දරුවන් රකින නීති යාවත්කාලීන විය යුතුයි | දිනමිණ

දරුවන් රකින නීති යාවත්කාලීන විය යුතුයි

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ

දරුවන්ට එරෙහිව සිදු වන අනේකවිධ හිංසන පිළිබඳ මේ දිනවල එක පෙළට මාධ්‍ය ඔස්සේ අසන්න, දකින්න ලැබෙනුයේ අතිශය ශෝචනීය පුවත් ය. මෙවන් පසුබිමක දරුවන් රැකගැනීම සඳහා වන ජාතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙම සංවාදය දිගහැරෙන්නේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සමඟිනි.

- පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කළා
- ළමයා නිර්වචනය අවුරුදු 18 දක්වා ගෙන ඒමට අපේක්ෂිතයි
- 6-11 ශ්‍රේණි දරුවන්ට නීති අවබෝධයක් ඇති කරනවා
- 1929 අංකය යෙදෙවුම 0773220031 වට්ස්ඇප් විවෘතයි

ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් මෙරට තුළ ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්තිය කෙබඳු වූවක් ද?

ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපට තිබෙනවා. එය සම්මත වූයේ 2019 වසරේදීයි. ඊට අනුව ඉහළ ම බලධරයන් ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ අප අමාත්‍යාංශයේ ඇම­ැතිතුමා. එහි ජාතික මෙහෙයුම් කමිටුවක් පවතින අතර අප අමාත්‍යාංශයේ ලේකම්තුමිය එහි සභාපති ලෙස ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති එහි ලේකම් ලෙස ද කටයුතු කරයි. ඊට අමතරව එම මෙහෙයුම් කමිටුව තුළ අප අධ්‍යක්ෂක මණ්ඩලය ද ළමා ආරක්ෂණය පිළිබඳව අදාළ වන අමාත්‍යංශ 10න් මූල මණ්ඩල සාමාජිකයන් ද අන්තර්ගතයි. දස දෙනකුගෙන් යුක්ත තවත් විද්වත් කමිටුවක් ද අන්තර්ජාතික සහ ජාතික වශයෙන් තිබෙන රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර්ජාතික සංවිධාන ද මීට අයත්. මීට පහළින් තිබෙනවා දිස්ත්‍රික් ළමා ආරක්ෂණ කමිටු. දිස්ත්‍රික් ලේකම් එහි ප්‍රධානත්වය උසුලන අතර එම කමිටු දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරින්ගෙන් සමන්විතයි. ඒ අනුව දිස්ත්‍රික් වශයෙන් බෙදී ළමා ආරක්ෂාව පිළිබඳ නිලධාරින් සේවය කරයි. මීට ද අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ම අනුබද්ධව තිබෙනවා ප්‍රාදේශීය ළමා ආරක්ෂණ කමිටු. ඒවායේ සභාපතිත්වය දරන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්. මෙයාකාරයෙනුයි ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික සැලැස්ම ක්‍රියාත්මක වන්නෙ.

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය මත සැකසිය යුතු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මේ වැඩකටයුතුවල නවතම තත්ත්වය කුමක් ද?

මේ පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්ම මෙපමණ කලක් සකස්කොට තිබුණේ නැහැ. මා සභාපති ධුරයට පත් වූ පසු 2020 ජනවාරි 01 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් කිහිප දෙනකු අප පත් කළා මෙම කාර්යය ඉටු කිරීම සඳහා. එහෙත් මාස 16ක් ගත වන තුරුත් ඔවුන් එම කාර්යය ඉටු කළේ නැහැ. ඉන් අනතුරුව ඉකුත් මැයි මස 01 වැනිදා මෙම කර්තව්‍ය ඉහළ පරිපාලනයට භාර ගත්තා. ජුලි 12 වැනිදා වන විට අදාළ සියලු ආයතන සමගින් ඒ සම්බන්ධ සාකච්ඡා අවසන් කොට ජුලි 14 වැනිදා අප පස් අවුරුදු ළමා ආරක්ෂණ ක්‍රියාකාරී සැලසුමේ කෙටුම්පත සකස් කළා. තවත් සති කිහිපයක් ඇතුළත එය අප අධ්‍යක්ෂ මණ්ඩලයට සහ අමාත්‍යාංශයට ඉදිරිපත්කොට අනුමත කරගත යුතුයි.

