කඳ සුරිඳු උපත සමරන කාර්තික මංගල්ලය | දිනමිණ

කඳ සුරිඳු උපත සමරන කාර්තික මංගල්ලය

 

ශ්‍රී ලංකාවේ දේව භක්තික බැතිමතුන් අතර ප්‍රචලිත මෙන්ම ගෞරවාන්විත දෙවියන් ලෙස ස්කන්ධ කුමරු හැඳින්විය හැකිය. විවිධ නාම සහ ගෞරව නාමයන්ගෙන් හඳුන්වමින් පුද පූජා පවත්වනු ලබන කඳ සුරිඳුන්ගේ දිව්‍ය මාළිගය පිහිටුවා ඇත්තේ රුහුණු පුරයේය. රුහුණු කතරගම මහා දේවාලය ලෙස නම් ලද මේ අසිරිමත් දේවාලයෙහි ඉතිහාසය පිළිබඳ කතාන්දර බොහෝය. ඒ අතර ප්‍රචලිත කතා පුවත ලෙස දුටුගැමුණු රජතුමා විසින් මෙම දෙවොල ඉදිකළ බව ඉතිහාස කතා පුවත් ගෙනහැර දක්වයි. දුටුගැමුණු රජතුමා කතරගම දෙවියන්ට යුද ජයග්‍රහණය වෙනුවෙන් බාරයක් වූ බවත් එම බාරය ඔප්පු කිරීමට වාසස්ථානයක් සකසා දීමට සුදුසු ස්ථානයක් තෝරාදෙන ලෙස ඉල්ලූ කල වැඩසිටි කන්දේ (වැඩිහිටි කන්ද) සිට කතරගම දෙවිඳුන් ඊතලයකින් විද වාසස්ථානය ඉදිකිරීමට සුදුසු ස්ථානයක් සළකුණු කළ බවත් එම ඊ හිස වැටුණු තැන මහ දෙවොල ඉදිකළ බවත් ජනප්‍රවාදයේ ප්‍රකටය.

තව ඇතැම් කතා පුවතකට අනුව දුටුගැමුණු මහරජතුමා යුද ජයග්‍රහණය කිරීමට පෙරද මෙම බිම දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ බව කියැවේ.

කෙසේ වුවද අද වන විට කඳ සුරිඳුන්ගේ ප්‍රධාන දෙවොල ලෙස සැලකෙන රුහුණු කතරගම දේවාලය කේන්ද්‍රකොට ගනිමින් වර්ෂය පුරා විවිධ උත්සව සහ දේව මංගල්ල පැවැත්වේ.

ඒ අතර අප්‍රේල් මාසයේදී පැවැත්වෙන අලුත් සහල් මංගල්ලය, ඇසළ පෙරහැරට ප්‍රථමයෙන් පවත්වනු ලබන කණු කපන මංගල්ලය, කතරගම ඇසළ පෙරහැර මංගල්ලය සහ ඉල් මහ මංගල්ලය සුවිශේෂීය.

ලෝකයේ නන් දෙසින් කඳසුරිඳුන්ගේ පිහිට ආරක්ෂාව සහ සරණ පතා පැමිණෙන බැතිමතුනගෙන් මෙම මංගල්ල වර්ණවත් වේ.

මේ උත්සව අතර ඉල් මංගල්ලය සුවිශේෂීය. කඳ සුරිඳුන්ගේ උපන්දිනය සමරනු පිණිස පැවැත්වෙන ඉල් මහ මංගල්ලය කාර්තික මංගල්ලය ලෙස ද හඳුන්වනු ලැබේ. ඉල් මහ මංගල්ලයට දින නියම කරගනු ලබන්නේ නැකැත් චාරිත්‍ර අනුවය. එසේම පුරාතනයේ සිටම මෙම පෙරහැර මංගල්ලය පවත්වනු ලබන්නේ පසළොස්වක පෝ දිනකය. මෙම පසළොස්වක පෝ දිනය කැති නැකත අනුව යෙදීම අනිවාර්ය වේ. කැති නැකත සහිත පසළොස්වක පෝ දිනක පැවත්විය යුතු බැවින් ඉල් මහා මංගල්ලය නොවැම්බර් මාසයේ පසළොස්වක පෝ දිනයේ හෝ දෙසැම්බර් මාසයේ පසළොස්වක පෝ දින පවත්වනු ලබයි. දුටුගැමුණු මහ රජතුමාගේ රාජ අණ ඉටු කරමින් චාරිත්‍රනුකූලව සහ සම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන මෙම පෙරහැර මංගල්ලය විවිධාංග රැසකින් විචිත්‍රවත් වේ.

