රිෂාඩ් තොත්ත බබෙක් ද? | දිනමිණ

රිෂාඩ් තොත්ත බබෙක් ද?

සමඟි ජන බලවේගය නියෝජනය කරන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රකට හා බලවත් දේශපාලන සත්ත්වයෙකි. ඔහු රටේ ජනතාව අතර වඩාත් ප්‍රකට යහපතට වඩා අයහපත සිදු කරන පුද්ගලයකු හැටියටය. ජාතික වශයෙන් මෙන්ම ඇතැම් විට අන්තර්ජාතික වශයෙන් ද කතාබහට ලක් වන මහා අපරාධ කිහිපයකටම ඔහුගේ නම ගෑවී තිබේ. ඒවායෙහි සැකකාරයකු වශයෙන් රිෂාඩ් ප්‍රශ්න කිරීමට ලක් වී ඇති අතර, ඔහුට එරෙහි මහජන විරෝධතා උත්සන්න තැනෙක පවතී. රිෂාඩ් විල්පත්තු මහා වන විනාශයේ ප්‍රධාන සැකකරුවෙකි. පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියට සම්බන්ධ සැකකාරයකු ලෙසද ඔහු හඳුන්වනු ලැබේ. මන්ත්‍රීවරයාගේ නම ඈ‍ඳුණු අලුත්ම අපරාධය වන්නේ ඔහුගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියගේ මරණයයි.

අපරාධයක ඇත්ත තතු හෙළිදරවු කර ගැනීම සඳහා සැකකාරයන්ගේ කටඋත්තර බෙහෙවින් වැදගත් වෙයි. එහෙත් බලවත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය අනුගමනය කරන්නේ පරිස්සම් සහගත ක්‍රමවේදයකි. නිදසුනක් කිවහොත් රිෂාඩ් බලවත් අපරාධ ගණනාවකට සම්බන්ධ යැයි කියනමුත් ඔහුගේ බෙල්ලෙන් අල්ලා හොම්බට දෙකක් ඇන ඇත්ත හෙළිදරව් කරගැනීමට පොලිසිය උත්සාහ දරන්නේ නැත. මේ අනුව රිෂාඩ් දෙන කටඋත්තර ද විහිළුකාර ඒවා විය හැකිය. විල්පත්තු සිද්ධියේදී මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ මහා අපරාධයේදී ද ඔහු කටඋත්තර දී ඇත්තේ 'මං දන්නේ නෑ! මට අමතකයි! වැනි ප්‍රයෝගකාරී වචන හැසිරවීමකින්ය. බාල වයස්කාර දැරියක මෙහෙකාර සේවයේ යොදා ගැනීම වරදක් බව මේ මන්ත්‍රීවරයා නොදන්නේද? එසේ නොදන්නේ නම්; ඔහු මහජන නියෝජිතයකුට සුදුසු පුද්ගලයෙක් නොවේ.

මෙහෙකාර දැරිය පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගතවන්නේ ජූලි 03 දාය. බරපතළ තුවාල මත ඇය මිය යන්නේ ජූලි 15 දාය. මේ අතර දැරිය දුන් කට උත්තරයක සඳහන් වන්නේ නි‍ෙවසේ පවතින කරදරකාරී තත්ත්වය මත තමා විසින්ම ගිනි තබාගත් බවය. එහෙත් ගිනි තබා ගැනීමට අදාළ ආසන්න හේතුව දැරිය හෙළිදරව් කර නැත. දැරියගේ මව දුන් කටඋත්තරයක සඳහන් වන්නේ රිෂාඩ්ගේ නි‍ෙවසේදී දුවට හිරිහැර වන බව දුරකතනයෙන් දැනුම් දුන් බවය. තමන් ආපසු නි‍ෙවසට කැඳවා ගන්නැයි දැරිය අම්මාගෙන් ඉල්ලා ඇති බවද හෙළිදරවු වී ඇත. වෛද්‍ය වාර්තාවල දැක්වෙන අන්දමට දැරිය දීර්ඝ වශයෙන් දූෂණයට ලක් වී ඇත. මේ සිදුවීම් මාලාව පෙන්වා දෙන්නේ රිෂාඩ්ගේ නිවස තුළදී දැරියට බලවත් අයුක්තියක් සිදු වී ඇති බවය. එය බාලවයස්කාරියක මෙහෙකාර සේවයේ යොදවා ගැනීමේ සිට ලිංගික බලහත්කාරය දක්වාද ඉන් නොනැවතී මරණයට අවස්ථාව දීම දක්වා ද ව්‍යාප්ත වන අපරාධයකි.

බාලවයස්කාර දැරියන් ලිංගික වශයෙන් අපයෝජනයෙහි යොදා ගැනීමට අදාළ සිද්ධි ගණනාවක් මේ වන විට සමාජයෙහි කතාබහට ලක් වෙයි. ඒ පිළිබඳ පරීක්ෂණ සිදු වන අතර, එම පරීක්ෂණ කෙරෙහි ද දැඩි මහජන අවධානයක් පවතී. රිෂාඩ්ගේ නිවෙසේ සිද්ධිය දේශපාලනයට ද ගෑවී ඇති බැවින් ඒ කෙරෙහි වැඩි ආකර්ෂණයක් පවතී. සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන අංශ ගණනාවකින් සිදු වෙයි. රිෂාඩ්ගේ බිරිය, මව්පියන් හා එම නිවෙසේ සිටින තවත් පිරිමි මෙහෙකරුවකුද ප්‍රශ්න කිරීමට ලක් කරන බව පොලිසිය කියයි. දැරියගේ මව්පියන් පදිංචිව සිටින ඩයගම ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායමක් යවා ඇති බවද සඳහන්ය. මේ සියලු දෙනාගෙන්ම ප්‍රශ්න කිරීම ඉතා වැදගත්ය. දැරිය ගිනි තබා ගත්තාද? නැතහොත් කිසිවකු ඇයට ගිනි තැබුවේද? මරණයට ආසන්න හේතුව කුමක්ද? එය ලිංගික අපහරණයද? යන ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීම ඉතා වැදගත්ය.