ළමා හිංසන වැළැක්වීම සම්බන්ධයෙන් පවතින නීති රීතිවල වෙනසක් සිදු විය යුතු ද?

නීති වෙනස් විය යුතුයි. ඒ සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා අධිකරණ අමාත්‍යතුමා සමඟ. ඉකුත් අගෝස්තු මස සිදු කෙරෙනු සාකච්ඡාවෙන් අනතුරුව ඔක්තෝබර් මාසයේ සිට අප ඒ පිළිබඳ කටයුතු ආරම්භ කළා. අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබුණේ ප්‍රධාන අංශ පහක තිබෙන ඇතැම් නීති සැකසීමට, යාවත්කාලීන කිරීමට සහ සංශෝධනයට. ඒ අතුරින් එක් අංශයක් වන්නේ ළමයින්ගේ වයසයි. මෙම නීතිවල සහ ආඥා පනත්වල ළමයාගේ වයස විවිධාකාරයෙන් අර්ථකථනය වී තිබීම ගැටලුවක්. ඇතැම් නීතිවල ළමයා යනුවෙන් හඳුන්වා දෙන්නේ වයස අවුරුදු 18ට අඩු පුද්ගයකු වශයෙන්. ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පනතේ සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ සඳහන් වන්නේත් ඒ අයුරින්. එහෙත් මෙරට ඇතැම් නීතිවල ළමයා ලෙස හඳුන්වාදීමේ වයස් සීමාව වයස අවුරුදු 12, 14, 16, 18, 21 ආදී වශයෙන් වෙනස් වෙනවා. මෙලස දැක්වෙන විවිධ සීමාවන් වයස අවුරුදු 18ට හෝ ඊට ආසන්නතම අගයකට ගෙනඒමටයි අප උත්සාහ කරනුයේ. ඊට අමතරව පොලිසිය මගින් ක්‍රියාත්මක වනවා ළමා හිතකාමී විමර්ෂණ ක්‍රමයක්. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට කණ්ඩායමක් පත්කොට තිබෙනවා. එසේම ළමා හිතකාමී අධිකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යෑමට වෙනම කණ්ඩායමක් පත්කොට තිබෙනවා. වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ක්‍රමවේදය 1999දි සම්මත වූ නීතියක් වුවත් එම නීතියට අනුකූලව ඉදිරි ක්‍රියාදාමය තවම නීතිගත වී නැහැ. එය සකස් කළ යුතුයි.

වැරදි සිදු කරන ළමයින්ට දඬුවම් දීමේදී පවතින විෂමාකාරී තත්ත්වයන්ට පිළියම් යෙදීමේ ක්‍රමවේදයක් සැකසීමට සූදානමක් තිබේ ද?

