කුඩය සමඟ මිහිදන් වුණු රජරැටියන්ගේ වීරයා | දිනමිණ

කුඩය සමඟ මිහිදන් වුණු රජරැටියන්ගේ වීරයා

ඔහු උපන්නේ එංගලන්තයේ සෆෝක් ගම්මානයේය. ඉගෙන ගත්තේ විල්ට්ෂයර්හි මාර්බරෝ විදුහලේය. ඔහු 1885දී මෙරටට ආවේ යටත්විජිත ආණ්ඩුවේ සිවිල් සේවයේ නිරත වීමටය. එහෙත් ඔහු යළි උපන් ගමට ගියේ නැත. මීට සියවසකට ‍එහා රජරට කැලෑබදව හේන් කොටමින්, දිවා කල දහඩිය වගුරා, ආහාරයට යමක් සොයා ගත් දිළිඳු ගොවි ජනතාව සමඟ විසූ ඔහු මිහිදන් වූයේ ද අනුරාධපුරයේය. ඔහු නමින් හර්බට් රේනර් ෆ්‍රීමන් විය.

 

අනුරාධපුර රාජධානි සමයෙන් පසු ක්‍රමයෙන් සියවස් කිහිපයක්ම වල්බිහිව ගිය අනුරාධපුරයේ එදා තැන තැන දක්නට ලැබුණේ ගරාවැටුණු වෙහෙර විහාරය. ඉපැරැණි නටබුන්ය. මුළු වැව් බැඳි රාජ්‍යයම ආක්‍රමණය කර තිබූ වනගහනය ක්‍රමයෙන් එළිපෙහෙළි වූයේ හේන් වගාව සඳහා ගැමියන් ඒ ගස්කොළන් කපා දමා පැල්පත් ඉදිකර ගනිමින් සිටි නිසාය.

 

වර්ෂ 1900 පමණ වන විට පුරාවිද්‍යා දුම්රිය, රජයේ වැඩ වැනි දෙපාර්තමේන්තුවල නිලධාරීන් හා කම්කරුවන් අනුරාධපුරයේ සේවයේ නිරතව සිටියහ. ක්‍රමයෙන් ජනගහනය වැඩිවෙමින් පැවතිය ද එදා එහි ජීවත් වූයේ ඉතා කුඩා ජන සංඛ්‍යාවකි. කටුක දේශගුණයත්, මැලේරියා වැනි වසංගත රෝගත් එදා උතුරුමැද පළාතම වන ගහනයත් සමඟ අත්වැල් බැඳගෙන තිබිණි.

 

1885දී හර්බට් රේනර් ෆ්‍රීමන් ලංකාවට පා තබන්නේ මෙවන් පසුබිමකදීය. යටත් විජිත ආණ්ඩුවේ සිවිල් සේවයට එක්වූ ඔහුට මුලින්ම සේවය කරන්නට ලැබෙන්නේ ගාල්ල කච්චේරියේය. ඉන් වසරකට පසු කුරුණෑගලත්, 1889දී යළි ගාල්ලේත්, 1891දී යාපනයේත්, 1902දී පුත්තලමේත් කච්චේරිවල ඔහුට සේවය කරන්නට සිදු විය.

 

ඒ අතරතුර වරින්වර මහනුවර, මාතර සහ හලාවත දිස්ත්‍රික් විනිසුරු ලෙස ද කටයුතු කළේය.

 

1910දී උතුරු ප්‍රදේශය බාර දිසාපතිවරයා ලෙස කටයුතු කළ ෆ්‍රීමන් මහතා 1913දී බස්නාහිර පළාතේ දිසාපතිවරයා විය. වසර ගණනාවක් තුළ මෙලෙස රට පුරා ප්‍රධාන නගර රැසක සේවය කරමින් මෙරට ජනතාව සම්බන්ධයෙන් විශාල අත්දැකීම් රැසක් ලබා ගන්නට ඔහුට හැකි විය.

 

ඔහු වර්ෂ 1915දී උතුරුමැද පළාතේ දිසාපති තනතුරට පත් කෙරිණි. ෆ්‍රීමන් මහතා සිය දිවි මඟ නිමා කර ගන්නාතුරු නිත්‍ය වාසස්ථානය බවට පත් කර ගත්තේ අනුරාධපුරයයි.

