදයට පත් කරමින් අදහාගත නොහැකි ජයග්‍රහණයන් එකපිට එක වාර්තා කරන්නට විය.

සිරිමලී දේවිය ගැබ්බර වූ දවසේ සිට දසමසක් ගෙවී ගියේ සීතාවක ජාතියේ ප්‍රාරකාරය ලෙස නැග එමිණි. රට සිව් දිග උන් සාර ජනයාද සටන් සඟයන්ව සීතාවක වැසියන් බවට පත් වූයේ මේ සමයේය. සියනෑ කෝරළය දිගේ ගොසින් අවුත් ගංතෙර වාඩිලාගත් පෘතුගීසීන්ට මායාදුන්නේ පහර දුන්නේ සියනෑ වෙරළ තැන්නද පෘතුගීසීන්ට අහිමි කරමිනි. පසුව මෝදර සිට ඔරු පාරුවලින් එන්න පටන් ගත් ප්‍රතිකාලුන්ට සූර දිය සෙබළ බලමුළුවක් යොදවා මායාදුන්නේ පහර දුන්නේ කැලණි ගඟ දිවා රෑ රකිමිනි.

රාගම කොටුවක් බැඳ මායාදුන්නේ මීගමු වෙරළට පෘතුගිසීන් කොටු කළේය. පුත් කුමරෙකු කුසට පැමිණි සතුට ඉතිහාසයක් වෙනස් කළේ මෙලෙසය.

සිංහල ඉතිහාසය ධවල බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව බලමුළු ගැන්වූ මායාදුන්නේ ද ඔහු බිසව සිරිමලී බිසවද තම පුත්‍ර ප්‍රාර්ථනාවද ඉටු කර ගත්තේ ඉතිහාසය පොතට අපූරු සටහන් තබමිණි.

එය පෘතුගීසී ලේඛකයන් ද තම වාර්තා පොතට ඇතුළත් කළේය. ඒ ටිකිරි රාජසිංහ උපන් දවසය.

ගෙරිසම් කඩ එළා ගන්නට අවසර ඉල්ලා තනා ගත් කොළඹ කොටු පවුර එක්විටම බිඳ වැටුනාය. ඒ ටිකිරි රාජසිංහ උපන් නැකතටය.එදා පෘතුගීසි කතරගම රන් දෙවොල ගිනිලා පුලුස්සන්න වට කළේය. එහෙත් සීතාවකින් තුඩුගල දිසාවේ ගොස් කතරගම රන්දෙවොල රැක්කේ පෘතුගීසීන් එළව එළවා පන්නමින් ය.

 

සුජිත් අක්කරවත්ත

 

නව අදහස දක්වන්න