කඳ සුරිඳුන්ගේ උපත ගැන කතා | දිනමිණ

කඳ සුරිඳුන්ගේ උපත ගැන කතා

 

සම්බුද්ධ ශාසනවරං ඉධ රෝහණස්මිං - සම්පාලනාය පටිලද්ධ වරො මහිද්ධි
පුඤ්ඤානුමොදිය සලානත දේවරාජා - පාලෙතු මං සාත හිතාවහන්තො

කුමක් හෝ කාරණයකට දෙවියකු මතකයට නැඟෙන විට ඕනෑම අයකුගේ සිතෙහි එක්වරම මැවෙන්නේ මයුරාසන මත වැඩ හිඳින කතරගම දෙවියන් බව කිවහොත් එය නිබොරුය. රත් පැහැ ගත් දිව්‍ය සළුවලින් හා රන් පැහැ දේවාභරණවලින් සැරසී මයුරාසන මත වැඩ සිටින කඳ සුරිඳුන්ගේ අඩවිය කතරගමය. ගැමුණු කුමරු මාගම්පුර සිට අනුරාධපුර දක්වා යුද ‍සේනා සමඟ යමින් සිටියදී මැණික් ගංතෙරදී කඳ සුරිඳුන් හමුවූ බව කියැවේ.

වෙස් වළාගෙන සිටි කඳ සුරිඳු මැණික් ගං දිය දෙබෑ කර පෙළහර පෑ බවත් ඉන්පසු ගැමුණු කුමරු කඳ සුරිඳුන් කෙරෙහි පැහැදී බැතිමත් වූ බවත් කියැවේ. කතරගම ඇසළ උළෙල අවසානයේ මැණික් ගඟේ දිය කැපීමෙන් නිරූපණය කෙරෙන්නේ එම සිදුවීම සිහිපත් කිරීමක් බව පැවසෙයි.

“ඔබගේ සටනේ එකම අරමුණ රට බේරා ගැනීමත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් විය යුතුය. මේ සටනින් ඔබට ජය අත්වන බව ඒකාන්තය. ඒ සඳහා මේ අසිපත භාවිත කරනු මැනවි” යැයි පවසමින් එදා කඳ සුරිඳුන් ගැමුණු කුමරුට අසිපතක් පිරිනැමූ බව සඳහන් වෙයි.

විජිතපුර සටනින් එළාර රජු පරදවා ජය ගත් පසු දුටුගැමුණු රජු කතරගම, මහා දේවාලයක් ඉදිකරවා එතෙක් වැඩහිටි කන්දේ විසූ කඳ සුරිඳුන් කතරගමට වැඩමවා තිබේ. එදා ගැමුණු රජු ඒ වෙනුවෙන් ඉදි කළේ රන් උළු සහ රන්කොත් සහිත විශාල ප්‍රාසාදයක් බව කියැවේ. අද එවැන්නක් දැක ගත නොහැක්කේ පරසතුරු උපද්‍රවවලින් එය වැනසී ගිය නිසා වන්නට ඇතැයි කියැවේ.

ස්කන්ධ කුමාර කතරගම දෙවියන්ට ඇත්තේ ආශ්චර්යවත් දේහ විලාසයකි. මුහුණු සයක් හා අත් දොළසකි. හින්දු ආගමේ රණකාමී බවට අධිපති දෙවියන් ලෙස සැලකෙන්නේ ස්කන්ධ කුමාර දෙවියන්ය. ස්කන්ධ දෙවියන් ‘මහාසේන’ නමින් ද හැඳින්වෙයි. කතරගම දේවාලයේ සිදුකෙරෙන බොහෝ පුද සිරිත් ස්කන්ධ කුමාර (කඳ කුමර) දෙවියන්ටම විශේෂ වූ ඒවාය. එනිසා කතරගම දෙවියන් හඳුන්වන්නේ ද ස්කන්ධ කුමාර නමිනි.

කඳ කුමරුගේ පියා

බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව (ඊශ්වර) හින්දු ආගමේ ප්‍රධාන දෙවිවරුන්ය. ස්කන්ධ කුමාර දෙවියන්ගේ පියා ශිව දෙවියන් යැයි විශ්වාසයකි. ස්කන්ධ දෙවියන්ට මුහුණු හයක් ඇතිවාක් මෙන්ම ශිව දෙවියන්ට මුහුණු පහක් ඇතැයි කියැවේ. එනිසා ශිව දෙවියන් ‘පඤ්චායන’ ලෙසින් ද හැඳින් වෙයි. ශිව දෙවියන්ගේ නළල මත ඇසකි. එනිසා ‘තිනෙත්’ යනුවෙන් ද ශිව දෙවියන් හැඳින් වෙයි. ශිව දෙවියන්ගේ උඩු කය වැසී ඇත්තේ නාග දරණයකිනි. වාහනය හැඳින්වෙන්නේ ‘නන්දි’ නමිනි. පතිනිය වන්නේ හිමාල පර්වතයේ දියණිය වන ‘පාර්වතී’ බව ද හින්දු ආගමේ සඳහන්ය.

කඳ සුරිඳුන්ගේ මව

ස්කන්ධ කුමාර දෙවියන්ගේ මව පාර්වතී නොහොත් උමාය. පාර්වතී දේවිය සතුව යහපත් මෙන්ම බියකරු ස්වරූපයක් ද තිබේ. ‘ස්කන්ධ පුරාණයේ’ සඳහන් වන්නේ ස්කන්ධගේ මව වන උමා රණකාමිනියක ලෙස ප්‍රකට වූයේ සුර - අසුර යුද්ධයේදී අසුරයන් වනසා මිනිසුන්ට සුබසෙත සැලසීමට පියවර ගත් නිසා බවය. ඇගේ පතිභක්තිය පිළිබඳව හින්දු ආගමිකයෝ අදත් කතා කරති.