දේශපාලකයන් බලය හා ධනය උපයෝගී කරගෙන විවිධාකාර අපරාධ සිදු කරන බවද, එලෙසම ධනය හා බලය උපයෝගී කරගෙන නීතියෙන් ගැලවී යන බවද අපේ රටේ මහජනතාව නිරන්තරයෙන් නඟන චෝදනාවක් තිබේ. එක රටක් එක නීතියක් නම්, එසේ සිදු වන්නට හේතුවක් නැත. අපගේ මතකයට අනුව රිෂාඩ් මන්ත්‍රීවරයා එක රටක් එක නීතියක් යන ප්‍රතිපත්තියට විරුද්ධය. එක් වරක් ඔහු මහා උජාරුවෙන් කියා සිටියේ ජනාධිපති හදන නීතිවලට අපි යටත් නෑ යන්නය. රිෂාඩ් කිසියම් අන්තවාදී මතයක රැඳී සිටින බව පැහැදිලිය. ඔහුට දේශපාලන බලය, ධනය, අන්තර්ජාතික සබඳතා ආදිය තිබෙන්නට පුළුවන. එහෙත් ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නම්, අපේ නීතියට ගරු කළ යුතුය. එය පිළිගත යුතුය. රිෂාඩ්ට වෙනම නීතියක් තිබෙන්නට පුළුවන්කමක් නැත. මෙහෙකාර දැරියගේ මරණයට 'මං දන්නේ නෑ' යැයි උත්තරයක් දී බේරෙන්නට මන්ත්‍රීවරයාට ඉඩක් නැත.

මෙබඳු සිදුවීම් සමඟ සාකච්ඡාවට ගත යුතු තවත් කරුණු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න රටේ පවතින දුප්පත්කමය. දෙවැන්න නම්, බාලවයස්කාරයන් ලිංගික අපයෝජනයෙහි යොදා ගැනීමය. මෙහෙකාර දැරියගේ මව ප්‍රකාශ කරන අන්දමට තම දුව මෙහෙකාර සේවය සඳහා යවා ඇත්තේ ගෙන ඇති ණය බේරීම සඳහාය. ඔවුන් ණය ගෙන ඇත්තේ ජීවත්වීම සඳහාය. ණය හිමියන් කරදර කරන විට දරුවන් විකුණා හෝ ණයෙන් නිදහස් වීමට වැඩිහිටියෝ උත්සුක වෙති. එය දුප්පත්කමේ ස්වභාවය වෙයි. මෙහෙකාර සේවය සඳහා යොදවා ගනු ලබන ගැහැනු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද ලිංගික කටයුතු සඳහා යොදා ගනු ලැබේ. එය ජාවාරමක් ලෙස කරගෙන යන අයද සිටිති. මේ ජාවාරම්කරුවන්ද නීතිය හමුවට රැගෙනවිත් උපරිම දඬුවම් දිය යුතුව තිබේ. මෙය සෙල්ලමක් නොවන බව සමාජය දැන ගත යුතුය.

කාම අපරාධ සැලැකිය හැක්කේ රටක ඉදිරි ගමන වළක්වන සිද්ධි දාමයක් ‍හැටියටය. එය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් සේම නීතිය පිළිබඳ ප්‍රශ්නයක්ද වන්නේය. එක් අතෙකින් ඇතැම් නීති සංශෝනය කොට කාම අපරාධ සිදු කරන පුද්ගලයන් වහා අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් දෙන ක්‍රියාත්මක නීතියක් අපට තිබිය යුතුය. තව අතෙකින් අපරාධ වළක්වන සමාජ බලවේග ක්‍රියාත්මක විය යුතුය.

මෙහෙකාර දැරියගේ සිද්ධියට අදාළව ස්ථාන කිහිපයකදීම මහජන විරෝධතා පැවැත්වෙන ආකාරය දැකගන්නට ලැබිණි. එහෙත් සමාජය මෙබඳු සිදුවීම් ඉක්මනින්ම අමතක කරයි. එය අපරාධ සඳහා හොඳ පසුබිමක් ඇති කරන තත්ත්වයකි. වැඩිහිටියන් තම දරුවන් ගැන පමණක් නොව, රටේම සමස්ත දරුවන් ගැන සොයා බලන තත්ත්වයකට සමාජය ගෙන යා යුතුය.

ළමා හා කාන්තා කටයුතු පිළිබඳ කාර්යාංශය පෙන්වා දෙන අන්දමට බාලවයස්කාර දැරියන් ලිංගික හිංසනයට ගොදුරු කර ගැනීම පිළිබඳ සිද්ධීන් හාරදහසකට වැඩි ප්‍රමාණයක් වසරකට වාර්තා වෙයි.

වාර්තා වන සිද්ධීන් හැරෙන්නට හෙළිදරවු ‍නොවන සිද්ධීන් විශාල ප්‍රමාණයක් තිබිය හැකි බවද එම කාර්යාංශය පෙන්වා දෙයි. දරුවන් යනු රටක අනාගතය බවද ඔවුන්ට හොඳම දේවල් දිය යුතු බවද කියනු ලැබේ. එහෙත් ඒවා තේමා පාඨ ලෙස හෝ සටන් පාඨ ලෙස පවතිනු විනා දරුවන් බේරාගැනීමට යොදා ගැනෙන ප්‍රතිපත්තියක් ලෙස භාවිතා වන්නේ නැත.

නව අදහස දක්වන්න