 

එදා දිසාපති තනතුර දරද්දී ෆ්‍රීමන් මහතාට දිස්ත්‍රික් විනිසුරු තනතුර දරන්නට ද සිදු විය. රජරට දිළිඳු ගොවියෝ එකල රජයේ ඉඩම් අල්ලාගෙන ඒවායේ ද හේන් කෙටූහ. ඒවා ද එළිපෙහෙළි කළහ. වන නිලධරයෝ එවැන්නන් අල්ලා නඩු පවරා උසාවියේ විත්ති කූඩුවට නැංවූහ.

 

අහිංසක ගොවියන්ගේ දිළිඳුකම හොඳින් හඳුනාගෙන සිටි විනිසුරු ෆ්‍රීමන් ඔවුන් හිරේ විලංගුවේ දැමුවහොත් දරු මල්ලන් ද අසරණ වන බැවින් දඩයක් ගෙවා ඔවුන් නිදහස් කිරීමට කටයුතු කළේය. එහෙත් පස්වරුවේ කච්චේරියේ සේවය සඳහා යන ඔහු පෙරවරුවේ දඩ කෑ මිනිසුන්ගේ දඩ මුදල තම පසුම්බියෙන් ගෙන කාර්යාල සහායකයාට දී ඒවා දඩ කෑ මිනිසුන්ට ලබා දෙන ලෙස අණ කරන්නේය.

 

පසුදින උදේ ඒ මිනිසුන් දිසාපති නිල ‍නිවෙස ඉදිරිපිටට වී සිටින්නේ ගැමියාගේ දුක දන්නා, මිනිස්කම දන්නා මේ උත්තම සුදු ජාතික දිසාපතිවරයාගේ කරුණා ගුණයට කෘතගුණ දැක්වීම සඳහා ඔහුට දණගසා වඳින්නටය.

 

එකල මහදිසාපතිවරයා යනු ආණ්ඩුවේ සිටි උසස්ම නිලධාරියා බව දත් ගැමියෝ ඔවුන් හැඳින්වූයේ 'දිසාපති හාමුදුරුවෝ' නමිනි. ඇතැම් නිලධාරීන් එදා ගැමියන්ට තම බලපුළුවන්කාරකම් පෙන්වීම සඳහා දිසාපතිවරයා වෙත යම් යම් පැමිණිලි ලිඛිතව කච්චේරියට බාර දුන් අවස්ථා තිබිණි.

 

ඒවා නොකටයුතු දේවල් බව දන්නා දිසාපති ෆ්‍රීමන් එම ලිපිගොනු මිටි බැඳ නිල නිවෙසට ගොස් තබන ලෙස කච්චේරියේ ආරච්චිට දන්වන්නේය. ප්‍රදේශයේ ගැමියන්ට එවැනි හිරිහැරයක් සිදු නොවීමට ඉඩ තැබීම සඳහා සති ගණනාවක් යනතුරු ඔහු ඒවා යළි කච්චේරියට නොගෙනාවේ කල්ගතවීම නිසා ඒ පැමිණිලිවලින් ගැමියන් ඉබේම නිදහස් වන නිසාය.

 

වසර කිහිපයක් මෙලෙස උතුරුමැද ජනතාවට සේවය කළ ෆ්‍රීමන් මහතා 1919දී විශ්‍රාම ලැබුවේය. 1864 මාර්තු 06 වැනිදා හිරු නොබසින රටේ උපන් මේ සුදු ජාතිකයාගේ වයස ඒ වන විට අවුරුදු 55කි. ඒ වන විට ඔහු සිවිල් සේවාවට එක්වී වසර 34ක් සපුරා තිබිණි.

 

විශ්‍රාම ගත් පසුවත් එච්. ආර්. ෆ්‍රීමන් මහතා අනුරාධපුර අතහැර ඥාතීන් බලා ගැනීමට හෝ යළි එංගලන්තය බලා ගියේ නැත. ඔහු ගැමියන් සමඟම අනුරාධපුරයේම ගතකිරීමට තීරණය කර තිබිණි.

