ජූලි කලබල මැද සිදු වූ වැලිකඩ සංහාරය | දිනමිණ

ජූලි කලබල මැද සිදු වූ වැලිකඩ සංහාරය

1983 ජූලි 23 වැනි දින යාපනයේ ගුරුනගර් හිදී එල්.ටී.ටී.ඊය විසින් හමුදාවේ 13දෙනකු මරා දමන ලදි. එසේ මරා දැමුණු හමුදා සාමාජිකයන්ගේ සිරුරු කොළඹට ගෙන ඒමත් සමඟම ඇවිලී ගිය කොළඹ නගරයේ ගිනි දැල් නිවාලන්නට පහසුවූයේ නැත. එය මුළු රටේම පැතිර ගිය අතර, කලහකාරී වූ පිරිස් විසින් දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඉලක්ක කරගෙන ද ම්ලේච්ඡ ප්‍රහාරයක් සිදුවූ අතර, ඉන් දෙමළ සන්නද්ධ ව්‍යාපාරයේ මුල් කාලීන නායකයන් රැසක් ද අමානුෂික ලෙස මරා දැමිණි. කළු ජූලියට මෙන්ම ඒ සිර ගෙදර සංහාරයට ද දැන් වසර 38කි.

විසිවන සියවස අවසන් භාගයේ වාර්ගිකත්වය පදනම් කරගෙන සිංහල දෙමළ ගැටුම අවස්ථා ගණනකදී ඉස්මතු විය. මේ ආකාරයෙන් වර්ධනය වූ ගැටුම් 1977න් පසුව එළැඹියේ වඩාත් නරක ක්‍රියා මාර්ගයකටය. උතුරේ සන්නද්ධ ක්‍රියා ඉහළයමින් තිබිණි. දේශපාලනඥයන්, ආරක්ෂක හමුදා සාමාජිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද සන්නද්ධ ක්‍රියාවන්හි ගොදුරු බවට පත්විය. කළු ජූලිය එහි තීරණාත්මක අවස්ථාව විය. විශේෂයෙන්ම ඇතැම් විචාරකයන්ට අනුව මෙරට වාර්ගික ගැටුමට අවශ්‍ය අන්තර්ජාතික මැදිහත්වීම ලබා ගැනීමට මුල්වූයේ කළු ජූලියයි.

කළු ජූලියට ආසන්නතම සිදුවීම ලෙස සැලකෙන්නේ හමුදාවේ නිලධාරීන් 13 දෙනකු යාපනයේදී මරා දැමීමය. ඉන් අනතුරුව හමුදා භටයන්ගේ සිරුරු කොළඹට රැගෙන ඒම, අවසන් කටයුතු කිරීමට බොරැල්ල කනත්ත තෝරාගැනීම සිදු වන විට රටම මහත් අඳුරු අගාධයකට ඇද දමා හමාර වී තිබිණි.

එකිනෙකට ගැට ගැසී ඇති මේ සිදුවීම් මාලාවේ හමුදා සාමාජිකයන් මරා දැමීමට ප්‍රභාකරන් පෙලඹෙන්නේ සීලන් ගේ මරණයට පළි ගැනීම ලෙස බව කියැවේ. චාල්ස් ඇන්තනී හෙවත් සීලන් ප්‍රභාකරන්ගේ සමීපතමයෙක් විය. සීලන්ගේ නායකත්වයෙන් 1982 ඔක්තෝබර් 27 වැනි දින එල්.ටී.ටී.ඊ සාමාජිකයන් චාවකච්චේරි පොලිසියට ප්‍රහාරයක් එල්ල කළේය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සීලන්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු තම සගයාගේ තුවක්කුවෙන් හිසට වෙඩි තබාගෙන මිය ගියේය. එම මරණයට ප්‍රභාකරන්ගේ පළිගැනීම ක්‍රියාත්මක වූයේ 1983 ජූලි 23 වැනි දින හමුදා සාමාජිකයන් 13 දෙනකු මරා දැමීමෙනි. සිදුවීමෙන් පසුව හමුදා සාමාජිකයන්ගේ සිරුරු ජූලි 24 දින කොළඹට ගෙන එන ලදි. එතැන් පටන් කොළඹ පුරා භීෂණය පැතිරුණු අතර, වැලිකඩ බන්ධනාගාරයේ ඝාතන වාර්තා වන්නේද මින් අනතුරුවය.

