රටම රත් කළ පිටකොටුවේ විරෝධය | දිනමිණ

රටම රත් කළ පිටකොටුවේ විරෝධය

1987 වසරේ ජූලි මස 29 වැනි දිනට ජේ.ආර්. ජයවර්ධන හා රජිව් ගාන්ධි විසින් අස්සන් කිරීමට නියමිතව තිබු ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සෘජුව කටයුතු කළ අතර, රට පුරා ප්‍රගතිශීලි සංවිධාන ද ජනතා දැනුම්වත් කිරීමේ උද්ඝෝෂණ හා ජන හමු පවත්වන ලදි. රට තුළ ප්‍රබල ආණ්ඩු විරෝධයක් නිර්මාණය වී තිබුණු අතර, ඉන් එහා ගිය ජයවර්ධන විරෝධයක් බවට ද එය පත්ව තිබුණි. මෙම ජනතා විරෝධයට නායකත්වය දීමට එවකට දුබල වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ මනාව තේරුම් ගෙන සිටියේය. ඒ අනුව පක්‍ෂ තහනම තුළ සිටිමින් වුව ද ජනතා විරෝධයට නායකත්වය ලබා දීමේ භූමිකාවට ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීයව ක්‍රියා කළේය.

ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ඉස්මතු වූයේ උද්ඝෝෂණ හා විරෝධතා සටන් තුළිනි. එම උද්ඝෝෂණ විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් සිදුවූයේ එම උද්ඝෝෂණ තවත් ප්‍රබල අයුරින් ක්‍රියාත්මක වීමය. මෙම තත්ත්වය තුළ සටන්කාමි දේශපාලනයට මඟ විවරව තිබුණු අතර, පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට හුදකලා නොවූ තත්ත්වයක් තුළ ආණ්ඩු විරෝධි සියලු බලවේග පෙළගැස්වීමටත්, ඊට නායකත්වය ලබා දීමටත් හැකි විය.

ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සටන් බිමෙහි සිටියදී මේ වන විට විරුද්ධ පක්‍ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව සම්මත වී තිබුණි. මේ අතර කැලණිය විද්‍යාලංකාර පිරිවෙන ඇතුළු බෞද්ධ මර්මස්ථාන රැසක මැතිනියගේ ප්‍රජා අයිතිය ඉල්ලා ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පෑම සඳහාත් බෝධි පූජා, පෙළපාලි, මහරැලි හා පෙත්සම් අත්සන් කිරීම් හා මානවහිමිකම් සංවිධාන දැනුවත් කිරීම් වැනි වැඩ සටහන් අරඹා තිබුණි. මෙම වැඩසටහන්වලට සහභාගි වූ නායකයන් රහස් පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබුණු අතර මර්දනය තීව්‍ර වෙමින් පැවතුණි.

මවුබිම සුරැකීමේ ව්‍යාපාරය

පළාත් සභා පිළිබඳ අදහස් ඉදිරිපත් වූ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා සඳහා වැඩමුළුවක් දෙහිවල නැදිමාලේ සූදානම් කෙරිණි. දින හතක් පුරා එම වැඩමුළුව පැවතුණු අතර, ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ, නලින් ද සිල්වා මහතා ඇතුළු ප්‍රබුද්ධ පිරිස් පැමිණ දේශන පැවැත්වූහ. එම අවස්ථාවකදී විලේගොඩ අරියදේව ස්වාමීන් වහන්සේ විසින් පළාත් සභා පිළිබඳ පුළුල් කතිකාවතක් ඇරඹිය යුතු බව මාදුළුවාවේ සෝභිත හිමියන් වෙත ප්‍රකාශ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් දහසක පමණ භික්ෂූන් පිරිසක් මාලිගාවත්තට කැඳවන ලදි. එහිදී සිදු වූ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, පක්‍ෂ නියෝජිතවරුන් ඇතුළු පිරිසෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදි. එම කමිටුවට ප්‍රින්ස් ගුණසේකර මහතා, නාත් අමරකෝන් මහතා හා දිනේෂ් ගුණවර්ධන මහතා වැනි අය ඇතුළත් වූහ. ඊට 'මවුබිම සුරැකීමේ ව්‍යාපාරය' යන නාමය විලේගොඩ අරියදේව ස්වාමීන් වහන්සේ විසින් යෝජනා කරන ලදි. මාදුළුවාවේ සෝභිත හිමි, හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඉත්තෑපානේ ධර්මාලංකාර හිමි, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම හිමි, ජනතා සටන් පෙරමුණේ කැඳවුම්කරු ප්‍රනාන්දු පුල්ලේ තංගරාජා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු කිහිපදෙනෙකු ව්‍යාපාරයේ නායකයන් ලෙස කටයුතු කළහ. මේ අයුරින් පළාත් සභා ක්‍රමයට එරෙහි සටන ගෙන ගිය මවුබිම සුරැකීමේ ව්‍යාපාරය බිහි විය. මෙහි සියලු යටිබිම්ගත සංවිධානය කිරිම් සිදුකරනු ලැබූ අදිසි හස්තය වූයේ ජනතා විමුක්ති පෙරමුණය.

