කඳ සුරිඳුන්ගේ වේලායුධය සහ හරෝහරා | දිනමිණ

කඳ සුරිඳුන්ගේ වේලායුධය සහ හරෝහරා

 

කඳ සුරිඳුන්ගේ මව උමාය. තාරක නමැති අසුරයා පරදවන්නට උමා, තම පුතු ස්කන්ධට දුන්නේ තම සිරුරින් මවාගත් දිව්‍යමය ආයුධයකි. එය හැඳින්වෙන්නේ ‘වේලායුධය’ නමිනි.

වේලායුධයටත් එය භාවිත කරන්නාටත් මහා බලසම්පන්න බවක් ඇති වෙයි. උමා එය ස්කන්ධට දෙන්නේ අයුක්තිය මැඬ පවත්වා යුක්තිය ජයග්‍රහණය කරවීම සඳහාය.

කඳ කුමරු තාරක නම් ප්‍රබල අසුරයා සමඟ සටන් වදින්නට යන්නේ මෙකී බලසම්පන්න වේලායුධය අතැතිවය. තාරක සමඟ යුද්ධයේදී ස්කන්ධ කුමරු ඔහු දෙපළු කරන්නේ වේලායුධයෙනි.

මෙරට බොහෝ බැතිමතුන්ගේ විශ්වාසය වන්නේ කඳ කුමරු සතුව තිබූ මේ බලගතු වේලායුධය කතරගම වැඩහිටි කන්දේ තැන්පත් කර ඇති බවය. එහි ඇති සත්‍යභාවය හේතුවෙන්ම අදත් වැඩහිටි කන්ද මහානුභාව සම්පන්න පුදබිමක්ව ඇත්තේය.

කතරගම පුරාණ දේව කන්නලව්වේ කඳ සුරිඳුන් හා වේලායුධය ගැන සඳහන් වන්නේ මෙලෙසිනි.

“සුරත වේලායුධයක් දරාගෙන, රණමයුර වාහනාරූඪව, දිව්‍ය ලෝකයෙන් මහා තේජෝබල මහිමයෙන්, වික්‍රමය, සෞන්දර්යය, වීර්යය, කෞශල්‍යය, ශක්තිය යන ෂඩ් ගුණයෙන් භක්තිමතුන්ගේ දුක්‍ඛාන්ධකාරයන් සූර්යයා සේ විසුරුවා හැර දුෂ්ටයන් නසා, ශිෂ්ටයන්ට ඉෂ්ටාර්ථ සංසිද්ධිය සලසා, විජාතිකයන්ට දස වධ දී, සිංහල ජාතිය දිවිමෙන් සුරකිමින්, කඩවර, ප්‍රකාශ යන යක්ෂ සේනාධිපතීන් පිරිවරා... වැඩහිටි කන්දේ වාසය කරන කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස...”

කතරගම මහ දේවාලයේ එන නැටුම් ගැයුම් උරුම වී ඇත්තේ අතීත ආර්ය සංස්කෘතියෙනි. අද දක්නට ලැබෙන දෙවියන් උදෙසා පවත්වන කාවාඩි නැටුම් ද්‍රවිඩ සංස්කෘතියෙන් උරුම වූ ඒවා බව විශ්වාස කෙරේ. සිංහල බැතිමතුන් අතර පවා කාවාඩි නැටුම් ජනප්‍රියය.

එය දකුණු ඉන්දියාවේ මුරුගන් දෙවියන් සඳහා හෙල්ලක් අතැතිව පවත්වන නැටුම් ක්‍රමය මෙරටට සංක්‍රමණය වීමක් ලෙස සැලකේ. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජන කොටසක් අදත් වේලායුධයක් අත දරා ගත් මුරුගන් දෙවියන් අදහති.

හෙල්ලක් අතින් ගත් දේවාලයේ බාරකරු බීමත් ස්වරූපයකින් මුරුගන් දෙවියාගේ වේෂය ගනිද්දී බැතිමතුන් ද ඒ අනුව ආවේෂ වෙති. ඒ අවස්ථාවේ ශබ්ද පූජා පවත්වන්නේ ද වේගවත් නැටුම් විලාසයට අනුගත වෙමිනි.