 

1924දී ඔහු ලංකා ව්‍යවස්ථාදායක සභාවට තරග කිරීමට අදහස් කළේය. 1921 සිට 1924 දක්වා උතුරුමැද පළාත ආසනයේ (නිල‍ නොලත්) මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ නීතිඥ එස්. ඩී. ක්‍රිෂ්ණරත්න මහතාය. එහෙත් 1927 ඒ වෙනුවෙන් පැවති ඡන්දයේදී උතුරුමැද පළාත ෆ්‍රීමන් මහතා ජය ගත්තේ නිතරගයෙනි.

 

ඉන් වසරකට පසු ලංකාවේ ඡන්ද බලය සම්බන්ධයෙන් වූ ඩොනමෝර් කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් කෙරිණි. සර්වජන ඡන්ද බලය යටතේ පැවැත්වූ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයට ද ‍ෆ්‍රීමන් මහතා ඉදිරිපත් වූයේය.

 

ඒ මැතිවරණය සඳහා එදා ඡන්ද සළකුණු නොතිබුණු අතර, ඡන්දය දැමිය යුතු වූයේ අපේක්ෂකයන්ට ලබා දුන් වර්ණයකටය. ඒ අනුව ෆ්‍රීමන් මහතාට කොළ පාට ලැබී තිබූ අතර, ප්‍රතිවාදියා වූ ක්‍රිෂණරත්න මහතාට ලැබුණේ රතු පාටය.

 

ක්‍රිෂ්ණරත්න මහතා සිය ධනය වැය කරමින් ඡන්දය දිනීමට උත්සාහ කළ බව පැවසේ. ෆ්‍රීමන් මහතා කළේ සිය කුඩය ඉහළාගෙන ගමින් ගමට ගොස් ගැමියන් හමුවී කැඩුණු සිංහලෙන් ඔවුන් ඇමතීමය. ගොවියන් කිහිපදෙනකු රැස්ව සිටි අනුරාධපුර වැව් බැම්මක් මත විශාල ගහක් යට ඔහු කුඩා රැස්වීම් පැවැත්වීය.

 

'නුඹලා ඡන්දය දමන්න ඡන්දපොළට යනවා. නුඹලා රතු පාට පෙට්ටියට ඡන්දය දානවා. එතකොට මම නැව් නැගලා ආපහු එංගලන්තෙට යනවා' ඔහු කියයි.

 

'අනේ හාමුදුරුවනේ යන්න එපා' එවිට ඔහුට ආදරය කරන ගැමියෝ පවසති. එවිට ෆ්‍රීමන් මහතා මෙසේ කියයි.

 

'නුඹලා ඡන්ද පොළට යනවා. නුඹලා ඡන්ද කොලේ කොළ පාට පෙට්ටියට දමනවා. එතකොට මම කවුන්සලේට යනවා. එහෙම හොඳ ද?' ඔහු අසයි. එවිට ගැමියෝ 'එහෙම හොඳයි. සාධු! සාධු!!' යැයි පැවසූ බව සඳහන් වෙයි.

 

ෆ්‍රීමන් මහතා එම ඡන්දයෙන් දිනන්නේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. ඔහු ඡන්ද 8311ක් ලබා ගන්නා විට ඇපත් අහිමි වූ ප්‍රතිවාදියා ලබාගෙන ඇත්තේ ඡන්ද 868ක් පමණකි. ෆ්‍රීමන් මහතා ලබා ගත් වැඩි ඡන්ද ගණන 7423කි.

 

පළමුවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට එලෙස පත්ව යන එච්. ආර්. ෆ්‍රීමන් මහතා එම්. එච්. මාකන් මාකර් මහතාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ ගමනාගමන හා වැඩ විධායක සභිකයකු ලෙස පත් වූයේය.

 

අනුරාධපුර ජනතාවගේ හදවත දිනා ගත් නිසාම ඔහු 1936 පැවති මහ මැතිවරණයෙන් ජය ගන්නේ ද නිතරගයෙනි. ඩී. එස්. සේනානායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ විධායක කාරක සභිකයකු ලෙස ඔහු පත් වන්නේ ඒ පිළිබඳව ශ්‍රීමන් මහතා ලද ප්‍රායෝගික අත්දැකීම් අන් සභිකයන්ට ද ලබාගැනීම උදෙසාය. ඔහු ව්‍යවස්ථාදායක සභාවට ගියේත්, රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීම්වලට ගියේත් දුම්රියෙනි.