මුල් කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන් මවුබිම සුරැකීමේ ව්‍යාපාරයේ කටයුතුවලට සම්බන්ධ කර ගනිමින් පළමු රැළිය නුගේගොඩදී පවත්වන ලදි. පසුව හෝමාගම, මහනුවර, බදුල්ල, කොළඹ, ගාල්ල හා මාතර ඇතුළු ස්ථානවල රැස්වීම් 17ක් පවත්වන ලදි. මෙම තත්ත්වය තුළ පළාත් සභා ක්‍රමයට හා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව විශාල ජන රැල්ලක් නැඟී ආවේය. මෙම පසුබිම තුළ මවුබිම සුරැකීමේ ව්‍යාපාරය තමන්ගේ වැඩක් බවට පත්කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසට අවශ්‍ය විය. නමුත් මවුබිම සුරැකීමේ ව්‍යාපාරය වූ කලී නිල් රතු කොළ යන පක්‍ෂවල සංවිධානයක් නොව පුළුල් බහු ජන ව්‍යාපාරයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂාව ඉටු නොවූ තත්ත්වය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයෙන් 'මවුබිම සුරැකීමේ සංවිධානය' ගොඩනඟන ලදී.

ජූලි 28 විරෝධතාව

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ ජූලි මස 29 වන දිනය. ඊට ප්‍රථම විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළ යුතු බව මවුබිම සුරැකීමේ ව්‍යාපාරයේ තීරණය විය. ඒ අනුව කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට රැස්වූ භික්ෂූන් වහන්සේලා ගිවිසුමට විරුද්ධව අරගල කිරීම සඳහා සනාථ කළ අතර, එදින රාත්‍රී කැලණිය විශ්වවිද්‍යාලය තුළ රැස්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසු දින පිටකොටුවේදී පැවැත්වීමට තීරණය කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහභාගි වීමට සංවිධානය වූහ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 'දේශප්‍රේමි ජනතාවනි, අවධානයෙන් සිටින්න' යන මාතෘකාව සහිතව ප්‍රකාශනයක් ද නිකුත් කරනු ලැබීය. ලංකාවේ ඇති සියලු දේශපාලන පක්‍ෂ ඉන්දීය අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු යැයි එහි සඳහන් විය. ඔවුන්ගේ චෝදනාව විශේෂයෙන් එල්ල වූයේ, ලංකා කම්කරු සංගමයේ නායකයාට සහ එක්සත් ජාතික පක්‍ෂය වෙතය. එම ප්‍රකාශනය අවසන් වූයේ "මවුබිම අනතුරේ. එය ආරක්‍ෂා කිරීමට අත්වැල් බැඳ ගනිමු. සංවිධානය වී සටන් වදිමු. ඔබ උපන් මවුබිමට ඔබගෙන් ඉටු විය යුතු යුතුකම මෙයයි." යන්නය.

ජූලි මස 28 වන දා පෙරවරු 8ට කොටුව බෝගහ අසල විරෝධතාව ආරම්භ කිරීමට කටයුතු සිදු විය. කොළඹ නගරයම රක්ත වර්ණ පෝස්ටර්වලින්, සටන් පාඨ ලියා විදුලි කණු කළු කොඩිවලින් සරසා විරෝධතාකරුවෝ තම විරෝධය ප්‍රකාශ කරන ලදි. මේ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහජන එක්සත් පෙරමුණ ආදි පක්‍ෂ නායකත්වයෙන් යුත් මවුබිම සුරැකීමේ සංවිධානය කොළඹ නව නගර ශාලාව ඉදිරිපිට විහාර මහා දේවි උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිට දී විරෝධතාව පැවැත්වීමට සංවිධානය කර තිබිණි. නමුත් එම ස්ථානයට ජනතාව රැස්ව නොසිටියහ. එබැවින් පිටකොටුව බෝ ගහ අසල මවුබිම සුරැකීමේ ව්‍යාපාරය සංවිධානය කර තිබුණු විරෝධතා ව්‍යාපාරය සඳහා ඔවුන්ට එකතු වීමට සිදු විය.

මවුබිම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමි, විලේගොඩ අරියදේව හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ද, මවුබිම සුරැකීමේ සංවිධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන් ලෙස විපක්‍ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, අනුර බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, ගාමිණි ඊරියගොල්ල ඇතුළු පක්‍ෂ මන්ත්‍රීවරුන් රැසක් ද අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා භික්ෂු බල මණ්ඩලයේ සාමාජිකයන් ද විරෝධතාවයට අදිසි නායකත්වය ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ලෙස දේශපාලන මණ්ඩල සභික එච්.බී. හේරත්, ගුණරත්න වනසිංහ, ඩී.එම්. ආනන්ද මධ්‍යම කාරක සභික ගාමිණි විජේගුණසේකර හා තංගරාජා ඇතුළු තවත් ඉහළ පෙළේ ක්‍රියාකාරිකයන් ද ඉන්දු ලංකා ගිවිසුමට, දෙමළ බෙදුම්වාදයට හා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරන ලදි. තවද ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් අතර ද මත ගැටුම් ඇති වී තිබිණි. ඒ අනුව අගමැති ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණි ජයසූරිය යන අය ඉන්දු ලංකා ගිවිසුම සඳහා සහය නොදක්වන බවට පුවත්පත්වල වාර්තා විය. ඒ අනුව අගමැතිවරයාට හිතැති පිරිසක් ද විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.

