කතරගම දේවාලයේ බස්නායක නිලමේවරු | දිනමිණ

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරු

 

කතරගම පුදබිම තුළ දේපොළ ආරක්ෂාවත්, ඒවා පරිපාලනය කිරීමත් බස්නායක නිලමේ සතු කාර්යභාරයට අයත් වෙයි. විශේෂයෙන්ම වාර්ෂිකව පැවැත්වෙන පෙරහර පැවැත්වීම, අලි ඇතුන් නඩත්තු කිරීම, දේවාලයට අයත් ඉඩකඩම් පරිපාලනය සහ කපු මහත්වරුන් සඳහා රාජකාරි කිරීමට මාස බෙදා දීමට කටයුතු කිරීම කතරගම දේවලයේ බස්නායක නිලමේ සතු කාර්යයන් අතර වෙයි.

ගැමුණු රජු යුද්ධයෙන් රට එක්සේසත් කළ පසු කඳ සුරිඳුන්ට වූ බාරය ඔප්පු කිරීමට කතරගම දේවාලය තනා ඉර හඳ පවතින තුරු පූජාවන් පැවැත්වීම සඳහා ගොඩ මඩ ඉඩම් අක්කර 95000 ක් සන්නසකින් පුදා ඇත. ඊට අමතරව දේවාලයේ නිතිපතා කෙරෙන කාර්යයන් සඳහා නිලයන් ද පවරා දී තිබේ. ‘මහබෙත්මේ’ නමින් දේවාලයේ ප්‍රධානියා ලෙස එදා පත් කර ඇත්තේ ගැමුණු රජුගේ ඥාතිවරයෙකි.

ඉංග්‍රීසි යටත් විජිත සමයේදී එනම්, 1931 දී විහාර හා දේවාලගම් පනත සම්මත කර ගත් පසු කතරගම දේවාලයේ පරිපාලනය සඳහා ද නිලවරණයකින් බස්නායක නිලමේවරයකු තෝරා ගැනීම ඇරඹිණි. ඒ තාක් පරපුරින් පරපුරට පැවත ආ දේවාලයේ ප්‍රධාන කටයුතු 1931 දී උල්විට අදිකාරම් බණ්ඩාරනායක බස්නායක නිලමේ විසින් අත්හල පසු මුල්වරට පත් වූයේ කටුගහ බණ්ඩාරනායක නිලමේය.

එතැන් සිට මේ දක්වා කතරගම මහ දේවාලයට බස්නායක නිලමේවරුන් 12 දෙනකු පත්ව සේවය කර තිබේ.

පිළිවෙළින් ඒ මෙසේය.

කටුගහ බණ්ඩාරනායක (1931-1945), ජේ. ඒ. රඹුක්පොත (1945-1955), විල්ෆ්‍රඩ් රත්වත්තේ (1955-1962), එස්. එල්. රත්වත්තේ (1962-1974), ජයවර්ධන අත්තනායක (1974-1986), ධර්මදාස බණ්ඩා (1986-1990), ගුණපාල හේරත් (1990-1995), යසසිරි කස්තුරිආරච්චි (1995-2000), ප්‍රදීප් නිලංග දෑල (2000-2006), ශෂින්ද්‍ර රාජපක්ෂ (2006-2015), ඩී. පී. කුමාරගේ (2015-2018), දිල්රුවන් රාජපක්ෂ (වැඩබලන), ඩිෂාන් ගුණසේකර (2020 සැප්තැම්බර් සිට) යන නිලමේවරු.

බස්නායක නිලමේවරයකුගේ නිල කාලය වසර පහකි. එම වසර පහ අවසානයේ නව බස්නායක නිලමේවරයකු තෝරා ගැනීම සඳහා නිලවරණයක් පැවැත්වේ. අපේක්ෂකයන් කිහිපදෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වුවහොත් නිලවරණය පැවැත්වෙන අතර එසේ නොමැති වුවහොත් එම ධුරයට නිතරගයෙන් බස්නායක නිලමේවරයකු පත් කර ගැනේ. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඉදිරියේ ඒ සඳහා ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිව ඇත්තේ කතරගම අභිනවාරාම විහාරාධිපති හිමියන්ට, වැඩසිටි කන්ද විහාරාධිපති හිමියන්ට, කිරි වෙහෙර විහාරාධිපති හිමියන්ට, සෙල්ලකතරගම මහසෙන් විහාරාධිපති හිමියන්ට, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයාට, කොටබෝව දේවාලයේ බස්නායක නිලමේවරයාට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනාටය.

 බන්ධුල ගුණරත්න 

නව අදහස දක්වන්න