 

ජීවිත කාලයම අවිවාහකව සිටි ඔහුගේ සමීපතමයා වූයේත්, එකම ගමන් සගයා වූයේත් කළු පැහැති කුඩයකි. ඔහු මන්ත්‍රණ සභා රැස්වීම් නිමාවනතුරු එය තම අසුන අසළ තබා ගන්නට අමතක කළේ නැත.

 

වලවේ, රිදියගම ව්‍යාපාරය ඇරඹීම සඳහා ඩී. එස්. සේනානායක මහතා උපදෙස් පැතුවේ ෆ්‍රීමන් මහතාගෙනි. අනුරාධපුර පොළොන්නරු‍ව දිස්ත්‍රික්කවල ගොවි ජනපද ඇරඹුවේ ද ෆ්‍රීමන් මහතාගේ සැලසුම්වලට අනුවය.

 

උතුරුමැද පළාතේ ඉඩම් මැන ඇළ මාර්ග කැපීමත්, වැව් පිළිසකර කිරීමත්, ගොවියන් ඉඩම්වල පදිංචිකරවා නිවාස, රෝහල්, මාතෘ නිවාස, පාසල් ඇතිකිරීමට කටයුතු කොට එකල සුලභව පැතුරුණු මැලේරියා රෝග මර්දන කටයුතුවල යෙදවූයේත් ඔහුගේ උපදෙස් මතය.

 

වලව, රිදියගම ව්‍යාපාරයේ කටයුතු සඳහා ෆ්‍රීමන් මහතා 1927දී පැමිණි අවස්ථාවක රාත්‍රී නවාතැන් ගත්තෙ වලව, මැදගම තෙන්නකෝන් වල‍ව්වේ බව පැවසේ.

 

'ඩොනමෝර් කොමිසමේ නිලධාරීන් අනුරාධපුරයට ඇවිත් සාකච්ඡා කළේ දිසාපති බංගලාවෙ. සමහරු කියා තිබුණා වයස අවුරුදු 21 සම්පූර්ණ වුණත් ඡන්ද අයිතිය දෙන්න එපා කියලා. ඒ නිසා ‍ඒ වෙනකොටත් කොමිසම හිටියේ දෙකට බෙදිලා. ඒත් මං කිව්වා නුඹලා හිතන තරම් ගොවියා මෝඩ නෑ. ගමේ මිනිහගේ හැටි මම හොඳට දන්නවා. එනිසා ගොවියන් වුණත් කම්කරුවෝ වුණත් වයස සම්පූර්ණයි නම් ඒ සියලු දෙනාටම ඡන්ද අයිතිය දෙන්න ඕනෑ කියලා එදා මං ඔවුන්ට තදින්ම කියා හිටියා' යැයි එදා ෆ්‍රීමන් මහතා තෙන්නකෝන් වලව්වේදී පැමිණ සිටි පිරිසට පවසා තිබේ.

 

උතුරුමැද පළාතේ ගොවි ජනපද ඇරඹීමට සහාය දුන් හර්බට් රේනර් ෆ්‍රීමන් නම් වූ මේ සිවිල් නිලධාරියා, දේශපාලනඥයා තමාගේ විශ්‍රාම වැටුපත්, මන්ත්‍රී දීමනාවත් වැය කළේ උතුරුමැද ජනතාවගේ සුබසිද්ධිය සඳහාය. මේ මානව හිතවාදී සුදු ජාතිකයා 1945 අප්‍රේල් මාසයේදී දිවියෙන් සමු ගත්තේය.

 

ඔහුගේ එකම ඉල්ලීම වූයේ තමන් සතු එකම වස්තුව වූ කුඩය තමාත් සමඟ මිනී පෙට්ටියට බහාලන ලෙසය. අනුරාධපුර එංගලන්ත සභා පල්ලියේදී ඔහුගේ අවසන් ආගමික කටයුතු නිමා වූ පසු ඔහුගේ දේහය ආදාහනය කෙරිණි. ඔහුගේ භෂ්මාවශේෂ අනුරාධපුර කච්චේරිය ඉදිරිපිට ඇති සුවිසල් වනස්පතිය යට තැන්පත් කෙරිණි.

නව අදහස දක්වන්න