දහවල් 12 වන විට විසිදහසකට වඩා පිරිසක් විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි අතර, පිටකොටුව බෝ ගහ අසල සියලු මංමාවත් විරෝධතා පෙළපාලිවලින් සහ උද්ඝෝෂකයන්ගෙන් පිරි තිබිණි. භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් නාදය කොළඹ නගරය පුරා රැව්දෙන්නට විය. මවුබිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකයින් ජනතාව ආමන්ත්‍රණය කරන්නට වූහ. මේ අතර දක්‍ෂ කථිකයකු වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික එච්.බී. හේරත් ජනතාව ආමන්ත්‍රණය කළ අතර, නීති විරෝධි ද්‍රෝහී ස්වකීය ඉන්දීය අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ නියෝග අකුරටම පිළිපදින මිනීමරු පැසිස්ට්වාදී ජයවර්ධන තොණ්ඩමන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ප්‍රකාශ කළේය. තව ද රට අගාධය කරා තල්ලු කිරීමේ මූලිකම වගකිවයුත්තා ජේ.ආර් බැවින් රජ ගෙදර වටලා ඔහුව ජනතාව ඉදිරියට ගෙන ආ යුතු බවටත් සඳහන් කළේය.

කඳුළු ගෑස්

පොලීසිය විසින් සත්‍යග්‍රහයේ යෙදුණු විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ගසා වෙඩි තබන ලද අතර, කෝපයට පත් ජනතාව රජයේ වාහන ගිනි තබමින් කොළඹ නගරය පුරා විරෝධතා පැවැත්වූහ. නාග විහාරය ද වැටලූ පොලිසිය ඉවක් බවක් නොමැතිව වෙඩි තබන්නට වූහ. පොලිස් වෙඩි තැබීම්වලින් 150කට අධික නිරායුධ උද්ඝෝෂකයන් පිරිසක් මරණයට පත්විය. ඒ අතර මොරටුවේ ඉංජිනේරු පීඨයේ ක්ලිෆඩ් පෙරේරා හා නිමල් ලියනගේ ද විය. පොලිස් බැටන් පොලු පහර හා වෙඩි තැබීම්වලට ලක්වෙමින් සී සී කඩ දිව ගිය ජනතාව බොරැල්ල කැම්බල් පිටිය දක්වා පා ගමනින් පැමිණියහ. එදින සවස් භාගයේ ඇඳිරි නීතිය පැනවූ බැවින් නිවාස කරා යාමට නොහැකි ඇතැම් ජනයා පෙරටු කර ගනිමින් මාදුළුවාවේ සෝභිත හිමි මරදාන මාලිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයට වැඩම කළහ. පැය තුනක කාලයකට ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කළේ උද්ඝෝෂකයන්ට තම නිවෙස්වලට යාම සඳහාය. නමුත් බොරැල්ල බෝධිය දක්වා පා ගමනින් පැමිණි ජනතාව එහිදී රැස්වීමක් සංවිධානය කළහ. රැස්වීම අවසන් වීමත් සමඟ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පොලිස් අත්අඩංගුවට පත්වූහ. රජයට එරෙහි සුවිශාල වීදි සටන් ව්‍යාපාරයන් සිදු වුවද පිටකොටුව ප්‍රදේශයේ එකදු ද්‍රවිඩ දේපළකට හානි නොකිරීමට තරම් උද්ඝෝෂකයන් හා සංවිධායකයන් විනයගරුක වූහ. ජූලි මස 29 වන දින රජිව් ගාන්ධි හා ජේ.ආර්. ජයවර්ධන ගිවිසුම අත්සන් කරනු ලැබූයේ රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරමිනි. නමුත් එය නොසලකා දස ලක්‍ෂයක් පමණ වූ ජනතාව රටපුරා පෙළපාලි පවත්වමින්, මාර්ග වසා දමමින් විරෝධතාවය පළ කළහ. මෙසේ ගිවිසුමෙන් පසුව ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව දැවැන්ත ජන බලයක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය. එය උද්ඝෝෂණ ක්‍ෂේත්‍රයේ, බහුජන ක්‍ෂේත්‍රයේ මෙන්ම සන්නද්ධ ක්‍ෂේත්‍රයේ ද ක්‍රියාත්මක වීම හඳුනාගත හැකිය.

 

 එම්. තාරික්

නව අදහස දක්වන්න