වැලිකඩදී සිරකරුවන් ගණනාවක් මරා දැමිණි. ඒ අතර උතුරේ සන්නද්ධ ව්‍යාපාරයට මූලිකත්වය ගෙන කටයුතු කළ තංගදුරෙයි, කුට්ටිමනී, ජෙගන් ආදින් කැපීපෙනේ. මෙහිදී ඇතැම් විචාරකයන්ට අනුව ටෙලෝ සංවිධානයේ තංගදුරෙයි ප්‍රභාකරන්ට පියා මෙන් විය.

සාමාන්‍ය පිළිගැනීමට අනුව උතුරේ මුල්ම සන්නද්ධ කල්ලිය ආරම්භවන්නේ 1969දීය. එය තංගදුරෙයිගේ කල්ලිය ලෙස ප්‍රකට වී තිබිණි. නඩරාජා තංගවේලු හෙවත් තංගදුරෙයි, සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී, සිවකුමාරන්, ශ්‍රී සභාරත්නම්, ප්‍රභාකරන් ආදින් කල්ලියේ ආරම්භක සාමාජිකයන් වන්නට ඇති බව විශ්වාස කෙරේ. ඉන්දියාවත් සමඟ හොර බඩු වෙළෙඳාමේ යෙදීම සහ සුළු ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුණු මේ කණ්ඩායම කෙටි කලකින්ම භේද භින්න විය. භේද භින්න වීම් ඉහළ යෑමෙන් ප්ලොට්, එල්ටීටීඊ, ඊ.පී.ආර්.එල්.එෆ්, ඊරෝස් සහ ටෙලෝ ලෙසින් සංවිධාන 5 ක් ප්‍රති නිර්මාණය වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මේ අතරින් ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ (TELO) ආරම්භ වන්නේ තංගදුරෙයි සහ කුට්ටිමනීගේ නායකත්වයනි.

කුට්ටිමනීට උතුරේ ඉහළ පිළිගැනීමක් ඇති කරගෙන තිබිණි. එමනිසා ඔවුන්ගේ සංවිධානයට ආරම්භයේදී විශාල පිරිසක් එක්ව සිටියහ. ඉන්දියාවේ රෝ සංවිධානය සමඟ ද සම්බන්ධතා තිබූ ටෙලෝ සංවිධානයට ඉන්දියානු රජයේ ද පිළිගැනීමක් තිබිණි. ඔවුන්ට සන්නද්ධ අංශයක් ද තිබූ අතර එය "දෙමළ ඊළාම් විමුක්ති හමුදාව" (Tamil Eelam Liberation Amry) - TELA නමින් හැඳින්විය. කුලසේකරම් දේවසේකරම්ගේ නායකත්වයෙන් එය ක්‍රියාත්මක විය.

1981 මාර්තු 25 වැනි දින ටෙලෝ සාමාජිකයන් මහජන බැංකුවට අයත් වාහනයක් යාපනයේ නිර්වේලිහිදී මංකොල්ල කන ලදි. එහි ලක්ෂ 79ක මුදල පැහැර ගැනීමේදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ද මරා දැමිණි. එය ලංකා ඉතිහාසයේ එතෙක් සිදුවූ දැවැන්තම මංකොල්ලය විය. කුට්ටිමනී සහ තංගදුරෙයි මෙහි මහමොළකරුවන් වූ අතර ප්‍රභාකරන් ද මංකොල්ලකරුවන් අතර විය. මෙකල ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් අතර ගැටුම් ආරම්භව තිබූ හෙයින් ප්‍රභාකරන් සිටියේ ටෙලෝ කණ්ඩායම සමඟ එක්වය. මංකොල්ලකරුවන් සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කළේය. එහිදී සැකකරුවන් පිළිබඳ තොරතුරු සපයන්නකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් ලබාදෙන බව ද කියැවිණි. උදාවී ඇති තත්ත්වය මත තංගදුරෙයි, කුට්ටිමනී ඇතුළු ටෙලෝ සාමාජිකයන් ඉන්දියාවට පැනයෑමට සැලසුම් කළහ. කෙසේ වෙතත් සැලසුම ක්‍රියාත්මකව පවතින අවස්ථාවේ පොලිසියට ලැබුණු ඔත්තුවක් මත අප්‍රියෙල් 05 දින මේ කණ්ඩායම අත්අඩංගුවට පත්විය. සැලැස්මේ වූ වෙනසක් නිසා ප්‍රභාකරන් මේ පිරිස සමඟ නොසිටියේය. කෙසේ වෙතත් මේ සම්බන්ධ ඔත්තුව පොලිසියට ලබාදී තිබුණේ ප්‍රභාකරන් බවට ද විශ්වාස කෙරේ.