මුරුගන් දෙවියන්ගේ මව කොට්රාවයි නමින් හැඳින්වෙයි. ඇය බියකරු ස්වරූපයක් ගන්නා දෙවඟනකි. අත් ගණනාවකින් යුතු ඇය සතුව ආයුධ ගණනාවකි. ඇගේ ආහාරය යුද බිම්වල මැරී වැටෙන මිනිසුන්ය. ඇයට ඇත්තේ ලේ පෙරෙන දිවකි. සිංහයකු මත නැඟුණ ඇය හිස් කබල්වලින් සෑදු මාලයක් පැලඳ සිටින්නීය.

කොට්රාවයි දෙවඟන ඇදහූ දකුණු ඉන්දියානු බැතිමත්හු පසුව ඇය ශිවපතිනිය ලෙස සලකන්නට පටන් ගත්හ. පසුව ශිවපතිනියගේම එක් ආරෝපණයක් ලෙස සැලකූහ. (මුන්නේෂ්වරම් කෝවිලේ එම දේවතාවිය වෙනුවෙනුත් පුද පූජා පැවැත්වේ.)

ස්කන්ධ කුමරුගේ මව වන උමා ද වරෙක චණ්ඩ ස්වරූපයකින් රණකාමිනියක සේ පෙනී සිටින්නීය. එහෙත් ඇය බොහෝ බැතිමතුන් සලකන්නේ උත්තමාවියක ලෙසිනි.

මේ කියන කොට්රාවයි දෙවඟනගේ පුත්‍රයා මුරුගන් දෙවියන්ය. මුරුගන් යුද පිටිවලට අධිගෘහිත දෙවියා ලෙස සැලකෙයි. ඔහුගේ ආහාරය වන්නේ ද යුද බිමේ මිය ගිය අයවලුන්ගේ මාංශයයි.

ක්‍රමයෙන් මුරුගන් දෙවියන්ගේ ඇදහීම් ස්කන්ධ කුමාර ඇදහීම් සමඟ සංකලනය වූ බව පැවසේ. අනතුරුව ඔවුහු මුරුගන් ‍හා කඳ කුමරුත් එකම දෙවියකු ලෙස සලකන්නට වූහ.

 

 

ඒ අනුව බියකරු පෙනුමක් ගෙන දුන් කොට්රාවයි දෙවඟන ද පසු කාලයේදී ශිව දෙවියන්ගේ පතිනිය වූ පාර්වතී දෙවඟනගේ තත්ත්වයට පත් වූ බව කියැවෙයි.

අද බොහෝ ද්‍රවිඩ බැතිමතුන් මුරුගන් දෙවියන් ලෙස හඳුන්වන්නේ ස්කන්ධ දෙවියන්ය. ඒ අනුව වේගවත් නැටුම් හා වැයුම් ඒ වෙනුවෙන් පවත්වති. කාවාඩි ඉන් ප්‍රධානය. එහිදී බැතිමත්හු තම දෙඋර මත කාවාඩිය තබාගෙන අතකින් හෙල්ලක් (වේලායුධයක්) ගෙන නර්තනයේ යෙදෙති.

කතරගම දෙවියන් අදහන බැතිමතුන්ගේ මුවින් කියැවෙන්නේ ‘හරෝ-හරා’ යන්නය. එහි තේරුම කියැවෙන හින්දු දහමේ එන කතාපුවත සැකෙවින් මෙසේය.

දොළොස් වස‍රක් තිස්සේ ශිව දෙවියන්ට බැලමෙහෙවර කළ අසුරයෙක් සිටි‍ෙය්ය. මේ අසුරයා ශිව දෙවියන්ට අතිශයින්ම පක්ෂපාතව දාසකම් කළ නිසා දිනක් ශිව දෙවියන් ඔහුට බලගතු මන්ත්‍රයක් කියා දී එය කෙනකුගේ හිස මත අත තැබූ විට ඔහු අළු වී යන බව පැවසුවේය.

මන්ත්‍රය මතක තබා ගත් අසුරයා එහි සත්‍ය අසත්‍ය බව සොයා බැලීමට තම අතට මන්ත්‍රය මතුරා ශිව දෙවියන්ගේ හිසේ අත තැබීමට සැරසුනේය. ශිව දෙවියන් එය දැනගෙන වේගයෙන් පලායන්නට පටන් ගත්තේය. අසුරයා ශිව දෙවියන් පසුපස පන්නාගෙන ගියේය.

