ළඟ නොව දුර බැලීමට කාලයයි | දිනමිණ

ළඟ නොව දුර බැලීමට කාලයයි

මුළු සමස්ත ජනතාවම සුඛිත මුදිත කරන 'සෞභාග්‍යයේ දැක්ම' නම් මෙරටේ යථාර්ථයක් කළ හැකි සක්‍රිය වැඩපිළිවෙළක් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව ඉදිරියේ සිට ගත්තේ කශේරුකාවක් සහිත ජනතා නායකයකු වශයෙනි. එය සැබෑවක් කිරීම එතුමාගේ ඒකායන අරමුණයි. ඒ වෙනුවෙන් එතුමා තවත් වසර 5ක මේ රටේ පාලන බලයේ සිටිය යුතු බව මේ මස 18 වැනි දින මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවසුවේ ශක්තිමත් නායකයකු වශයෙනි.

දියුණු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටක් වශයෙන් අපට ඇත්තේ අභිමානවත් ඉතිහාසයකි. පරපුරෙන් පරපුරට උරුම වූ ඒ ශක්තිමත් ප්‍රෞඪ ඉතිහාසය ගොඩනැඟුවේ අපේ රට පාලනය කළ දක්ෂ පාලකයන්ගේ නිවැරැදි නායකත්වයෙනි.

රටක දියුණුව රඳාපවතින්නේ එරට මෙහෙයවනු ලබන පාලකයන්ගේ ක්‍රමවත් සැලසුම් සහගත නිවැරැදි තීන්දු තීරණවලින් බව අපේ මුළු ඉතිහාසයෙන්ම අපට කියා දෙයි. අනුරාධපුර යුගයේ රජකම් කළ පණ්ඩුකාභය රජු ප්‍රථම විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩනැඟීය. අනුරාධපුර නගරයේ විශාල බැම්මක් බැඳ අලංකාර නගරයක් බවට පත් කළේ පණ්ඩුකාභය රජතුමායි. තවද නගරයේ සෞඛ්‍ය කටයුතු දියුණු කිරීමට එතුමා විශේෂ සේවකයන් පිරිසක් යෙදවීය. පාරවල් පිරිසුදු කිරීමට කම්කරුවන් පන්සියයක් ද, කානු පිරිසුදු කිරීමට කම්කරුවන් දෙසීයක් ද, මලමිනී ගෙනයන්නවුන් සේම සුසානභූමි පාලකයන් ද පත් කළ බව මහාවංශය සඳහන් කරයි. විශේෂයෙන් බසවක්කුලම වැව තනවා නගරය අසල වගා කටයුතුවලට ජලය දුන්නේය. රෝගීන් සඳහා රෝහල් ඉදි කළේය. නගරය පාලනය කිරීමට 'නගර ගුත්තික' නාමයෙන් හැඳින්වූ නිලධාරියකු ද පත් කළේය. පණ්ඩුකාභය රජු රජ වී වසර 10ක් ගතවීමට මත්තෙන් මුළු රටේම ග්‍රාම සීමා නියම කළේය. අපේ ර‍ටේ 'ගම්සභා ක්‍රමය' ට මුලපිරුවේ පණ්ඩුකාභය රජතුමා බව අපේ ඉතිහාසයෙන් අපට කියා දෙයි. පණ්ඩුකාභය රජතුමා අපේ රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරමින් වසර 70ක් රාජ්‍ය පාලනය කළ බව ඉතිහාසයෙන් පෙන්වා දෙයි. පණ්ඩුකාභය රජතුමා අපේ රට දියුණු, සමෘද්ධිමත් රටක් බවට පත් කළේ වසර 20ක් පමණ සිදු කළ දැඩි කැපවීම් මතින් බව පැහැදිලිය. ඒ සඳහා රටේ පුරවැසියන් එකාමෙන්ම කැපවීමෙන් රාජ්‍ය පාලකයාට ශක්තිය ලබා දුන්නේය. රාජාණ්ඩු පාලන ක්‍රමයක වුව ද දියුණු මනසින් අපේ කියන හැඟීමෙන් වැඩ කළ ජාතියකට උරුම වූයේ සමෘද්ධිමත් දේශයකි.