බැංකු මංකොල්ලයට කුමන්ත්‍රණ කිරීම සහ මංකොල්ලය සිදු කිරීම ඇතුළු චෝදනා රැසකට අත් අඩංගුවට පත් ටෙලෝ සාමාජිකයන් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන ලද ඔවුන්ගෙන් පළමුවැනි විත්තිකරුවා වූයේ නඩරාජා තං‍ගවේලු හෙවත් තංගදුරෙයිය. එහි සෙසු විත්තිකරුවන් ලෙස සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී මෙන්ම, ගනේෂනාදන් ජෙගනාදන් හෙවත් ජෙගන්, සුබ්‍රමනියම් දේවන්, නඩරාජා සිවපතම් හෙවත් සිවපාලන් මාස්ටර් හා නඩේසුදාසන් යන පිරිස ද වූහ. නඩු විභාගය 1982 නොවැම්බර් 02 වැනිදා ආරම්භ වූ අතර, 1983 පෙබරවාරි 24 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. තීන්දුවට අනුව චුදිතයන් වැරදිකරුවන් වූ අතර, ඔවුන්ට බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

වැලිකඩ සිරකරුවන්ට ප්‍රහාරය එල්ල වන්නේ ඔවුන් මේ බැංකු වංචාවට සිර දඬුවම් ලබමින් සිටියදීය.

ජූලි 24 දින සිට දෙමළ ජනතාව ඉලක්ක කරගත් පහරදීම් ක්‍රමයෙන් දරුණු වෙමින් පැවැතිණි. 25 වන විට වැලිකඩ බන්ධනාගාරයට සිදුවීම පැතිරිණි. එහි A3 සිරමැදිරියේ සිටි සිංහල සිරකරුවෝ 400 ක් පමණ යකඩ පොලු, ලී දඬු, මන්නා පිහි, පොරෝ, උල් කරන ලද යකඩ කූරු, කැඩුණු පුටු කකුල් හා කම්බි දඟරවලින් සන්නද්ධව දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා සිටි මැදිරි කරා ගමන් කළහ. B3 සහ D3 සිරමැදිරිවල දොරටු විවෘත කරගනිමින් ඊට ඇතුළුවන්නට ඔවුහු උත්සාහ කළහ. තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නොලැබුණු අතර, මැර බලය හමුවේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ කිසිදු හැකියාවක් නිරායුද දෙමළ සිරකරුවන්ට නොවිණි. මෙහිදී ඔවුහු 35 දෙනෙකු සැණෙකින් මරුමුවට පත්වූහ. අනතුරුව මළ සිරුරු බන්ධනාගාර අංගනයේ ස්ථාපිත කර ඇති බුදු පිළිමය ඉදිරිපිට ගොඩගසන ලද අතර, යාන්තමින් හෝ පණ ඇතිවුන් වුවා නම් ඔවුන්ව පහර දී මරා දැමීමට ද කටයතු කෙරිණි. පසුව ආරක්ෂක අංශ මැදිහත්වීමත් සමඟම සිදුවීම යටපත් කෙරිණි. එහෙත් නැවැතත් 27 වැනි දින සන්ධ්‍යාවේ යළිත් සංහාරයක් ඇරැඹිණි.

සිර මැදිරි කඩා ඇතුළට පැමිණීමට මැරයන් උත්සාහ කරන විට සිරකරුවන් අතර සිටි වෛද්‍ය රාජසුන්දරම් මහතා ඔවුන් සමඟ කතා කරන්නට උත්සාහ කර තිබේ. එහෙත් මැරයන්ගෙන් ඔහුට අත්වූයේ කුරිරු ඉරණමකි. මේ සම්බන්ධයෙන් පසුකාලීනව බී.බී.සී සිංහල සේවයට දොස්තර තුරෙයිරාජ් විලියම් ජේ .කුලරාජ් මහතා මෙසේ පවසා තිබිණි.