ඇතැම් අවස්ථාවලදී ළමයින් ද වැරදි සිදු කරන අතර ඔවුන්ට දඩුවම් දෙන විට විෂමාකාරී තත්ත්වයක් තිබෙන බව අවබෝධ වී තිබෙනවා. එනිසා ඒ සඳහා ඒකාකාරී ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කණ්ඩායමක් පත්කොට තිබෙනවා. ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙහිලා දියත් කෙරෙන මෙම සියලු කර්තව්‍යයන් සඳහා කණ්ඩායම් පත් කිරීම සිදු කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි. මෙම වසරේ ජනවාරි 21 වැනිදා වන විට ඒ ඒ කණ්ඩායම්වල සංකල්ප පත්‍රිකා ඉදිරිපත් කිරීමට ඔවුන්ට ඉලක්කයක් ලබාදී තිබුණු අතර එලෙසින්ම එම කණ්ඩායම් සිය සංකල්ප පත්‍රිකා අදාළ කාලය වන විට ඉදිරිපත් කළා. ඒ මත අප ඒකක 23ක පාර්ශ්ව කරුවන් 80 දෙනෙකු පමණ සමග එක්ව දින කිහිපයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි අවශ්‍ය කෙටුම්පත සකස් කළේ. එම කෙටුම්පත අධිකරණ අමාත්‍යතුමාට දුන් පසු එතුමා කියා සිටියේ තවදුරටත් සැලසුම් කිරීමටයි. ඒ අනුව ක්‍රියාත්මක වීමටයි. ළමයකු ලෙස හඳුන්වාදීමේ වයස් සීමාව වයස අවුරුදු 18ට ආසන්න හෝ 18 දක්වා ගෙනඒම සම්බන්ධ කැබිනට් පත්‍රිකා අධ්‍යාපන අමාත්‍යංශය, කම්කරු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යාංශය එක්ව ඉකුත් සතියේ ඉදිරිපත්කොට තිබෙනවා. ඒ අනුව නීති, ප්‍රඥප්ති 13ක වයස් 20ක් පමණ වෙනස් කිරීමට අපේක්ෂිතයි. වයස් සීමාවන් වෙනස් කිරීම පිළිබඳ කණ්ඩායමේ නායකත්වය දරන්නේ ආචාර්ය රෝස් විජේසේකර යි. මීට අමතරව ළමා හිතකාමී පොලිස් විමර්ෂණ පිළිබඳ කමිටුවේ කටයුතු ද මේ වන විට ඉදිරියට යමින් පවතී. එහි නායකත්වය දරන්නෙ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්නයි. මේ සියල්ල සඳහා අප විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂඥ සහය ලබාගෙන තිබෙනවා. ඊට අමතරව අධිකරණ අංශයේ ළමා හිතකාමී ක්‍රමවේදය සකස් කිරීමේ නායකත්වය දරන්නේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ඩී අල්විස්, වීඩියෝ සාක්ෂි පිළිබඳ කණ්ඩායමේ නායකත්වය උසුලන්නේ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවායි. ළමා වරදකරුවන්ගේ නඩුවල උසාවි නියෝග සඳහා ඒකාකාරී ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කිරීමේ කණ්ඩායම් නායකත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන විසින් දරනවා. කුලවද්දා ගැනීමේදී තමන්ගෙ වත්කම ළමයින්ට බෙදී යන අතර ජනතාව තුළ ඒ සඳහා එතරම් කැමැත්තක් දක්නට නැහැ. එනිසා කැපකරු මව්පිය ක්‍රමය ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්කොට තිබෙනවා. එහි 60%ක පමණ කටයුතු දැනටත් අවසන්. එම වැඩසටහනේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ඩී අල්විස්. මේ ඔස්සේ ඇතැම් අවස්ථාවලදී ළමයින් තමන්ගෙ පවුලේ ම සිටින අතර ඔවුන්ට මුදල් හෝ අනෙක් ආධාර දෙන අතර එලෙස නොහැකි අවස්ථාවක් තිබෙන්නේ නම් ළමයින් කැපකරු මව්පිය පවුලක් තුළට ගෙන ඔවුන්ට මුදල් සහ අනෙකුත් ආධාර ලබාදෙනවා. එය ඉතා වැදගත් කාර්යයක්. ඊට අමතරව දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා සුරක්ෂිත වැඩපිළිවෙළක් ඇති කිරීමට නියමිතයි. මාපියන් රාජකාරී සඳහා පිටත්වන විට ඇතැම්විට ළමයින් ආරක්ෂාවට තබායෑමට සිදු වන්නේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලයි. මේ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ ආචාර්ය තලගලයි. මේ වන විට එහි වැඩ කටයුතු 75%ක් පමණ අවසන්.

ඇසට නොපෙනෙන දුබලතා සහිත දරුවන් වෙනුවෙන් ඇති කළ විශේෂ ක්‍රමවේදය කුමක්ද?

