හමුදාව මඟින් පාලනය වන අධ්‍යාපන පද්ධතියක් බිහි කිරීමට දරන වෑයමට විරෝධය පළ කරනවා | දිනමිණ

හමුදාව මඟින් පාලනය වන අධ්‍යාපන පද්ධතියක් බිහි කිරීමට දරන වෑයමට විරෝධය පළ කරනවා

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ වූයේ ආරක්ෂක හමුදාවල පුද්ගලයන්ට විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපනය සහ පුහුණුවක් ලබාදීමේ අරමුණිනින් බවත් පසුගිය කාලයේ මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පුළුල් වූ අතර හමුදාවලින් බැහැර පිරිස්වලටද විශ්වවිද්‍යාලය විවෘත වූ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

මෙම පනත 2018 වර්ෂයේ ගැසට් කිරීමෙන් අනතුරුව මෙම වර්ෂයේ (2021) මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇත. මෙම පනතේ 4 (ආ) වගන්තියට අනුව මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ වන්නේ හමුදා හා වෙනත් පිරිස්වලට උපාධි, ඩිප්ලෝමා සහ වෙනත් ශාස්ත්‍රීය ප්‍රවීණතා ප්‍රදානය කිරීම සඳහා අධ්‍යයන පාඨමාලා සැපයීමයි.

පනතේ 5 (ඇ), (උ) හා (ච) වගන්තිවලින් දක්වා ඇත්තේ උපාධි, ඩිප්ලෝමා සහ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා ප්‍රදානය කිරීමට අවශ්‍ය අධ්‍යයන පාඨමාලා හා පුහුණු පාඨමාලා ආරම්භ කිරීම, විශ්වවිද්‍යාලය විසින් හෝ එහි අධීක්ෂණය යටතේ හෝ වෙනත් හමුදා පුහුණු ආයතන පාඨමාලා සඳහා උපාධි ප්‍රදානය කිරීම සහ විශ්වවිද්‍යාලයට අවශ්‍ය පරිදි මණ්ඩප, විද්‍යාල, පීඨ, අධ්‍යාපන අංශ, මධ්‍යස්ථාන, ශාස්ත්‍රීය සහ වෙනත් වි‍ශේෂිත ආයතන පිහිටුවීමට මෙම විශ්වවිද්‍යාලයට බලතල ඇති බවයි.

පනතේ 19 (ඩ) වගන්තියට අනුව විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට 'පාසල්' පවා ආරම්භ කළ හැකිය.

ඉහත සඳහන් කරුණුවලින් පෙනී යන්නේ මෙම පනත මඟින් දැනට පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට රට තුළ සමාන්තර අධ්‍යාපන පද්ධතියක් ඇති කිරීම සඳහා අවකාශය සැලසෙන නීති රාමුවක් සකස් වී ඇති බවයි.

පනතේ 18 වගන්තියෙන් පැහැදිලි කොට ඇත්තේ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය සතු බලතල හා එම මණ්ඩලයේ සංයුතියයි.

පාලක මණ්ඩලයේ සාමාජිකයින් 9 දෙනෙකු සිටින විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් හා භාණ්ඩාගාර ලේකම් විසින් නම් කෙරුණු නියෝජිතයා හැරුණු විට අනෙකුත් සාමාජිකයින් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් පිරිස්ය. අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම් සහ ත්‍රිවිධ හමුදාවලට අයත් විවිධ මට්ටම්වල නිලධාරීන්ගෙන් ඉතිරි 7 දෙනා සමන්විතව ඇත.

පනතේ 19 (අ) සහ (ච) වගන්තිවලින් දක්වා ඇත්තේ විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක කලින් කලට මෙම මණ්ඩලයට තීරණය කළ හැකි බවත්, මණ්ඩප, විද්‍යාල, පීඨ, දෙපාර්තමේන්තු, මධ්‍යස්ථාන හා වෙනත් ආයතන පාසල් සහ අංශ පිහිටුවීමේ බලය එම මණ්ඩලය සතු බවත්ය.

පනතේ අඩංගු එම බලතල අනුව හමුදා හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පාලනය කරන මණ්ඩලයකට ඉහතින් සඳහන් කෙරුණු සමාන්තර අධ්‍යාපන පද්ධතිය ඇති කිරීම පිළිබඳ තීරණ ගැනීමේ බලය ලැබී ඇත.

සමහර පිරිස් විසින් කොතලාවල ආරක්ෂක ජාතික විශ්වවිදයාල පනත මඟින් ඇති කරන්නට යෝජනා වී ඇති අධ්‍යාපන පද්ධතිය ධීවර අමාත්‍යාංශය යටතේ පවතින සාගර විශ්වවිද්‍යාලයට හෝ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට සම කිරීමට හෝ සන්සන්දනය කිරීමට උත්සාහ කිරීම වූවමනාවෙන්ම සත්‍ය තත්ත්වය වසන් කිරීමකි. එම විශ්වවිද්‍යාල සීමිත රාමුවක් තුළ ආරම්භ වී එම රාමුව තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. කොතලාවල විශ්වවිද්‍යාල සීමිත රාමුවක් තුළ ආරම්භ වී රට තුළ අධ්‍යාපන පද්ධතියක් ඇති කිරීමට අවශ්‍ය බලතල ලබාගැනීමේ ප්‍රයත්නයක් මෙම පනත තුළ දැකිය හැක.

හමුදාව මඟින් පාලනය වන සමාන්තර අධ්‍යාපන පද්ධතියක් බිහි කිරීමේ සංකල්පයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකඟ නොවන බැවින් එම අරමුණින් සකස් වී ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට අපගේ විරෝධය පළ කර සිටිමු.

නව අදහස දක්වන්න