අතීත පූර්වාදර්ශ

'මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා' බව පැවසූ දුටුගැමුණු රජතුමා මුළු රටම එක්සේසත්කොට ශක්තිමත් පාලනයක් ගොඩනැඟුවේ එදා ජීවත්වූ ජනතාවගෙන් ලැබුණු උදවු උපකාර මතින් බව පැහැදිලිය. වසර 24ක් රාජ්‍ය පාලනය කළ එතුමා යුද්ධයෙන් ජය ගෙන රට ගොඩනැඟීමට විශාල කාලයක් යෙදවූ නරපතියකු බව ඉතිහාසයෙන් අපට කියා දෙයි.

එතුමා අපේ රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කළේ කෘෂිකර්මයෙනි. කෘෂි කාර්මික ජීවන රටාව හා බැඳි 'වැවයි දාගැබයි ගමයි පන්සලයි' යන සංකල්පය මිනිසුන්ගේ මනස දියුණු කළේය. නිර්මාණශීලි මිනිසුන් බිහි කළේය.

පුරා වසර 24ක් රට පාලනය කළ දුටුගැමුණු රජතුමා මිරිසවැටිය, රුවන්මැලි මහ සෑය වැනි වෙහෙර විහාර ඉදිකොට මිනිසුන්ගේ මනස සුවපත් කළේය. ආර්ථික වශයෙන් ශක්තිමත් ‍රටක් මෙන්ම පරසතුරු උවදුරුවලින් තොර සාමකාමි දේශයක් බවට දුටුගැමුණු රජතුමා අපේ රට පත් කළේය.

අනුරාධපුර රාජධානිය කරගත් රජවරු අතර වසභ රජතුමා වසර 44ක් සිය රාජ්‍ය පාලනය කළ නරපතියෙකි. විශාල වැව් අමුණු සාදා සහලින් ස්වයංපෝෂිත රටක් බවට වසභ රජතුමා පත් කළේය. පුරා වසර 44ක පාලන කාලය තුළ අවසාන මොහොත දක්වා රට දියුණු කිරීමට වගබලා ගත් පාලකයෙකි. කෘෂිකාර්මික දියුණුව ඇතිකිරීමට වගබලාගත් රජවරු අතර, මහසෙන් රජතුමා ද මින්නේරිය වැව සාදවා රට සහලින් ස්වයංපෝෂිත කළේය. පරසතුරු උවදුරුවලට මුහුණ දෙමින් ධාතුසේන රජතුමා ද වසර 18ක් සිය රාජ්‍ය පාලනය කළ තවත් කීර්තිමත් පාලකයෙකි. කලා වැව සහ අවුකන බුදු පිළිමය එතුමා අතින් සිදු වූ විශිෂ්ට නිර්මාණ අතර වැදගත් තැනක් ගනියි.

සීගිරිය වන් විස්මිත නිර්මාණයක් සිදු කළ කාශ්‍යප රජතුමා වසර 18ක් රාජ්‍ය පාලනය කළේය. රාජ නීතියටම යට වූ ජාතියක් වාසය කළේ නම් මෙවන් සියුම් නිර්මාණ කිරීමට තරම් නිදහස් අදහස් ඇති කලාකරුවන් බිහි නොවන්නේය. වහල් භාවයෙන් තොර මිනිසුන් ජීවත් වූවා සේම ඉතා සියුම් කලා නිර්මාණය කිරීමට තරම් සන්සුන් මනසක් ඇති වන්නේ නිදහස් පරිසරයකය.

නිදහසින් පසු...

සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් හැඳින්වූ කෝට්ටේ යුගයේ රාජ්‍ය කළ සයවැනි පැරකුම්බා රජතුමා වසර 18ක් රජකම් කළ රාජ්‍ය පාලකයෙකි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සේම වීදාගම මෛත්‍රී මාහිමියන් වැඩ විසූ මේ යුගයේ හංස සන්දේශය, සැළලිහිණි සන්දේශය, ගිරා සන්දේශය, බුදුගුණාලංකාරය වැනි ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රැසක් ලියවුණු අවධියකි. මුළු රටම එක්සේසත් කළ සයවැනි පැරකුම්බා රජතුමා අපේ රටට සුවිශාල යුග මෙහෙවරක් ඉටු කළ රාජ්‍ය පාලකයෙකි.

පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණවලින් පසුව ඉංග්‍රීසි පාලන සමයේදී ඩොනමෝර් කොමිසම මඟින් ලබා දුන් සර්වජන ඡන්ද බලය හරහා අලුත් දේශපාලන කියවීමකට හුරු සමාජයක් අපේ රටේ බිහි විය. 1948 පෙබරවාරි 4 වැනි දින ලැබුණු නිදහසත් සමඟ අපේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත විය. 1956 ඇති වූ සංස්කෘතික විප්ලවය මඟින් අපේ රටේ ජනසතු ව්‍යාපාර ආරම්භ වීම ද දේශීය චින්තනයට නව පණක් දෙන්නක් බවට පත් විය. පොදුජන යුගයක අරුණලු සමඟ විධිමත් ගමනකට අවැසි මංපෙත විවර වූ බව ද සිහිපත් කළ යුතුව ඇත.

මේ චින්තන විප්ලවයේ පෙරගමන්කරුවන් අතර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන, ඩී. ඒ රාජපක්ෂ වැනි දේශ හිතෛෂි ජාතික නායකයන් සිටි බව ද නොරහසකි. එසේම ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, එස්. ඒ. වික්‍රමසිංහ ආදී කොටගත් වාමාංශික නායකයන්ගෙන් ද ඉටු වූ මෙහෙවර සුළුපටු නොවන්නේය.

1970 සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේ දේශීය චින්තනය රැගත් පස් අවුරුදු සැලැස්මක් ගොඩනැඟීමට සමඟි පෙරමුණු රජයේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ක්‍රියා කළාය.

ඒ සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද වමේ නායකයන්ගේ මඟපෙන්වීම යටතේ 1972 මැයි මස 22 වැනිදා සම්මත කර ගැනීමට පුළුවන් විය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතින් ද සිරිමාවෝ මැතිනිය ඉතා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කිරීමට පසුබට නොවූවාය. අපේ රටේම ආහාර නිෂ්පාදනය කොට ඒවා භුක්ති විඳීමේ ක්‍රියාදාමයක් අනුගමනය කළේය. එහිදී සමස්තයක් වශයෙන් ජනතාවට විවිධ කැපකිරීම් කිරීමට සිදු වූයේ රටක් ලෙස නැඟී සිටීමය.

එහෙත් විපක්ෂය එහිදී අනුගමනය කළේ ඉතාම අදූරදර්ශී ක්‍රියා පිළිවෙතකි. කල දුටු කල වළ ඉහගෙන කෑමේ න්‍යාය හෙවත් බොරදියේ මාළු බෑම තුළින් ජනතාව නොමඟ යැවීමෙන් රටට වඩා බඩ ගැන සිතන දේශපාලන වේදිකාවක් විපක්ෂය ගොඩනැඟූහ. එහි ප්‍රතිඵලය වූයේ දේශීය ආර්ථිකය සුනුවිසුනු වී 1977 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය බල්ලන් මරා හෝ සල්ලි හොයන ආර්ථිකයක් ගොඩනැඟීමයි. එහි ඇති දුක්මුසුම පුවත වූයේ 1970 සිට 1977 වසර 2ක් වැඩිපුර රට පාලනය කළ බව පවසා හිටපු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් ඉතාම තිරස්චීන හා දේශපාලන කුහකත්වයෙන් පිරි අමනෝඥ තීරණයයි. 1970 බලයට පත්වී වසරක් යෑමට මත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ 1971 අප්‍රේල් කැරැල්ලෙන් පවා රටේ ආර්ථිකයට වැදුනේ දරුණු ප්‍රහාරයකි. එසේම 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ආදී ඉතාම බැරෑරුම් නෛතික උවමනාවන් හමුවේ වැයවී ගිය කාලය මෙන්ම 1975 නොබැඳි සමුළුව වැනි ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම ආදී සුවිශේෂී වූ දේශපාලන තීන්දු තීරණ හමුවේ රජයක් වශයෙන් ගත් නිවැරැදි ක්‍රියාව වසර 2ක් වැඩිපුර රට පාලනය කළ බව පවසා හිටපු නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේදී රටේ ජනතාව දැක්වූ වි‍රෝධතාව පවා පයට පෑගෙන දූවිලි බිඳක් තරම්වත් එජාප ආණ්ඩුවට ගණන් නොගෙන ක්‍රියා කළේය. එදා 1977 මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජය ගත්තේ නම් අපේ රට අද ඉන්දියාව සමඟ කරට කර සිටීමට හැකි සංවර්ධන ඉලක්ක සපුරාගත් රටකි. එහෙත් රටට වඩා බඩ ගැන සිතමින් හාල් පොලු, මිරිස් පොලු ගැන එජාප දේශපාලන වේදිකාවල කෑගසා ජනතාව නොමඟ යවා භාරගත් රට කබලෙන් ළිපට වැටුණේ එක්සත් ජාතික පක්ෂයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් නිසාය.