‘සතී’ නමින් ප්‍රකට වූ පාර්වතී වරක් දක්ෂ නම් සෘෂිවරයකුගේ දියණියක ලෙස උපන්නාය. ඇය ශිව හා විවාහ වූයේ පියාගේ විරෝධය මධ්‍යයේය. දිනක් සතීගේ පියා දක්ෂ සෘෂිවර තෙමේ විශාල යාගයක් සංවිධානය කර ඊට සියලු දෙවිවරුන් කැඳවනු ලැබුවේය. එහෙත් ඔහු බෑනා වූ ශිව දෙවියන් ඊට කැඳ වූයේ නැත. ඊට හේතුව කුමක් දැයි සතී සිය පියාණන්ගෙන් විමසූ විට ඔහු ශිවට බලවත් ලෙස අවමන් කළේය.

දැඩි පතිභක්තියකින් සිටි සතී සිය පියාගේ යාගයේ ගිනි මැලයට පැන ඒ වෙනුවන් දිවි පිදුවාය. ඉන්පසු සතී යළි ඉපදුනේ පාර්වතී ලෙසිනි. ඇය ශිව දෙවියන් හා එක් වූයේ ඉන්පසුවය. ශිව දෙවියන්ට දාව පාර්වතී ලද දරුවා ‘ස්කන්ධ’ නම් විය. ඒ කුමරු තරුණ වියේදී සුරයන්ට වින කළ තාරක අසුරයා වනසා දැමුවේය.

කඳ දෙව් උපත පිළිබඳව තවත් කතා කිහිපයක්ම තිබේ. ඇතැම් හින්දු බැතිමත්හු ස්කන්ධ කුමරු උපන්නේ පාර්වතී දේවියගේ කුසින් බව පිළි නොගනිති. ඔවුන්ගේ පිළිගැනීම වන්නේ ශිව-පාර්වතී විවාහ වූ නමුත් දරුවන් නොලද බවය. ඒ හේතුවෙන් දෙවිවරුන් අතර වූ නොසන්සුන්කම නිසා ඔවුන්ගේ නියෝජිතයකු ලෙස අග්නි දෙවියා ශිව හමුවට එවූ බවය.

පරෙවියකුගේ වෙසින් පැමිණි අග්නි දෙවියා ශිවගේ ජීව බීජයක් රැගෙන යද්දී එය ගංගා නදියට වැටී එසැණින් කිරිකැටි ළදරුවකු බිහි වෙයි. ඒ අවස්ථාවේ ගංගා නදියේ ස්නානය කරමින් සිටි කුමරියන් හය දෙනෙක් මේ ආශ්චර්යවත් බිලිඳා දැක ඒ වෙත ගොස් එක්වරම බිලිඳාට කිරි පෙවීමට සැරසුණු අවස්ථාවේ ඒ හය දෙනාගෙන්ම කිරි බීමට බිලින්දාට මුව හයක් පහළ වූ බව කියැවේ.

කඳ කුමරුන්ගේ උපත පිළිබඳව මීට වෙනස් කතාවක් කතරගම මහ දෙවොල තුළ දක්නට ඇති චිත්‍රයකින් පිළිබිඹු කෙරේ. ඒ මෙසේය.

ශිව දෙවියන්ගේ නළලත මත ඇසින් නික්මුණු ගිනි පුපුරු හයක් සරවන විලට වැටුණේය. ඉන් දිව්‍ය කුමාරවරු හයදෙනෙක් උපන්නේය. මහත් දරු සෙනෙහසකින් යුතු පාර්වතී දේවිය වහා දිව ගොස් ඒ කුමාරවරුන් හයදෙනාම වැලඳ ගනිද්දී එම රූපකාය හයම එක් කුමරකු වී මූර්තිමත් වූයේය. ඒ ස්කන්ධ කුමරුගේ උපත විය.

හින්දු දහමේ එන අග්නි දෙවිඳු ස්කන්ධගේ පියා බව තවත් කතාවකින් පැවසෙයි. ඒ අනුව ස්කන්ධ උපන්නේ අග්නි දෙවියන්ට දාවය. සප්ත සෘෂිවරුන්ගේ රූමත් පතිනියන් දැක අග්නි දෙවියන් කාමාශාවෙන් වියරු වැටෙයි. එසේ සිටියදී පාර්වතී එම රූමත් පතිනියන්ගේ වෙස් ගෙන අග්නි හමුවට ගොස් හය වරකදී දරු බීජ හයක් ලබා ගන්නීය. ඇය ඒවා ගෙන ගොස් රන් පොකුණක තැන්පත් කර ස්කන්ධ කුමරු උපදවා ගන්නීය. එසේ වුවත් කඳ කුමරුට කුඩා කල කිරි පොවා හදා වඩා ගන්නේ පෙර කී සෘෂි භාර්යාවන් හය දෙනාය.

කතරගම දෙවිඳුන්ගේ උපත පිළිබඳ එකී කතා කෙසේ වුවද මහා තේජසකින් හා බලපරාක්‍රමයකින් යුතුව කතරගම වැඩ සිටින කඳ සුරිඳුන්ගේ පිහිට පතා අදත් නන් දෙසින් බැතිමතුන් දහස් ගණනක් පැමිණෙන්නේ එදා මෙන්ම අදත් ඔවුනට පිහිට වෙමින් සුබසෙත සලසන බවට වන දැඩි විශ්වාසය නිසාය.

 බන්ධුල ගුණරත්න 

නව අදහස දක්වන්න