සවස් කාලයේ ඇරඹෙන පෙරහැර මංගල්ලයට ප්‍රථම දේව මාළිගයට දෙවියන් වැඩමවීම සිදුකරනු ලබයි. දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව දේව මාලිගය අසලින් පෙරහැර ගමන් අරඹයි. බස්නායක නිලමේතුමන්, ආලත්ති අම්මාවරු, කපු මණ්ඩලය පෙරටුකොටගත් පෙරහැරට විවිධ නැටුම් මෙන්ම සම්ප්‍රදායානුකූල අංග ද ඇතුළත් වේ. පෙරහැරෙහි කරඬුව වැඩමවනු ලබන්නේ මංගල හස්තියා විසිනි. මෙලෙස ගමන් අරඹනු ලබන පෙරහැර කතරගම දේවාල පරිශ්‍රයෙහි මැද වීදිය ඔස්සේ වල්ලිමාතා දේවාලය වෙත පැමිණෙයි. එම දේවාලයෙහි යාතිකා වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පෙරහැර නැවත මැද වීදිය ඔස්සේ ප්‍රධාන දේව මාලිගය වෙත පැමිණෙයි. කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ආරම්භ වන්නේ ඉන් පසුවය. මෙහිදී කැවුම්, කිරිබත් එළවළු සහිත මුරුතැන් පූජාව දෙවියන් වෙනුවෙන් පිළිගන්වනු ලබන්නේ කත්තිලයා විසිනි. කත්තිලයා විසින් කදක් මඟින් වඩමවනු ලබන පැහැදුම දෙවියන් වෙනුවෙන් පිළිගැන්වීමෙන් අනතුරුව දේව මාළිගයේ අනෙකුත් වතාවත් ආරම්භ වේ. එම වතාවත්වලට පසුව කාර්තික මංගල්ලය හෙවත් ඉල් මහා මංගල්ලය නිමාවට පත්වේ.

මෙම අසිරිමත් මංගල්ලය හින්දු බැතිමතුන් කාර්තික නක්ෂත්‍රම් ලෙස ද හඳුන්වනු ලබයි. අපේ රටේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් මෙම මංගල්ලය සඳහා බැතිමතුන් පැමිණීම සුවිශේෂත්වයකි. විශේෂයෙන්ම යාපනයේ තොන්ඩමනාරුහි සෙල්ලසන්නිධි කෝවිල සහ නාගදීපයේ නාගපූශානි අම්මාන් කෝවිල නියෝජනය කරමින් උතුරේ බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවය වෙනුවෙන් දායකත්වය ලබාදෙති. ඇසළ මංගල්ලයට ප්‍රථම සෙල්ලසන්නිධි කෝවිලෙන් ගමන් අරඹා කුමන ජාතික වනෝද්‍යාන පිවිසුමෙන් කතරගම බලා පා ගමනින් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් බොහොමයක් නැවත මිත්‍රත්වයෙන් හමුවන්නේ ඉල් මහා මංගල්ලයේදීය. දින දහයක් පමණ ඇසළ මංගල්ලය වෙනුවෙන් පා ගමනින් කතරගමට පැමිණ තම ගම්බිම් බලා පිටව යන බැතිමතුන් වෙන්ව යාමේදී " කාර්තික මංගල්ලයේදී හමුවෙමු "යයි පවසන්නේ ඇසළ මංගල්ලය තරමටම ඉල් මහ මංගල්ලය විශේෂිත උත්සවයක් නිසාය.

 

චතුර ගීතනාත් බණ්ඩාර

නව අදහස දක්වන්න