“ඩොක්ටර් රාජසුන්දරම් ඒ මොහොතේ මා සමග සිටියා. එයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්“

“ඇයි මල්ලි අපට ගහන්න එන්නේ. අපි කරපු වරද මොකක්ද? කියලා ඔහු ඇසුවා“

'එතකොටම තව එක් කෙනෙක් ලොකු පොරවකින් රාජ සුන්දරම්ගේ ඔළුවට ගැහුවා. කරාමයක් ඇරියා වගේ ලේ වීසි වුණා. එයා එතනම මැරුණා'

මෙලෙස ආසන්න දින දෙකක් තුළදී සිරකරුවන් 53 දෙනකු ඝාතනය කෙරිණ. වැලිකඩ බන්ධනාගාරයට කලහකාරී පිරිස් කඩා වැදුණු අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් කිසිවෙක් එහි නොසිටි බව කියැවේ. එමෙන්ම තුවාලකරුවන් රෝහල් ගත කිරීම ද නිසිපරිදි සිදු නොවිණි. රෝහල් ගත කෙරුණු සිරකරුවන්ට ද නිසි ප්‍රතිකාර ලැබී නොතිබුණු බව කියැවේ. මේ ප්‍රහාරය පිටුපස සිටි සිංහල සැකකරුවන් අතරින් එකල කැපීපෙනුණු දරුණු ගණයේ සිංහල පාතාල සාමාජිකයන් ද වූහ. ඔවුන්ට එම ප්‍රහාර සඳහා ඉහළ දේශපාලනයෙන් අවස්ථාව හිමිවී තිබීම ද සුවිශේෂය.

සිදුවීම සම්බන්ධයෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය 1984 නිකුත් කළ වාර්තාවකින් හෙළිදරව් කොට තිබූ පරිදි, සිරකුටිවල අගුලු හැර තිබී ඇති අතර, සිංහල සිරකරුවන්ට මත්පැන් සහ අවි ආයුධ ලබාදී තිබිණි. කුට්ටිමනී මරා දැමීමට ප්‍රථමයෙන් ඔහුගේ ඇස් උගුල්ලා දමා තිබූ බවද අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

කළු ජූලිය නිසා මිය ගිය පිරිස පිළිබඳ නිසි සංඛ්‍යා ලේඛන පවා හමු නොවේ. රොහාන් ගුණරත්න indian intervention in sri lanka නම් තම කෘතියේ සඳහන් කරන පරිදි 83 කළු ජූලියේ මිනිස් ජීවිත 6000ක් නැති විය. රාජන් හූල්ගේ තක්සේරුවට අනුව නම් මරා දමන ලද සංඛ්‍යාව 2000ක් පමණ විය. කෙසේ වෙතත් රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව නම් මරා දමා ඇත්තේ 471කි. තුවාල කිරීම්වලට ලක්වු පිරිස 3835කි. රොහාන් ගුණරත්න මහතාට අනුව දේපොළ විනාශය රුපියල් බිලියන 150ක් පමණ විය. වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ රැඳවියන් 53ක් පමණ මේ අතර විය.

ප්‍රහාරයත් සමඟම ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පලා ගියහ. මෙලෙස සිදුවූ වැලිකඩ සංහාරය මෙන්ම කළු ජූලිය ද රාජ්‍ය අනුග්‍රහය ඇතිව සැලසුම් කරන ලද්දක් බව දෙමළ ජනයාගේ මතය විය. ඉන්පසු උතුරු නැගෙනහිර යුද්ධය ඇරැඹුණු අතර, කළු ජූලිය ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතුවක් බව විචාරකයන්ගේ මතයයි. විශේෂයෙන්ම දහස් ගණන් දෙමළ තරුණයෝ ඉන්දියාවේ පැවැති පුහුණු කඳවුරුවලට සහභාගි වූහ. 1970 ගණන්වල සිට දෙමළ සටන්කාමීන් ඉන්දියාවේ රැකවරණය ලබාගෙන සිටි නමුත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඔවුන් ධෛර්යවත් කරන ආකාරයේ සිදුවීම්වලට මැදිහත් නොවිණි. එහෙත් මේ සමඟම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය.

 

 මලික් චමින්ද ධර්මවර්ධන

නව අදහස දක්වන්න