ව්‍යවස්ථා සංශෝධනයේ ජනතා ප්‍රතිලාභ | දිනමිණ

ව්‍යවස්ථා සංශෝධනයේ ජනතා ප්‍රතිලාභ

ෆවුස් මොහොමඩ්

ඕනෑම රටක ව්‍යවස්ථා සංශෝධනයකින් බලාපොරොත්තු වන්නේ රටේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. පසුගිය වසරේ මෙරට විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු වූයේ ද ඒ අරමුණ වෙනුවෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ආකාරයට ජනතාවට වග කියන ව්‍යස්ථා ප්‍රතිසංස්කරණයක් ලෙස එය වඩාත් අර්ථාන්විත කර තිබිණි. දේශපාලන පක්ෂවල හා ඒවායේ නායකයන්ගේ අවශ්‍යතා සහ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිත කළ යුගය අවසන් කොට පවතින ව්‍යාකූලත්වය පිටුදකිමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වයේ තබා ක්‍රියාත්මක කරන නව ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණයක් නොපමාව ඉදිරිපත් කරන බවට ජනපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වී තිබිණි.

එය යථාර්ථයක් කරමින් පසුගිය වසරේ සැප්තැම්බරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වූයේ ජන මතයට සාධාරණය ඉටු කරමිනි.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු වූයේ රජයට ජනතාව වෙනුවෙන් වැඩ කිරීමේ වැඩි අවකාශයක් සලසා ගැනීම සඳහාය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන තුරු රජයට හා එහි නායකයන්ට අංග සම්පූර්ණ ජාතික මෙහෙවරක නිරත වීමට නිසි අවස්ථාවක් නොතිබුණු බව ඉන් පැහැදිලි වෙයි. එවැනි පසුබිමක් තුළ විසිවැනි ආණඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබීම එක් අතකින් මෙරට ජනතාවගේ ජයග්‍රහණයකි.

රටක කාලීන අවශ්‍යතා වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරිම සිදු විය යුත්තකි. එය රටක සංවර්ධන ක්‍රියාවලිය සඳහා අතිශය වැදගත් සාධකය ද වේ.

ඊට හොඳම නිදසුන අසල්වාසී ඉන්දියාවය. වසර 2019 මුල් භාගයේ දී නරේන්ද්‍ර මෝදි මෙහෙයවූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA) එරට මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා මාස කිහිපයකට පසු ඉන්දීය රජය ජම්මු කාශ්මීර ප්‍රාන්තයට අදාළ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 370 වැනි වගන්තිය සහ 35 ‘අ‘ වගන්තිය ඉවත් කරනු ලැබුවේ විපක්ෂයේ දැඩි විරෝධතා මැදය. එහෙත් වර්තමානය වන විට එම ප්‍රාන්තයට අතිවිශාල ප්‍රගතියක් අත් කර ගැනීමට අවස්ථාව උදාවී ඇත්තේ ද එම වගන්තිය ඉවත් කිරීමෙන් බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය ඉවත් කිරීම යනු එරට පාලනය යටතේ තිබෙන කාශ්මීර ප්‍රදේශයට දී තිබූ විශේෂ තත්ත්වය අවලංගු කිරීමය. මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීර ප්‍රාන්තයට විශේෂිත ස්වයං පාලනයක් ලබා දෙමින් එම වගන්තිය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට ඇතුළත් වූයේ 1949 වසරේදීය. එම වගන්තියට අනුව විදේශීය සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදනය හැර අන් සියලු කටයුතුවලදී ස්වාධීනව තීරණය ගැනීමේ බලය ප්‍රාන්ත රජයට හිමි විය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 370 වැනි වගන්තිය ඉවත් කොට දැන් වසර දෙකකට ආසන්නය. ගතවූ කාල පරිච්ඡේදය තුළ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ දේශපාලනික, ආර්ථික හා ආරක්ෂක වශයෙන් ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ප්‍රගතියක් ලැබීමට හැකි වී ඇතැයි එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි. දිගු කාලයක් පුරා කැරලි හා ගැටුම් පැවැති ජම්මු කාශ්මීරය 370 වගන්තිය ඉවත් කිරීමෙන් පසු පෙන්නුම් කරනු ලැබුවේ අඩු ප්‍රචණ්ඩත්වය සහ ඉහළ ප්‍රගතිය ඉස්මතු කළ ආකාරයක් බවත්, එය එම කලාපයේ අනාගතය සඳහා බලාපොරොත්තු තැබිය හැකි සාධනීය ලක්ෂණයක් බවට පත් වෙමින් තිබෙන බවත් වාර්තා වේ.

370 වැනි වගන්තිය ඉවත් කිරීමෙන් පසු ජම්මු කාශ්මීරයේ සිදුවූ විශාල වෙනස්කම් පිලිබිඹු කෙරෙන වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත් වූයේ අභියෝග රැසක් ජය ගැනීමේ ප්‍රතිඵල පෙන්නුම් කරන ප්‍රගති සමාලෝචනයක් ලෙසටය.