විෂ්ණු දෙවියන් මේ සිදුවන්නට යන විපත දුටුවේය. ශිව දෙවියන් අසුරයාගෙන් බේරා ගැනීම සඳහා ඔහු සුරූපී තරුණියකගේ වේෂ‍යක් ගෙන අසුරයා දිව යන ම‍ඟේ පෙනී සිටියේය. ශිව දෙවියන් පසුපසින් ආ අසුරයාට මෙකී සුරූපිනිය දැක ගැනීමට ලැබීමෙන් පසු ඔහුට ශිව දෙවියන් අමතක විය.

අසුරයා සුරූපිනියට ලොල්වී ඇයට සමීප විය. එවිට සුරූපිනිය අසුරයාට කීවේ ‘තමාට ඔහු සමඟ විවාහවීමට හැකි වන්නේ ඔහුගේ අත ඔහුගේම හිස මත තබා දිවුරා පොරොන්දු වුව හොත් පමණක් බවය. සුරූපිනියගේ බස් ඇසීමෙන් සතුටට පත් අසුරයා තමන් දුව ආ කාරණය අමතක වී සුරූපිනිය කී දෑ කළේය. සැණෙකින් අසුරයා ‘අළු’ වී ගියේය.

පසුපස නොබලා දිව ගිය ශිව දෙවියන් මඳ දුරක් ගොස් අසුරයා එනවා දැයි ආපසු හැරී බැලුවේය. අසුරයා පෙනෙන්නට නොසිටි නමුත් සුරූපිනිය ඔහු දුටුවේය. ඔහු ද ඈ වෙත ළංවී විවාහ යෝජනාවක් කළේය.

එහෙත් ඇය කීවේ විවාහ යෝජනාව පිළිගන්නට නම් ඒ සඳහා පාර්වතියගේ අවසරය ඕනෑ බවය. ඒ අනුව ශිව, පාර්වතී සොයා ගොස් ඇය වෙත යළි ආවේය. ඒ වන විට සුරූපිනිය සිටියේ ළදරුවකු වඩාගෙනය.

එවර ඇය ශිවට කීවේ ළදරුවකු ද සමඟ තමා බාර ගැනීමට පාර්වතියගෙන් අවසර ගෙන එන්නට කියාය. ශිව යළිත් ඒ සඳහා පාර්වතී සොයා ගියේය.

ඊට අවසරය ලබාගෙන යළි ශිව සුරූපිනිය වෙත එන විට ඇය සිටියේ තවත් දරුවන් දෙදෙනකු සමඟය. මෙසේ හය වතාවක් ශිවට පාර්වතී සොයා යාමට සිදුවිය.

හය වැනි වතාවේදී මෙය විෂ්ණු දෙවියන්ගේ වැඩක් බව ශිවටත්, පාර්වතීටත් දැනිණි. එනිසා හය වැනි වතාවේදී ශිව, පාර්වතී කැටුව සුරූපිනිය ළඟට ගියේය.

සුරූපිනිය ළඟ සිටි දරුවන් (කුමාරයන්) හය‍දෙනා දුටු වහාම දරු ස්නේහයෙන් යුතු පාර්වතිය දුව‍ ගොස් ඒ කුමාරයන් හයදෙනාම එක විට වැලඳ ගත්තාය. ඒ මොහොතේ කුමාරයන් හයදෙනාම එකම කුමාරයකු බවට පත්වී මුහුණු හයක් හා අත් දොළසක් පහළ වූයේය. ස්කන්ධ කුමරු රූපය මැවුණේ එලෙස බව පැවසේ.

මෙය විෂ්ණු භක්තිකයන්ගේ (හරි) කතා පුවතකි. ඔවුන් වරෙක ශිව (හර) දෙවියන් හා ඒකාත්මික කොට බුහුමන් දක්වති. මේ හරි - හර සම්බන්ධය හේතුවෙන් ස්කන්ධ කුමාර දෙවියන් ඉදිරියේ සියලුම බැතිමත්හු ‘හරෝ-හරා’ කියමින් දෙවි පුද දෙති.

 බන්ධුල ගුණරත්න

නව අදහස දක්වන්න