පැරාලිම්පික් පදක්කම් සටනට ශ්‍රී ලංකාවෙන් 9ක් සූදානම් | දිනමිණ

පැරාලිම්පික් පදක්කම් සටනට ශ්‍රී ලංකාවෙන් 9ක් සූදානම්

නිරෝෂාන් ප්‍රියංකර

ජපානයේ ටෝකියෝහිදී ගිම්හාන ඔලිම්පික් උලෙළෙන් පසුව පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9 දෙනකු සහභාගි වීමට නියමිතය.

මේ අතරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6ක්, දුනු විදීම, ඔරු පැදීම, රෝද පුටු ටෙනිස් යන ඉසව් නියෝජනය කරමින් ක්‍රීඩකයකු බැගින් එක්ව සිටිති.

අවසන් වරට පැවැති 2016 රියෝ ඔලිම්පික් උලෙළේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 58.23ක දක්ෂතාවක් සමඟ එෆ් - 46 කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත මේ කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ. ඔහු සමගින් මෙවර සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි ද හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට නියමිතය.

සමන් සුබසිංහ මීටර් 400, පාලිත බණ්ඩාර යගුලිය විසිකිරීම, සම්පත් බණ්ඩාර දුනු විදීම, ඩී.එස්. ධර්මසේන රෝද පුටු ටෙනිස් සහ මහේෂ් ජයකොඩි ඔරු පැදීමේ තරගවලට එක්වන අතර, මෙවර එකම කාන්තා නියෝජනය නව කුමුදු ප්‍රියංකා මීටර් 100 සහ දුර පැනීමේ ඉසව් නියෝජනය කිරීමට නියමිතය.

මෙරට පැරාලිම්පික් ඉතිහාසයේ පළමු වරට ඔරු පැදීමේ ඉසව්ව නියෝජනය කරමින් පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට ක්‍රීඩකයකු එක්වීම විශේෂත්වයකි.

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඇතුළු උපරිම 17 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙවර පැරාලිම්පික් තරගාවලියට එක්වීමට නියමිත බව ජාතික පැරාලිම්පික් කමිටුව පවසයි.

ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික පැරාලිම්පික් කමිටුවේ හිටපු සභාපති, කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් ජෙනරාල් රාජිත අම්පේමොහොට්ටි මහතා පවසන්නේ 2012 සහ 2016 දැක්වූ දස්කම් හේතුවෙන් මෙවර පැරාලිම්පික් තරගාවලියේදී අවම වශයෙන් පදක්කම් දෙකක් හෝ දිනා ගැනීමේ හැකියාව පවතනි බවයි.

2016දී දිනේෂ් රිදී පදක්කම දිනා ගැනීමට පෙර 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී ප්‍රදීප් සංජය මීටර් 400 ටී - 46 ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

මෙවර ටෝකියෝ පැරාලිම්පික් උලෙළට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු මස 19 වැනිදා මෙරටින් පිටත්ව යෑමට නියමිත අතර, ඔවුන් එහිදී ජෛව බුබුළක රැඳී සිටිනු ඇත. පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ අගෝස්තු මස 24 වැනිදා සිට සැප්තැම්බර් ස 5 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

දිනේෂ් ප්‍රියන්ත හේරත් (නායක), සමිත දුලාන්, සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසිකිරීම), කුමුදු ප්‍රියංකා (මීටර් 100 සහ දුර පැනීම), සමන් සුබසිංහ (මීටර් 400), පාලිත බණ්ඩාර (යගුලිය විසිකිරීම), සම්පත් බණ්ඩාර (දුනු විදීම), මහේෂ් ජයකොඩි (ඔරු පැදීම), ඩී.එස්. ධර්මසේන (රෝද පුටු ටෙනිස්)

නව අදහස දක්වන්න