එම වගන්තිය ඉවත් කිරීමෙන් පසු ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ ජනතාව අත් කර ගත් ආර්ථික ප්‍රතිලාභ රැසකි. පසුගිය මාර්තු මාසයේ නිකුත් කළ අයවැය යෝජනාවට අනුව එම ප්‍රාන්තයේ යටිතල පහසුකම් නඟා සිටුවීමේ ව්‍යාපෘති සහ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සමස්ත මුදලින් 37%ක් වෙන් කර තිබෙන අතර, එම ප්‍රාන්තයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙනුවෙන් පළමුවරට සැලකිය යුතු ප්‍රමාණයකින් මුදල් වෙන් කිරීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

ප්‍රාන්තයේ ග්‍රාමීය හා නාගරික යටිතල පහසුම් සඳහා ද සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත. ගෙවතු වගා නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළට රැගෙන යෑමේ වැඩපිළිවෙළක් සකස් කිරීම හේතුවෙන් ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ ජනතාවගේ අතමිට ද සරු වනු ඇතැයි එරට ආර්ථික විශේෂඥයෝ පවසති. ඉන්දීය ජාතික කෘෂිකාර්මික සහයෝගිතා අලෙවිකරණ මධ්‍යස්ථානය විසින් ජම්මු කාශ්මීර රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹ සිටින අතර, එමගින් එම ප්‍රාන්තයේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමේ කෘෂිකාර්මික පෙරළියක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ. ඉදිරි මාස කිහිපය ඇතුළත ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ සෑම දිස්ත්‍රික්කයකම ගොවි නිෂ්පාදන සංවිධාන ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා ඇති අතර, උතුරු කාශ්මීර, දකුණු කාශ්මීර සහ කතුවා පළාත්වල අධිශීත ගබඩා ස්ථාපිත කිරීමට ද නියමිතව ඇත.

යුද ගැටුම්, කැරලි කෝලහාල සඳහා වැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ දැන් සිදුවෙමින් පවතින්නේ කාෂිකාර්මික යුද්ධයකි. ඉන්දියාව පුරා විවිධ පළාත්වලට සිය කෘෂිකාර්මික නිෂ්පාදන බෙදා හැරීම සඳහා ජම්මු කාශ්මීර ප්‍රාන්ත රජය පෞද්ගලික ගුවන් සේවාවක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹ සිටී. ප්‍රාන්තයේ පලතුරු වගා කරන්නන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ආදායම ඉහළ දැමීමටත්, ග්‍රාමීය ආර්ථිකය නංවාලීමටත් මේ පියවර ගෙන තිබේ. කෘෂිකාර්මික විප්ලවයේ නව පෙරළියක් සිදු කරමින් ජම්මු කාශ්මීර ප්‍රාන්ත රජය පළමුවරට ශ්‍රීනගර් සිට ඩුබායි නගරය දක්වා චෙරි අපනයනය කිරීමට ද පසුගියදා පියවර ගෙන ඇති අතර අන්තර්ජාතික වෙළෙඳපොළට අවතීර්ණ විමට ජම්මු කාශ්මීර ප්‍රාන්ත රජයට හැකි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 370 වගන්තිය ඉවත් කිරීමෙන් පසු බව ඉන් පැහැදිලිය.

ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ විශේෂිත තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමෙන් පසු එම ප්‍රාන්තයට දේශපාලනික වශයෙන් ද නව මුහුණුවරක් ලැබී තිබේ. එම ප්‍රාන්තයේ දේශපාලනික වශයෙන් එවැන්නක් සිදුවූයේ පළමුවරට බව කියැවේ. 370 වගන්තිය ඉවත් කිරීමෙන් මාස කිහිපයකට පසු එනම් 2019 ඔක්තෝබරයේ පැවැති ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ ඡන්ද විමසීමේදී 98.3% ක ප්‍රතිශතයකින් ජනතාව ඡන්දය භාවිත කර ඇති අතර, අදියර අටකින් යුතුව පවත්වනු ලැබූ එම ඡන්ද විමසිම කිසිදු බාධාවකින් තොරව සාමකාමීව හා ගෞරවාන්විත පැවැත්වීමට මධ්‍යම රජය සමත්වූ බව ද වාර්තා විය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රජය අපේක්ෂා කරන්නේ ද ඒ හා සමාන ප්‍රගතියකි. එය එක් පළාතකට නොව සමස්ත රටේහිම ජනතාවට එක හා සමානව ප්‍රතිලාභ ලැබෙන පරිදි සිදුවන්නකි. ලොව පුරා දියුණු රටවල් ගණනාවකට ඒ සඳහා පසුබිම සකස් වූයේ රටෙහි ජනාධිපතිවරයාට පූර්ණ බලතල ලබාදීමෙනි. 2015 බලයට පත් වූ රජය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය කරමින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදුවට ලක් කිරීම විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යළි නිවැරැදි කිරීමෙන් මේ වන විට ශ්‍රී ලංකාව අත් කර ගත් විශාලතම ජයග්‍රහණය වන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි වීමය.

පළාත් සභා විසුරුවා හැර ඇති මෙවැනි අවස්ථාවක කොවිඩ් වසංගතයට මුහුණ දීමේදි සෘජු තීන්දු ගැනීමේ බලය සාර්ථකව භාවිත කිරීමට ජනාධිපතිවරයාට හැකි වී තිබේ. ඔහු මූලිකත්වය ගැනීම නිසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට නිලධාරිහු යොමු වී සිටිති. කොවිඩ් වසංගතය පාලනය සහ තුරන් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව නිවැරැදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පසුගියදා පිළිගත්තේය. එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාව අනුගමනය කරන කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වී තිබේ. රාජ්‍ය නායකයාට බලය පැවැරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් යම්කිසි තීරණාත්මක අවස්ථාවකට මුහුණ පාන ඕනෑම රටක ජනතා සුභසිද්ධිය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග අපමණය.

නව අදහස දක්වන්න