ඇතැම් විට ඇසට නොපෙනෙන දුබලතා සහිත ආබාධිත දරුවන් සිටිය හැකියි. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ලෙස අප තීරණය කළා අපරාධ නීති පද්ධතිය මේ පිළිබදව දැනුවත් කිරීමට. ඉන් අනතුරුව ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් ද ඇති කළා. ඒ අනුව ඇසට නොපෙනෙන ආබාධිත තත්ත්ව සම්බන්ධයෙන් පොත් පිංචක් සකස් කිරීමේ කටයුත්ත මේ වන විට ක්‍රියාත්මකයි.

නීතිය පිළිබඳ දරුවන් අතර පවතින මඳ දැනුම ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක්. මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද?

ළමයින් අතර නීතිය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණෙන් 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණිවල දරුවන් සඳහා ‘ළමයා හා නීතිය’, ‘නීතිය හා සමාජය’, ‘නීතිය හා පරිසරය’ , ‘නීතිය හා යුක්තිය’ යන කොටස් අන්තර්ගතකොට පොත් කිහිපයක් සකස් කිරීමට නියමිතයි. ඇතැම්විට දරුවන් නීතිය නොදන්නාකම හේතුවෙන් ම හිංසකයන්ගේ ගොදුරු බවට පත් වන අතර වැඩිහිටියන් ද නීතිය නොදැන සිටීම හේතුවෙන් ළමා අපයෝජන වැනි හිංසනයන්වල යෙදෙනවා. ඇතැම් විට ඔවුන් අපයෝජනයක් සිදු කළ බව දැනගන්නේ පොලිසියට හෝ උසාවියට ගියවිටයි. එනිසා මේ සම්බන්ධ නීති කරුණු ඉදිරියේදී පෙළ පොත්වලට ඇතුළත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා. එය අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය සමග එක්ව සිදු කෙරෙන කර්තව්‍යයක්. එසේම ආබාධිත දරුවන් රැකබලා ගැනීම සඳහා රැකවරණ නිලධාරින්ට පුහුණුවක් දිය හැකි අන්දමේ උපාධි පාඨමාලවක් ඇතිකිරීමටත් මේ දිනවල කටයුතු සකස් කෙරෙනවා. මේසා විශාල වැඩ කොටසක් ළමා ආරක්ෂණය වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මකයි. මීට අමතරව ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදෙන ළමා දිනය වෙනුවෙන් ‘සිතුවිලි සිත්තම්’ නම් තරගයක් විශේෂයෙන් සංවිධානය කර තිබෙනවා. ළමා අංශය, ගුරුවරුන්ගේ අංශය සහ විවෘත අංශය වශයෙන් අංශ තුනකින් යුක්ත මෙම තරගය සඳහා නිර්මාණ භාරගැනීමේ අවසන් දිනය වන්නේ අගෝස්තු 31 වැනිදායි. මෙවැනි තරග සංවිධානය කිරීමෙන් අපේක්ෂා කරනුයේ ළමයින්ගේ සැඟවුණ කුසලතා මෙන්ම අදහස් හෙළි කරගැනීමත් සහභාගිත්වය තහවුරු කරගැනීමත් ය.

ළමා හිංසනයන් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි යොමු කළ යුත්තේ කෙසේ ද?

1929 දුරකථන අංකය ඔස්සේ අපට පැමිණිලි යොමු කළ හැකියි. ඊට අමතවර 1929 යෙදවුම (App) අන්තර්ජාලය ඔස්සේ බාගත කරගැනීමෙන් හෝ 07732 200 31 වට්ස් ඇප් අංකය ඔස්සේ වොයිස් මැසේජ්, ටෙක්ස්ට් මැසේජ් හෝ ඡායාරූප අප වෙත යොමුකිරීමේ අවස්ථාව ද තිබෙනවා. එසේම 01127787 67 යන අංකයට ෆැක්ස් පණිවිඩයක් ලබාදීමට ද 1929, ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනයට ලිපියක් යොමු කිරීමට ද හැකියි. එසේ ම ආයතනය පැය 24 පුරා විවෘතව පවතින අතර පැමිණ, පැමිණිලි යොමු කිරීමේ හැකියාව ද ඇත.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න