යථාර්ථයක් කළ හැකි සැලැස්මක්

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් අපේ රට භාරගත්තේ මෝටර් සයිකලයේ යන තරුණ ජෝඩුවලට පුංචි කාර් එකක යෑමේ තරුණ පිරිස් රවටන දේශපාලන පොරොන්දු මතින් නොවේ. කුරුණෑගල ෆොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ආරම්භකොට තරුණ තරුණියන්ට රැකියා දෙන බව පවසා නොවේය. මුළු සමස්ත ජනතාවම සුඛිත මුදිත කරන 'සෞභාග්‍යයේ දැක්ම' නම් මෙරටේ යථාර්ථයක් කළ හැකි සක්‍රිය වැඩපිළිවෙළක් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව ඉදිරියේ සිට ගත්තේ කශේරුකාවක් සහිත ජනතා නායකයකු වශයෙනි. එය සැබෑවක් කිරීම එතුමාගේ ඒකායන අරමුණයි. ඒ වෙනුවෙන් එතුමා තවත් වසර 5ක මේ රටේ පාලන බලයේ සිටිය යුතු බව මේ මස 18 වැනි දින මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවසුවේ ශක්තිමත් නායකයකු වශයෙනි.

සිංගප්පූරුවක් ගොඩනැඟූ ලී ක්වාන් යූ 1959 සිට 1990 දක්වා පුරා වසර 31ක් සිංගප්පූරුව පාලනය කළේය. සිංගප්පූරුව වෙනස් කළ නායකයා ලී ක්වාන් යූ බව ලෝකයම දනිති. රුසියාව ශක්තිමත් රටක් බවට පත් කළේ අද දක්වා එරට පාලනය කරන ව්ලැදිමීර් පුටින් බව නොරහසකි. සෑම ඡන්දයකදීම ඔහු ජය ගන්නේ රටට අවැසි නායකයකු ‍නිසාය. කියුබාව දියුණු කළ ෆිදෙල් කැස්ත්‍රෝ මෙන්ම ඔහුගේ සොයුරු රාවුල් කැස්ත්‍රෝ අදත් කියුබාව පාලනය කරන්නේ එරටට අවැසි ශක්තිමත් නායකයෙකු වශයෙනි. එදා අපේ රට පාලනය කළ පෙර රජදරුවෝ පවා කලක් රට පාලනය කිරීමෙන් ආර්ථික හා දේශපාලනික වශයෙන් ශක්තිමත් කළහ. විශේෂයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් කෘෂි රසායනික මාරයාගෙන් අපේ රටේ සියලු පුරවැසියන් මෙන්ම ඇළේ දොළේ ජීවත්වෙන මත්ස්‍යයන්ට පවා ලබා දුන්නේ අභයදානයකි. රසායනික පොහොර කෘමිනාශක වර්ග තහනම අපේ රටේ සිදු කළ දැවැන්ත පෙරළියකි. එහි ප්‍රතිඵල ලැබීමට ද කිසියම් කාලයක් අවශ්‍යය. නිරෝගීමත් ජාතියක් වශයෙන් නැඟී සිටීමට නම් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීමට නම් 'ගම සමඟ පිළිසඳර' ශක්තිමත් කිරීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තවත් කාලයක් අපේ රට පාලනය කළ යුතු බව පැහැදිලි සත්‍යයකි. අප තීරණ ගත යුත්තේ ළඟ නොව දුර බලා බව අපේ ඉතිහාසයෙන් අපි ඉගෙන ගත්තෙමු. සත්‍යය කටුකය. තිත්ත රසය. එහෙත් අපි සත්‍යයට මුහුණදිය යුතුය. එයයි පරම සත්‍යය. අභියෝග මතින් අපි නැඟී සිටිමු.

මහින්ද ආරියවංශ

නව අදහස දක්වන්න